තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

Share post:

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන අවලෝකනය. දීර්ඝ කාලයක් මග හැරුණු කතිකාවක්. අත්‍යවශ්‍යම කතිකාවක්. පමාවී හෝ, විශේෂයෙන්ම තිළිනගෙ අවසන් නිර්මාණයෙන් දශක දෙකකට ආසන්න කාලයක් ගෙවුනට පස්සෙ කරන කතා බහක්. මේ පමාවූ කතාබහට මුල පිරීම වෙනුවෙන් එහි සංවිධාන කටයුතු කළ ප්‍රියාන් විජේබණ්ඩාර, හර්ෂිනී පුෂ්පමාලා, අනුර කේ, විකුම්, කෝසල, තරුරසී , ජයන්ත ඇතුලු සියළු සහෘදයන්ට කෘතඥතාව. හැමදාම මේ වගේ කාර්යයකදී අපිව හිරවෙන කාරණාව සම්බන්ධව කිසිදු පැකිලීමක් නොකර අත දුන් කවියා කාශ්‍යප සත්‍යප්‍රියටත් එක්කම.
මූලික අදහස් දැක්වීම් නිර්මාල් රංජිත්, සර්පයා, ප්‍රභා මනුරත්න සහ හර්ෂිනී පුෂ්පමාලා. සංවාදයෙදි තිළිනගෙ මධු සමය අහිමි මංගල්‍යය පොත ඉංග්‍රීසි බසට හරවපු ගාමිණි අක්මීමන සහ අනුරසිරි හෙට්ටගේ දෙදෙනාගේ අදහස් දැක්වීම. කතා කරන්න තවත් අය සූදානමින් උන්නත් හරස් වුනේ වෙලාව.
තිළිණගෙ වැඩේ ගැන කල්පනා කර කර ඉන්නකොට අනුරාධා නිල්මිණි ආවා, ඇගේ අලුත්ම කෙටිකතා පෙලත් අරගෙන. ඒකෙ ගෙම්බෙක් මුලින්ම ඉකි ගහපු දවස නමින් එන කෙටිකතාව තිළිණව ආයෙම මතක් කළා. අනුරාධාගෙ පොත ගැන පසුවට.

තිළිණ කළ මැදිහත්වීම ගැන කල්පනා කරද්දි මට මතක් වෙන කාරණා තුනක් තියෙනවා.

  1. තිස්ස කුට්ටි පාර්ලිමේන්තුවේ රෝහිණි කවිරත්නට වම්බටු කරේ තියාගෙන කරපු නින්දිත අපහාසය
  2. කහ කුරුල්ලෙක් තම සැමියා හදා දුන් තේ එකක් බීමෙන් බිරිඳ අපායෙ යනවා යනුවෙන් කළ තක්කඩි බණ
  3. බුලත් පාත්තියකට කවදාවත් කාන්තාවක් යවන්න එපා කිලි නිසා බුලත් වලට වසංගත හැදෙනවා කියලා කෘෂි උපදේශක නෝනා කෙනෙක් මටම කියාපු කතාව.

මීට අමතරව තවත් කාරණා ගොඩක් තියෙනවා. ඒත් තිළිණගෙ මැදිහත්වීම කෙතරම් වැදගත්ද කියලා වටහා ගන්න මේ ඇති. පුරුෂ පීඩනය, පසුගාමී අදහස්, ආචීර්ණ කල්පික මතවාද, ආර්ථික විය ගස, දේශපාලනයේ ඇති වෙනස් සැලකීම, ලිංගික සූරාකෑම සහ පීඩනය, ඉතිහාසය පුරා සාහිත්‍යයේ පවා කාන්තාවට හිමිකර දුන් දෙවන පෙල තත්වය ආදී බොහෝ කාරණා එක්ක කාන්තාවන් වෙනුවෙන් මැදිහත්වුන සාහිත්‍යයයක් තිළිණා අපට තිළිණ කළා. ලංකාවෙ ස්ත්‍රීවාදී කතිකාව කියපු ගමන් අපිට එන්නෙ දරුණු පුරුෂ විරෝධයක් ගැබ්වුන ව්‍යාපාර. ඒත් තිළිණා ඉතා අවබෝධාත්මකව තම පරපුර ගැන සංවාදයක් ගෙන ගියා. ඒක තුළ පුරුෂ පීඩනයේ අමානුෂිකත්වය වගේම ඒ වගේ පීඩනයකට මැදි වන කාන්තාව කෙරේ තම පාර්ශවයෙන්ම එල්ල වන නොදියුණු අදහස් ගැනත් ඇය බරපතල විධිහට මැදිහත් වෙනවා. කාන්තාව සවිබල ගැන්වීම තවමත් අපේ සමාජය තුළ රහට හපන්න පුළුවන් චුවිංගම් එකක් විතරයි. මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා කියලා ගායනා කරාට සමාජය තියෙන්නෙ ඊට හුඟක් පස්සෙන්. මේ තත්වයට පුරුෂයන් වගේම කාලාන්තරයක් තිස්සෙ කාන්තාවට දෙවන පෙල අත්කර දීම වෙනුවෙන් කාන්තා පාර්ශවයෙන්ම කළ මැදිහත්වීම් පවා තිළිණා නිර්භයව ප්‍රශ්ණ කරනවා. සුරංගනා කතාවල කුමාරිව සාපයෙන් බේරගන්න එන්නෙ කුමාරයෙක්, තවමත් අපේ ග්‍රාම නිලධාරී ට අපි ගෙදර ගෘහ මූලික බිරිඳ කිවුවොත් එයා ඒක ලියාගන්න බෑ කියන තත්වයක් තියෙන්නෙ. රජයේ කාර්යාලවල මේ කාලෙ තියෙන බරපතලම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ කාන්තාවො කාර්යාලයට සාරි අඳින්න මැලි කරන එක.

මේ වගේ ඔල්මාද සමාජයක තිළිණා තම නිර්මාණ හරහා අරගලයක් ගෙනියනවා. ඇයට ප්‍රකාශකයන් කැමති නෑ. ඒ නිසා ඇයටම ඇගේ කෘති පලකරගන්න වෙනවා. ඒකත් ඇගේ පැත්තෙන් බැලුවහම බරපතල මැදිහත්වීමක්. ඇය නොසැලී තම අදහස් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක මේ වගේ කාලයක හුඟක් තුවාල සිද්ධ වෙන දෙයක්. ඒත් තිළිණා ඒ තුවාල ගනං ගන්නෙ නෑ.

සැමියා වත් කරලා දෙන තේ එක බිවුවහම බිරිඳ අපායෙ යනවා කියලා කහ කුරුල්ලෙක් කෑ ගානකොට සැදැහැවත් උපාසිකාවොම හැත්ත නේන්නං හාමුදුරුවනේ කියලා සාදුකාර දෙනවා. අනිත් පැත්තෙන් ත්‍රී විලර් වල සල්ලි ගස් වලින් කඩන දෙයක් නං කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි කියලා ස්ටිකර් අලවනවා. කුනු වෙච්ච සමාජයක කාන්තාවට ඇති නොසැලකීම අපට ඕනැ තැනකින් බලා ගන්න පුළුවන්. ඒ ගැන සංවාද ඉතාම අඩු අවධියක තිළිණා තමන්ගෙ අකුරු හරහා අරගලයක් කරනවා. ඉතිං ඒ අරගලය වෙනුවෙන් ඇයගේ නිර්මාණ ඇගයුමට ලක් කිරීම අත්‍යවශ්‍යම දෙයක්.

හර්ෂිනී තමන්ගෙ අදහස් දැක්වීමෙදි ආයෙ ලියන්න කියලා තිළිණට තදට කියා හිටියා. ඇත්ත, තිළිණා ලියන්න ඕනැ. ඒත් දැන් තියෙන්නෙ අපි හැමෝම මැදිහත් විය යුතු අවස්ථාවක්. ඒ තිළිණට විතරක් බාරදීලා පැත්තකට වෙන්න පුළුවන් වගකීමක් නෙවෙයි. තම ප්‍රධානියා බෙල්ලෙන් අල්ලද්දි අනේ අපේ සර් ඒ කළේ අපිව රාජකාරියට උනන්දු කරන්න කියලා පොලිස් කාන්තාවකට ඉවසන්න වුන අතීතය ඉතා මෑතයි. කාන්තාවන්ට මාතෘ නිවාඩු මාස ගණනක් දෙන්න ඕනැ ඒ හින්දා කාන්තාවන්ට වඩා පිරිමි සේවයට ගන්න ඕනැ කියලා හිතන ආයතන තවමත් තියෙන රටක් මේ.
එවන් රටක තිළිණා පුද්ගලයන්ගේ මතවාද පමණක් නෙවෙයි ව්‍යුහ, සංවිධාන, පද්ධති , මේ සියල්ල ප්‍රශ්ණ කරනවා. ඒ ප්‍රශ්ණ කිරීම අවංකයි, නිර්භීතයි.
ඉතිං අද සිද්ධ වුනේ මේ නිර්මාණකාරියගේ මැදිහත්වීම විමසන්න උත්සාහයක් දැරීම. එය කෙසේවත් ප්‍රමාණවත් නෑ. නමුත් ඒක ආරම්භයක් හැටියට වැදගත්. ඔව්, අපි තිළිණව ආයෙ කියවමු.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...