සාම්පූර් සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක් – සැමරීමේ අයිතිය පිළිගනිමින් 2016 දුන් නිර්දේශය උල්ලංඝනය කිරීමක් !

Share post:

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගිය 12දා රාත්‍රියේ සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් විසින් තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදාහැරීමක් සිදුකිරීමෙන් පසු එදින රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේ පිරිසක් විසින් ඔවුන්ව බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබිණි.
මෙහිදී පොලිසිය විසින් ඇතැම් කාන්තාවන්ට කෲර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකන ආකාරය ද වීඩියෝ සහිතව ජනමාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මැයි 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පෙරේදා (14) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිය් මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වෙන බවට ලැබී තිබූ තොරතුරු අනුව සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එල්ටීටීඊ සාමාජිකයන් සැමරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන බැවින් එය තහනම් කරමින් තහනම් නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ බවයි.
ඒ අනුව සැමරුම් උත්සවය සූදානම් කර තිබු ස්ථානයට ගිය සාම්පූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් එම පිරිසට අධිකරණ නියෝගය පෙන්වා එය දැනුම් දීමට කටයුතු කිරීමේදී, එම අධිකරණ නියෝගය ඔවුන් පිළිනොගන්නා බව පවසා අධිකරණ නියෝගය බාරනොගෙන පසුව සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබෙන බව පොලීසිය පවසයි.
එම නිවේදනය මගින් පොලිසිය පෙන්වාදෙන්නේ අධිකරණ නියෝගය කඩකරන ලද සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරියගේ දියණිය තම ගෙලට පිහියක් තබාගෙන ඇය සියදිවි නසාගන්නා බව පවසමින් පොලිසිය වෙත තර්ජනය කිරිම නිසා එම තත්ත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් සාම්පූර් පොලිසියේ මෙම අමානුෂික හැසිරීම ගැන පරික්ෂණයක් පවත්වන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ද පෙරේදා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේය.
එම සම්පූර්ණ ලිපිය මෙසේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී දෙහිදෙනිය මහතා,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

සභාපතිතුමනි,

ත්‍රිකුණාමලය සාම්පූර්හිදී කැඳ බෙදීයැයි හතර දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් පොලිස් වසමේ චේනයූර් ප්‍රදේශයේ දී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදීයැයි කියන පිරිසක් පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් පොලිසියෙන්යැයි කියන පිරිසක් විසින් අත්අඩංංගුවට ගනු ලැබූහ. එලෙස අත්අඩංගුවට ගත් හතර දෙනා පහත පරිදි වේ.
Kamaleshwaran vijitha (age 40)
Kamaleshwaran themila (age 22)
Selvavinothkumar sujani (age 40)
Navaretnaraja hariharakumar (age 43)
මෙම පිරිස තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේයැයි කියන පිරිස ඔවුන් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබේ. පොලිසිය ඇතැම් කාන්තාවන්ට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකන ආකාරය ද ජනමාධ්‍ය වාර්තා කළේය.
කැඳ බෙදා හැරීමට පෙර පොලිසිය එය වලක්වමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන ඇති අතර මෙවැනි සිහිකිරීම් වලක්වමින් අධිකරණ නියෝග ගැනීම් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා විය. පොලිසිය මෙලෙස සාමකාමී සිහිකිරීම් නතර කරමින් අධිකරණ නියෝග ලබා ගන්නේ සහ එම සිහිකිරීම්වලට බාධා කරන්නේ ‘සිහිකිරීමේ අයිතිය‘ තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 දී රජයට නිර්දේශ ලබාදී තිබියදීය.
එම නිර්දේශ ගණනකට නොගෙන පොලිසිය සාමකාමී සිහිකිරීම් නතර කිරීම සඳහා මෙලෙස කටයුතු කරනවා පමණක් නොව ඊයේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි යන්න සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර තිබේ.
සිහිකිරීම යනු සියලුදෙනාම සතු අයිතියක් වන අතර දකුණේ ද විවිධ සිහිකිරීම් නිරන්තරයෙන් සිදුවෙයි. උතුරේ සහ නැගෙනහිර සිදුකරන මෙවැනි සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම යනු රාජ්‍ය මැදිහත්වී ‘සිහිකිරීමේ අයිතිය‘ නතර කිරීමන් වන අතර එය සංහිඳියාව සම්බන්ධයෙන් රාජ්‍යයේ දැක්ම කෙබඳුද යන්න පෙන්නුම් කරන්නකි. තිස් අවුරුදු යුද්දයක් පැවැති රටක මෙලෙස සිහිකිරීම්වලට හෝ ඉඩ නොදෙමින් පොලිසිය ම්ලේච්ඥ ලෙස කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිදියාව, සත්‍ය සේවීම පමණක් නොව වින්දිතයන්ගේ සාමාන්‍ය අයිතිවාසිකම්වලට පවා රාජ්‍ය ගරු නොකරන බවකි.
එසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
1) සාම්පූර් සිදුවීම සම්බ්නධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය සහ එහි නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 12.3, 13.1, 13.5, 14.1.අ, 14.1.ආ, 14.1.ඇ, 14.1.ඉ සහ14.1.ඊ යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටිමු.
2) මූලිික අයිතිවාසිකම් කඩ කළ සහ කඩ කිරීමට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.
3) කාන්තාවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකූ සහ ඊට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව වධහිංසා පනත යටතේ කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ නීතිපතිට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.
4) වෙනත් ප්‍රදේශවල කරන සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම නතර කිරීම සදහා පොලිස්පතිවරයාට සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.
5) මීට පෙර කොමිසම ලබා දුන් පොදු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කඩිනම් සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටිමු.
6) සිහි කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,

තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...