කටුනායක ගුවන් තොටුපොළේ මගීන්ගේ තොරතුරු ගැනීමත් නවත්වයි : වීසා ප්‍රශ්නය එළියට ආ දිනයේ ම ගත් තීරණයක් !

Share post:

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අර්බුදය අලුත් මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. ආගමන-විගමන විෂය බාර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ අමාත්‍යංශයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම මගහැරීම මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇත. රාජ්‍ය මුදල් කාරක සභාව මගින් මේ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයකට සූදානම් වීම සඳහා එම නිලධාරීන් දින 07ක් ඉල්ලා තිබේ. ඔවුන්ගේ සහභාගි වීම/නොවීම පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණේ ද අවසාන මොහොතේ ය. පාර්ලිමේන්තුව යනු ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයයි.

මේ සමගම තවත් අලුත් කාරණයක් අනාවරණය වී තිබේ. ඒ කටුනායක ගුවන් තොටුපොළේ පැවැති මගීන්ගේ පිටවීමේ සහ පැමිණීමේ තොරතුරු රැස්කිරීමේ කාඩ්පත (Embarkation) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමයි. ආන්දෝලනාත්මක වීසා ගැටලුව මතුවූ දින, එනම් පසුගිය මැයි පළමුවැනිදා සිට මේ තීරණය ගෙන තිබේ. ආගමන විගමන පාලන ජනරාල්වරයා විසින් මේ බව ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී ඇත. මේ කාඩ්පත යනු රාජ්‍ය ආරක්ෂාව, නෛතික කටයුතු මෙන්ම පුද්ගලයන්ගේ පෞද්ගලික පහසුකම් සමග ද සෘජුව බැඳීපවතින්නකි.

රාජ්‍ය බුද්ධි සේවයේ ගුවන්තොටුපොළ කාර්යාලයේ නිලධාරීන් සැකකරුවන් හෝ අත්‍යවශ්‍ය පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීමට භාවිත කරන්නේ මේ කාඩ්පතයි. අධිකරණ කටයුතුවලට අදාළ ව ආගමන විගමන නිලධාරීන් විසින් යම් පුද්ගලයෙකු රටට ඇතුළළුවීම හෝ රටෙන් පිටවීම පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ මේ කාඩ්පත මගිනි. මෙහි ඇති වටිනාකම නිසා ම පුරවන ලද කාඩ්පතක් සාමාන්‍යයෙන් මාස හයක කාලයක් සුරක්ෂිතව තබාගන්නා අතර, ඉන්පසු එය විනාශ කරයි. එහෙත් එහි ඩිජිටල් පිටපතක් ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු එකතුවේ සුරක්ෂිත කරයි. අධිකරණ කටයුතුවලට අදාළ ව මේ ඇතැම් කාඩ්පත් වසර ගණනාවකට පසුවත් අවශ්‍ය වී තිබේ.

රටට ඇතුළු වීමට පැමිණෙන යම් පුද්ගලයෙක් පැමිණෙන ගුවන්යානයේ හෝ නෞකාවේ අංකය සහ නම, ආගමන විගමන බලපත්‍රයේ අංකය, ජාතිකත්වය, සම්පූර්ණ නම, පුරවැසිභාවයේ තත්ත්වය, ලිපිනය, පැමිණෙන කාරණය, නවාතැන් ගන්නා ස්ථානයේ ලිපිනය පැමිණීමේ තොරතුරු ඇතුළත් කාඩ්පතේ සටහන් කළ යුතුය. රටෙන් පිටවන තැනැත්තකුගේ ද මේ සියලු තොරතුරු ඇතුළත් කළ යුතුය. පැමිණීමේ කාඩ්පත විදේශිකයන් විසින් අනිවාර්යයෙන්ම පිරවිය යුතු අතර, පිටත්වීමේ කාඩ්පත අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් පිරවිය යුතුය.
රටවල් කිහිපයක හැර, අනෙක් සියලු රටවල ගුවන්තොටුපොළවල මේ තොරතුරු ලබාගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වේ. එසේ ක්‍රියාත්මක නොවන රටවල් යනු බුද්ධි අංශ අතිශයින්ම ක්‍රියාකාරී, යම් පුද්ගලයකු රටට පැමිණීමට හෝ පිටවීමට පෙර සියලු තොරතුරු වාර්තා කරන රටවල් ය. ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු අනෙකුත් රටවල් මෙය මුලදී කාඩ්පත් ලෙස භාවිත කළ අතර, මේ වන විට මාර්ගගත ක්‍රමයට සිදුකරනු ලබයි.

ලංකාවේ ද 2023 වසරේ සිට කාඩ්පතතේ තොරතුරු ලිවීමෙන් හෝ මාර්ගගත ක්‍රමයට මේ කාඩ්පත් පිරවිය හැකිය. ආගමන විගමන නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට ලංකාවෙන් විදේශගත වන ශ්‍රමිකයන්ගේ පහසුව සඳහා විශේෂයෙන් ම අදාළ කාඩ්පත ගුවන්තොටුපොළේ තැබීම අනිවාර්ය වී ඇත. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට මාර්ගගත ක්‍රමයට එම තොරතුරු ඇතුළත් කිරීම දුෂ්කර වීම ය. කෙසේ වෙතත් පසුගිය මැයි පළමුවැනිදා වනතුරු කුමන ක්‍රමවේදයෙන් හෝ මේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්ය විය.
දැන් එවැනි ක්‍රමයක් නැත. ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව එය සිදුවී ඇත්තේ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝග මත ය. මීට මාසයකට පමණ පෙර ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරියට ලිඛිත ව දැනුම් දී තිබුණේ මේ කාඩ්පත් ක්‍රමය අහෝසි කිරීමට ඇමැතිවරයා විසින් යම් උපදෙසක් ලබාදී ඇති බවකි. පසුගිය 29දා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඇමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී මේ පිළිබඳ නිලධාරීන් විසින් ප්‍රශ්න කර තිබිණි. එහිදී ඇමැතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් ලබාදී තිබුණේ නැත. මෙසේ ඉදිරියට ගොස් මැයි පළමුවැනිදා සිට කිසිදු හේතුවක් නොදක්වමින් තීරණය ක්‍රියාත්මක කෙරිණි.

මීට පෙර මේ කාඩ්පත මුද්‍රණය කරන ලද්දේ මොබිටෙල් සමාගම මගිනි. එහි පිටුපස මොබිටෙල් සමාගමේ දැන්වීමක් ද විය. එහෙත් මාස 05කට පෙර සිට ගුවන්තොටුපොළට සපයන ලද කාඩ්පත්වල අදාළ දැන්වීම තිබුණේ නැත. එය මේ ක්‍රමය නතර කිරීමේ ආරම්භක පියවර හෝ වෙනත් සමාගමකට ලබාදීමේ මුල් පියවර වූ බවට ආගමන විගමන නිලධාරීහු සැක පළකරති.
කෙසේ වෙතත් මේ වන විට ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය පද්ධතියෙන් මේ කාඩ්පත නොමැතිව මගියෙකු නිශ්කාෂණය කිරීමේ පහසුකම් සලසා තිබුණත්, ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ්අඩවියේ තවමත් එය ඉවත් කර නැත. එමගින් පැහැදිලි වන්නේ ගැටලුවක් තිබුණත්, නැතත් රටට අදාළ තීරණාත්මක තීන්දු ගනු ලබන්නේ එතරම් ම නොසැලකිලිමත්ව බවයි.

රාජ්‍ය ආරක්ෂාවට පරිබාහිරව මේ කාඩ්පත මගින් සිදුවූ තවත් සේවා රැසකි. යම් මගියෙකුට අමතක වන වටිනා භාණ්ඩයක් හෝ යමක් නැවත බාරදිය හැකි වීම ඒ අතරින් වැදගත් එකකි. එය සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට සහ එහි විශ්වාසනීය බවට ද වැදගත් ය. වසර කිහිපයකට පෙර මාධ්‍ය මගින් ද එවැනි සිද්ධියක් වාර්තා කරනු ලැබිණි. අප්‍රිකානු රටක පුරවැසියකු වූ තේ ආනයනකරුවකුගේ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් සහිත බෑගයක් මේ fාතරතුරු කාඩ්පත නිසා ඔහු නැවතී සිටි හෝටලයට ගෙනගොස් බාරදෙනු ලැබිණි. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. එසේ ම යූරෝ 195ක් සමග තවත් වටිනා භාණ්ඩ කිහිපයක් ගුවන්තොටුපොළේ දමා ගොස් තිබූ ස්ලෝවීනියානු ජාතික රිබර් ක්ලෙමන්ගේ භාණ්ඩ සියල්ල ආපසු ලබාදෙනු ලැබුවේ ද මේ කාඩ්පතේ තොරතුරු මගින් ය. මෙවැනි උදාහරණ රැසකි.

වීසා ලබාදීමට අදාළ තොරතුරු රැස්කිරීමේ කටයුතුවල ආන්දෝලනාත්මක තත්ත්වය ද එසේම ය. මෙම වසර ආරම්භ වන විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා විදේශිකයන් වීසා ලබාගැනීම සිදු කළ යුතුය. ඇතැම් රටවල් සඳහා ඊට අදාළ වෙනස් තත්ත්වයන් තිබේ. පොදුවේ ගත් කළ වීසා අයදුම්කිරීම ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට සහ ගුවන්තොටුපොළට පැමිණි පසු පැමිණීමේ පර්යන්තයෙන් (ඔන් අරයිවල්) සිදු කළ හැකිය.
2012 වසරේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙය ක්‍රමානුකූලව පද්ධතියක් හරහා සිදු කරගෙන ගියේය. ඊට අදාළ ව අන්තර්ජාලය හරහා ඔන්ලයින් වීසා අයදුම් කිරීමට වෙබ් අඩවියක් ශ්‍රී ලංකා රජය මගින් හඳුන්වා දී තිබිණි. www.eta.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීම මගින් කෙටි කාලයක් ඇතුළත වීසා ලබාගැනීමේ හැකියාව විදේශිකයන්ට තිබිණි. කෙසේ වෙතත් එය හැඳින්වූයේ ETA – Electronic Travel Authorization ලෙස ය. එය වීසා ලබාදීම ලෙස සාමාන්‍යයෙන් හැඳින්වුවද සත්‍ය වශයෙන්ම එම ක්‍රමයේදී සිදුවූයේ ඉලෙක්ට්‍රෝනික ගමන් අනුමැතියක් ලබාදීම පමණි.
ඔන්ලයින් වීසා අයදුම් කරද්දී ඒ සඳහා අනුමැතියක් ලබාදීමක් සිදුවන අතර, එම විදේශිකයා ලංකාවට එද්දී ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම සිදුවේ. දින දෙකක් වැනි කාලයක් ඇතුළත එම අනුමැතිය ලබා දෙන අතර ගුවන් තොටුපොළේදී මිනිත්තුවක් වැනි කාලයකදී වීසා නිකුත් කිරීම සිදුවේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති එම ක්‍රමවේදයේ ගැටලු‍කාරී තත්ත්වයක් පැනනැගී නොතිබිණි. ඊට අදාළ ව තාක්ෂණික සහකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා රජයට අයත් සමාගමක් වන මොබිටෙල් ආයතනයයි.

එසේ තිබියදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 2023 සැප්තැම්බර් 08 දිනැති කැබිනට් පත්‍රිකාවක් (කැබිනට් පත්‍රිකා අංක 38/2023) 2023 සැප්තැම්බර් 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් IVS – GBS Global Services නම් ආයතනයක් E-visa, Consular Services, Visa Services, Bio-Metric Services and Tourism Promotion මැයෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ බව දැනුම් දුන්නේය. එම ව්‍යාපෘති යෝජනාව ඇමුණුම 01 ලෙස සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ටිරාන් අලස් IVS – GBS Global Services විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීමක් කිරීම සඳහා සුදුසු ඇගයීම් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය. එසේම එම ඇගයීම් කමිටුවේ නිර්දේශ සහ අදාළ ආයතනය සමග අත්සන් කිරීමට යන ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනිණි.
අමාත්‍යවරයා මෙම අනුමැතිය ලබාගන්නේ මීට පෙර 2021දී ඉලෙට්‍රෝනික ගමන් අවසර පත්‍ර පද්ධතිය දියුණු කිරීම සහ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයට බාරදීමට 2021 ජූලි 29 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට 2021 අගෝස්තු 17 වැනිදා අනුමැතිය (CP/21/1477/303/117) ලැබී තිබියදී ය. 2021 කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව මොබිටෙල් ආයතනය අදාළ පද්ධති සකස් කර අවසන් වී තිබියදී අමාත්‍යවරයා මෙසේ වීසා නිකුත් කිරීමේ කාර්යය විදේශීය සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය පැතීම විශේෂත්වයකි.
මේ අනුව පැහැදිලි වන්නේ ‘සඟවන හේතු’ මත මේ සියල්ල සිදුවන බවයි. විනිවිදභාවය විහිළුවකට ගනිමින්, රටේ පුරවැසියන් සහ ජනතා පරමාධිපත්‍යය සමග සෙල්ලම් කරන මේ ක්‍රමයට කවදා වනතෙක් පවතින්නට ඉඩදෙන්නේද යන්න තීරණය කළ යුත්තේ ද සමස්ත පුරවැසියන්ම ය.

  • ශාලික විමලසේන

Related articles

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට...

අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි...

“මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate”

මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද? Arundhati Roy : මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස...

මියගියත් ජීවත්වෙන මිනිහෙක්

අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ...