වික්ටෝරියා අවදානමක ද? – ඇවිදින කන්දේ ඛේදවාචකය උමා ඔය සමග ගලපා නොගන්නේ ඇයි ?

Share post:

මිනිසා තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කරගැනීමේ අවස්ථාවකට හොඳ ම උදාහරණයකි, ගංගා හරස් කර ඉදිකළ වේලි. වේල්ල පිළිබඳ සංකල්පය ඉතා සරල ය. එය ගඟක ජලය රඳවා තබාගන්නා තාප්පයක් ලෙස ද හැඳින්විය හැකිය. මිරිදිය ජලාශ නිර්මාණය කිරීම, පාංශු ඛාදනය වැළැක්වීම, ගංවතුර පාලනය කිරීම සඳහාත්, ජල විදුලිය නිෂ්පාදනය සඳහාත් වේලි ඉදිකිරීම ලෝකය පුරා දැකිය හැකිය. පාරිසරික වෙනස්කම් මත මතුවන හේතු නිසා හෝ ඉදිකිරීමේදී සිදුවූ දුර්වලතා නිසා හෝ මෙවැනි ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා ද ලෝකයේ උදාහරණ අතරින් අපට හමුවේ. ලංකාවේ වික්ටෝරියා ඇතුළු වේලි කිහිපයකම පැලීම් දැකිය හැකි බව එම ජලාශවල වගකීම දරන මහවැලි අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කර තිබිණි. මේ, ඒ පිළිබඳ සහ ලෝක උදාහරණ පිළිබඳ සැකසුණු ලිපියකි.

පාරිසරික හේතු හෝ ඉදිකිරීමේ දුර්වලතා හෝ නිසා මෙවැනි ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් හමුවේ. අන්තර්ජාල මූලාශ්‍රවලට අනුව 2,000කට වැඩි ජනතාවකට දිවි අහිමි කළ ඉතාලියේ වජොන්ට් වේල්ලේ සිදුවීම එවැන්නකි. සාමාන්‍යයෙන් වේලි කැඩී යෑමෙන් ඇතිවන ජලගැලීම්වලින් මෙවැනි අනතුරු සිදුවුවත්, මෙහි විශේෂත්වය වන්නේ වේල්ලට කිසිදු හානියක් සිදුනොවීමයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණුවීම ඇරඹිණි. සෑම රටකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සිදුකරන රාජ්‍ය වියදම් ප්‍රමාණය සියයට 75කින් පමණ කපාහැරීම ද ඒ කාලයේදී සිදු විය. 1950-63 කාල සීමාවේදී සිය දළ දේශීය නිෂ්පාදිතය සියයට 6කින් වර්ධනය කරගත් ඉතාලිය ද 1961 වසර වන විට සියයට 8.3ක ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත් විය. මේ හේතුවෙන් ආයෝජන ගලා ආ අතර, විදුලිබල නිෂ්පාදනය අරමුණු කරගත් වජොන්ට් වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබෙන්නේ ඒ අනුවයි.
වේල්ල ඉදිකෙරෙන්නේ පියාවේ ගංගාවට එකතු වන අතු ගංගාවක් වන වජොන්ට් ගංගාව හරස් කරමිනි. මෙය පිහිටා තිබෙන්නේ ඉතාලියේ වැනිසියේ සිට සැතපුම් 60ක් දුරින් පිහිටි ලොන්ගරෝන් ප්‍රදේශයේ ය. ලොන්ගරෝන් නගරයට ඉහළින් ඇති කැසෝ සහ ටොක් යන කඳු ද්විත්වය යාකරමින් වජොන්ට් පටු වේල්ල ඉදිකෙරිණි. ජලාශයේ ජලය පිරවීමට සැලසුම් කළේ එම හුණුගල් කඳු අතර වූ දැඩි බෑවුමක් සහිත ප්‍රදේශයේ ය. ජලාශ නිම්නයේ පතුලේ සිට, සිරස් බෑවුමක් සහිත ටොක් ශිඛරයේ මුදුනට අඩි 4,800ක පමණ උසක් පවතී.
1957 ජූලි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු වේල්ල දෙවක් ආරුක්කු ස්වභාවයක් ගත්තේය. එහි උස මීටර් 262ක් වූ අතර, දිග මීටර් 160කි. වේල්ලේ පතුළේ පළල මීටර් 27ක් ද, මුදුනේ දී පළල මීටර් 3.4ක් ද වන පරිදි නිමවා තිබේ. මෙහි සමස්ත ජල ධාරිතාව ඝනමීටර් මිලියන 168 ඉක්මවයි. වජොන්ට් වේල්ල තැනූ සමාගම වූයේ ආද්‍රියාතික බලශක්ති සංස්ථාවයි. (ී්ෘෑ) එහි අයිතිකරු වූයේ දෙවැනි ලෝක යුද සමයේ ඉතාලියේ ඇමතිවරයෙකි. යුද්ධයෙන් පසු ආණ්ඩුව බිඳවැ‍ටුණද, ඔහු නව ආණ්ඩුවල සහායෙන් ව්‍යාපෘතිය ඇරඹීමට සමත් විය.
ජලාශයට මායිම් වන ටොක් කන්දේ බෑවුම අතීතයේ නායයෑමක් සිදුවූ ප්‍රදේශයක් විය. වේල්ල ඉදිකිරීමේදී ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් ඒ සම්බන්ධව ඉදිකිරීම් බාර ඉංජිනේරුවන් සහ භූවිද්‍යාඥයන් දැනුවත් කෙරුණද, ඒ ගැන අවධානය යොමුනොකෙරිණි. වේල්ල ඉදිකිරීම අරඹා වසර දෙකකට පසු, 1959 වසරේදී ඒ අවට මාර්ගවල පැලීම් සහ ඉරිතැලීම් ඇතිවූ නිසා පරිසරවේදීහු මේ ව්‍යාපෘතිය අනතුරුදායක බවත්, කන්ද අස්ථාවර යැයි සිය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් බලධාරීන්ට පෙන්වාදුන්නහ. එහෙත් ඒවා ද නොසලකා හැරිණි.
වේලි භූමිය අසල නායයෑම් නැවත සිදුවිය හැකි බවටත්, මහා විනාශයක් සිදුවනු ඇති බවටත් සඳහන් ලිපියක් ප්‍රාදේශීය පුවත්පතක පළවිය. මෙය ප්‍රදේශයේ ජනතාව අතර කතාබහක් ඇති කරන්නටත්, යම් තරමකට හෝ බලධාරීන්ගේ අවධානය ලබාගැනීමටත් හේතු විය. ටික කලකට පසු රජය විසින් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ ‘අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීම සහ සාමයට බාධා කිරීම’ යන චෝදනාව එල්ල කරමිනි. වේල්ල ඉදිකරන්නන් ජනතාවගේ ආරක්ෂාව සහතික බව ප්‍රකාශ කළ ද, මොන්ටි ටොක් කන්දේ ස්ථායිතාව ගැන අවිශ්වාස කළ ජනයා එය ‘ඇවිදින කන්ද’ යනුවෙන් නම් කළේය.
1960 වසර වන විට ජලාශය පිරවීම ආරම්භ වූ අතර, ඒ වන විට වේල්ල ආණ්ඩුවේ පාලනයට පවරාගෙන තිබිණි. මේ කාලයේ අවට ප්‍රදේශයේ සුළු නායයෑම් සහ භූචලන ඇති විය. පළමු ජල පිරවීමේදී අඩි 600ක් දක්වා ජලය පිරීම සිදුවූ අතර, ජලාශය පිරවීමෙන් පසු ටොක් කඳු ශිඛරයේ ජලාශයට ඉහළින් ඇති කොටසේ විශාල පැලු‍මක් ඇති විය. මෙය එතරම් හොඳ සලකුණක් නොවන බව ඒ වන විට බොහෝදෙනා අවබෝධ කරගෙන තිබිණි. 1960 නොවැම්බර් 4 වැනිදා හදිසියේම කන්දේ ඝන මීටර් මිලියනයක පමණ කොටසක් නායගොස් ජලාශයට එක්විය. මේ හේතුවෙන් අඩි 7ක් උස රැල්ලක් ජලාශ තලය මත ඇති වුණු නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වූයේ නැත.
කඳූකරයක පිහිටි ජලාශයකට ජලය පිරවීමෙන් අසල කඳුවලට ද දිය සීරාව ගමන් කරයි. එයින් කඳු පෘෂ්ඨ තෙතබරිත වී අවසානයේ පස් කොටස් ගැලවී යෑම සිදුවේ. ටොක් කන්ද ආශ්‍රිතව ද සිදුවූයේ මෙයයි. 1961 ඔක්තෝබර් මාසයේදී ජලාශයේ ඉහළ හා පහළ ප්‍රදේශ සම්බන්ධ කිරීම සඳහා උමගක් ඉදිකිරීම ද අවසන් කෙරිණි. ඒ අතර කන්දේ ස්ථායිතාව නිරීක්ෂණය කිරීම සඳහා පීඩනමාන, ගවේෂණ ළිං ඇතුළු උපකරණ ද සවි කෙරිණි.
1963 ඔක්තෝබර් 09 වැනිදා රාත්‍රිය වන විට ජලාශයේ ජල මට්ටම සටහන් වන්නේ අඩි 782ක් ලෙසයි. එදින කන්දේ විශාල නායයෑමක් ඇති වන බවටත්, පැයට සැතපුම් 20ක පමණ වේගයෙන් ජලාශය මත පතිත වන පස් කොටස් හේතුවෙන් විශාල රැල්ලක් නිර්මාණය වනු ඇති බවටත්, වේල්ලේ ඉහළින් ජලය යම් ප්‍රමාණයක් පහතට පැමිණෙනු ඇති බවටත්, පහත් බිමේ සිටි ජනතාවට නිවේදනය කෙරිණි. අපේක්ෂා කළ පරිදිම නායයෑමක් සිදු විය. එහෙත් එය සියලු‍ ගණනය කිරීම්වලට වඩා දරුණු විය.
1963 ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී දහය පසු වන විට ගස්, ගල් සමග මොන්ටි ටොක් කන්ද වේගයෙන් පහතට පැමිණෙන අයුරු වේල්ලේ ඉංජිනේරුවන් නිරීක්ෂණය කර තිබිණි. නායගොස් තිබුණේ සැතපුම් 1.5ක් පමණ දිග, සැතපුමක් පමණ ගැඹුරක් ඇති සුවිසල් පස් කන්දකි. එම පස් කන්දේ ප්‍රමාණය ඝන මීටර් 260,000,000ක් පමණ වූ අතර, එය ජලාශයේ උපරිම ධාරිතාව මෙන් දෙගුණයක් විය. පැයට සැතපුම් 60ක වේගයෙන් පැමිණි පස් සහ මඩ නිසා තත්පර 45ක් තුළ ජලය පිරවූ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ගිය අතර, එහි ‍රැස්කොට තිබූ ජලය ඝණ මීටර් 50,000,000ක් අඩි 820ක් උසට විහිදුණු අතර, දිය රැළි දෙකක් සුනාමි ‍රැල්ලක් ආකාරයෙන් පහළ ගම්මාන වෙත කඩාවැදිණි. වේල්ල දෙසට පැමිණි රළ පහර, වේල්ලේ කට මට්ටමට වඩා අඩි 330ක් පමණ උස එකක් වූ බැවින් ටොන් මිලියන 275ක පමණ මහා ජල කඳක් වේල්ල මතින් ඉවතට ගලා ගියේය. එම ගංවතුර පහළ ඇති ලොන්ගරෝන් නගරය දෙසට ගමන් කළේ එහි සිටි 5,000ක් පමණ වූ වැසියන් කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයටයි. පහළ තිබූ ගම් 5ක් මෙයින් මුළුමනින්ම යට විය.
ලොන්ගරෝන් නගරයෙන් සියයට 80ක් මුළුමනින්ම විනාශ විය. නගරයේ තිබූ ගොඩනැගිලි 372න් ඉතිරිව තිබුණේ ගොඩනැගිලි 22ක් පමණි. සෙසු සියල්ලම මඩ සහ ගල්වලින් වැසීගොස් තිබිණි. ‍රැල්ල නිසා වැසියන් 1,910 දෙනෙක් මරණයට පත්වූහ.
ජල පහර වේල්ල මතින් පැමිණ පොළොවේ ගැටෙද්දී විශාල වායු ගැබක් නිර්මාණය වී තිබූ අතර, එයින් හිරෝෂිමා පරමාණු බෝම්බය පිපිරීමේදී නිර්මාණය වූ වායු ගැබට වඩා පිපිරුම් බලයක් නිර්මාණය වූ බව වාර්තා කෙරිණි. මේ නිසා මියගිය අයගේ සිරුරු බොහොමයක් හමු වී තිබුණේ නිරුවත් ලෙසයි.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන කාලයේ එම ප්‍රදේශයට සිදුවූ හානි සහ වර්තමානයේ තැනින්-තැන සිදුවන නායයෑම් පිළිබඳව මේ උදාහරණ ද අධ්‍යයනය කරමින් සාකච්ඡා කළ යුතුය. උමා ඔයේ උමග හාරන ලද්දේ මධ්‍යම කඳූකරයේ තීරණාත්මක කලාපයක ය.
එය එසේ ම තිබියදී වික්ටෝරියා ගැන ද විශේෂයෙන් කතා කළ යුතුය. විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ට අනුව වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් මෙවැනි අවදානමක් ඇත්තේ ඉතා අඩුවෙනි. වික්ටෝරියා ජලාශයේ ගබඩා කළ හැකි ජල පරිමාව ඝනමීටර් මිලියන 722කි. මේ සම්පූර්ණ ජල පරිමාව පිරුණු පසු, වේල්ල අඟල් දෙකහමාරකට ආසන්න ප්‍රමාණයකින් ඉදිරියට තල්ලුවීමක් සිදු වේ. කෙසේ වෙතත් මේ වේල්ල ඉදිකර ඇති දෙවක් ආරුක්කු හැඩය නිසා වේල්ල බිඳීයෑමට ඉඩක් නැති බව විශේෂඥයන්ගේ මතයයි.
මේ වේල්ල හරහට තල්ලු වුවද, එය ඇතුළට නෙරා ඇති ආරුක්කු හැඩයකට නිර්මාණය කර ඇති නිසා ජල පීඩනය දරාගැනීමේ හැකියාවක් ඇත. විශේෂඥයන් පෙන්වා දෙන අනෙක් වැදගත් කරුණ වන්නේ වේල්ල පහළ සිට ඉහළට සිහින් වන ආකාරයට ඉදිකර ඇති නිසා යම් හෙයකින් වේල්ල කැඩුණත්, එය ක්‍රමයෙන් බිඳීමක් සිදු වන බවයි. මේ නිසා එවැන්නක් සිදුවුවද, සිදු විය හැකි විනාශය ඉතා අවම ය.
විශේෂඥයන්ට අනුව ඉහළ ම තාක්ෂණයක් යොදාගනිමින් ආරක්ෂා කරන වේල්ල වන්නේ වික්ටෝරියා ය. එසේ ම වේල්ලේ පැලුම් සම්බන්ධයෙන් ද ඉහළ ම නිරීක්ෂණයක් සහිතව ආපදා කළමනාකරණ අංශ සහ අනෙකුත් වගකිවයුතු ආයතන කටයුතු කරන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති. කවර තත්ත්වයක් වුවද මේ කටයුතු කරන්නේ රටේ හදවත සමග ය. මධ්‍යම කඳූකරය සමග ය. එම නිසා පෙර උදාහරණ සියල්ලෙන් අත්දැකීම් ගැනීම සැහැල්ලුවෙන් සිටීමට හෝ හේතු දැක්වීමට හෝ වඩා අතිශය වැදගත් ය.

  • ශාලික විමලසේන

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...