උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

Share post:

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින් පිහිටි ගම කියූ ගමන් කාරණය වැටහෙන්නේය.
මේ ගමේ පවුල් 15ක් පමණ මේ වන විට ඉවත් කර තිබේ. ඒ නායයෑමේ දැඩි අවදානමක් ඇති ප්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නම් කිරීම නිසා ය. අවදානමක් පමණක් නොව, මේ ප්‍රදේශය මේ වන විට නායයමින් තිබේ. හරියටම මලිත්තගොල්ලට පහළින්, පොළොව යටින් ය, උමා ඔය බලාගාරය ඉදිකර ඇත්තේ. ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගිය 24දා විවෘත කළේ එම බලාගාරයයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූවිද්‍යාඥයන් පිරිසක් මේ වන විට අදාළ ප්‍රදේශයේ සම්පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම පරීක්ෂණයේ වාර්තාවෙන් කුමක් කීවද, මලිත්තගොල්ලේ ජනතාව කියන්නේ මෙය උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූ බවයි. විෂය මූලික නොවූවද, ඊට ඔවුන්ට සාධාරණ හේතු කිහිපයක් තිබේ. ඒවා ද පහසුවෙන් බැහැර කළ නොහැකිය. එම හේතු ගැන කියන්නට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පවසන මේ කාරණය විමසා බැලිය යුතුය.
මහාචාර්යවරයා පවසන්නේ උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමගේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බවයි. ජනතාව අතර බිය වැපිරීමට සහ දේශපාලන වාසි ලබාගැනීමට මේ තත්ත්වයන් භාවිත නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටී. බොහෝ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් සුළු ගැටලු‍ මතුවන බවත්, එය දියුණු රටවල ද දක්නට ලැබෙන සංසිද්ධියක් බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
කරඳගොල්ල ප්‍රදේශයේ නිරීක්ෂණය වූ නාය යෑම් පොළොවෙන් මතුපිටට ජලය ගලා ඒම හේතුවෙන් සිදු විය හැකි බවත්, එය උමගේ කාන්දුවක් නිසා හෝ පෞරාණික ජල මූලාශ්‍රයක් නැවත සක්‍රීය වීම නිසා හෝ සිදු විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කරයි. උමග ඉදිකිරීමේදී උල්පත් ජලය පසට කාන්දු වීම නිසා එය හැකිලීමට හේතු වූ අතර, එය ගොඩනැගිලි ඉරිතැලීම්, ගිලා බැසීම් සහ ළිං වියළීමට හේතු වූ බව ද අවධාරණය කරන මහාචාර්යවරයා, එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද පෙන්වා දෙයි.

මහාචාර්යවරයා පවසන කරුණත් සමග ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන ප්‍රදේශයේ කළ නිරීක්ෂණයකින් පසු පවසන්නේ කුමක්දැයි ද බැලිය යුතුය. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කරඳගොල්ල ප්‍රදේශයේ පමණක් නොව ඇල්ල ප්‍රදේශයට ද බලපා ඇති අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බවයි. රජයේ වගකිවයුතු නිලධාරීන් අතරින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කරන්නේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සහ කරඳගොල්ල-මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑම් තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සතියක් තුළ ලැබෙනු ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් සකස් කරන මේ වාර්තාව මගින් භූමියේ අස්ථාවරව ඇති තැන් හඳූනාගෙන, එම ස්ථාන ස්ථාවරත්වයට පත්කිරීමට කළ හැකි කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඉදිරිපත් කරනු ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා විශ්වාසය පළකරයි.
එනම් රජයේ වගකිවයුතු ආයතන මගින් විෂය මූලික අධ්‍යයනයක් සිදුකරමින් සිටී. මේ වන විට මලිත්තගොල්ලටත් වඩා නිලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ නායයෑම් අවදානම නැතිකර ගැනීමටයි. ඔවුන්ගේ බොහෝ පර්යේෂණ කේන්ද්‍ර කර ඇත්තේ ද ඒ සඳහා ය.

ජනතාවගේ පැත්තෙන් මේ ගැන මූලිකව ම කියන්නේ මෙවැන්නකි.
‘බලාගාරයට පොළොව හාරන්න ගත්තු වෙලාවෙ ඉඳලා, ඒ කියන්නෙ මීට අවුරුදු පහ-හයකට කලින් ඉඳලා නායයෑම් ගැන ඉඟි තිබුණා.’
පොළොව හෑරීම සඳහා භාවිත කළ දැවැන්ත යන්ත්‍රවල දෙදරීම් මීට හේතු වූ බව ජනතාව කියයි. එහෙත් එය අවදානම සහිතව සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් පැවතිණි. පසුගිය නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා මේ ප්‍රදේශයට මෑත කාලයේ ඇදවැටුණු විශාලතම වර්ෂාව ද ලැබිණි.
‘එච්චර වැස්සක් ඇවිල්ලත් පොළොවෙ වෙනසක් තිබුණෙ නෑ.’
සාමාන්‍යයෙන් නායයෑම් අතිශය සක්‍රීය වන කාලයකි, තද වැස්ස කාලය.
‘බලාගාරය විවෘත කරන්න උමග දිගේ වතුර එව්වට පස්සෙ තමයි මේ වෙනස්කම් ඇති වුණේ.’

ජනතාව මේ පවසන්නේ ඔවුන්ට මතුපිටින් පෙනෙන දේ ය. මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරියෙකු සඳහන් කළේ මීට පෙර උමග හරහා ගිය ජල මූලාශ්‍රවල ජලය වෙනුවට, දැන් උමග දිගේ උමා ඔයේ ජලය එන බවත්, එම නිසා ජල මූලාශ්‍රවල ජලයට යන්නට ඉඩක් නොමැති නිසා එම ජලය උමග වටෙන් පස් තට්ටු බුරුල් කරමින් සිටිනු ඇති බවත් ය. කෙසේ වෙතත් මේ තත්ත්වය දිගටම පැවතුණහොත්, බරපතළ අවදානමක් සිදුවන නිසා කඩිනමින් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව භූවිද්‍යා විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති.
‘මේ වෙනකොට මලිත්තගොල්ලෙ විතරක් පවුල් 15ක් අයින් කරලා තියෙනවා. අයින් කරනවා විතරයි. ඊටපස්සෙ අපි කෑවද, බිව්වද බලන්න කවුරුත් නෑ. අයින් කරපු පවුල්වල කට්ටිය ඉන්නෙ ඥාති ගෙවල්වල. ඥාති ගෙවල්වල කවදා වෙනකම් ඉන්නද. ඒගොල්ලොන්ට කවදා වෙනකම් මෙහෙම කරදර කරන්නද. ඊට පස්සෙ වෙන්නෙ ඥාතිකමුත් නැතිවෙන එක.’
ජනතාව මේ කරන චෝදනාව සම්බන්ධයෙන් විමසීමේදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ එම ජනතාවට වන්දි සහ දීමනාවක් ලබාදීම පිළිබඳ සලකා බලමින් සිටින බවයි. වාර්තා වන ආකාරයට මේ ජනතාවට නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 16කට ආසන්න මුදලක් ලබාදීමට නියමිත ය. එහෙත් එම මුදල ද එකවර ගෙවන්නේ නැත. මුලින් ගෙවනු ලබන්නේ රුපියල් ලක්ෂ තුනකි. අත්තිවාරමක් දමා පෙන්වීමෙන් පසු තවත් මුදල් කොටසකි.

ජනතාව එසේ විමසයි. එම ප්‍රශ්නය මෙසේ සංශෝධනය විය යුතුය.
‘ඉඩමක් සහ නිවසක් අහිමි පවුලකට රුපියල් ලක්ෂ 16කින් කළ හැක්කේ කුමක්ද?’
‘චරිත සහතික දෙන්න හදිස්සි වෙන්න එපා’
මේ සම්පූර්ණ විපත සම්බන්ධයෙන් මුල සිට ම පෙනී සිටි අයෙකි, ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න. ඔහු මෙසේ කියයි.
උමා ඔය ව්‍යාපෘතිය නිසා ඒ තරම් ලොකු විනාශයක් නෑ, ඔබ ඇතුළු පිරිස එවැනි ප්‍රකාශ කළේ අනියත බියක් ඇති කරමින් ජනතාව කලබල කිරීමේ අරමුණෙන් කියලා ඇතැම් පාර්ශ්ව කියනවා. ඔවුන්ට දෙන්න උත්තරයක් තියෙනවද?
අපි විපතක් වෙනකම් බලාගෙන හිටියෙ නෑ. නිරන්තරයෙන් කටයුතු කළේ විපත නවත්තන්න. අපි ඒ විදිහට මැදිහත් නොවුණා නම් මේ ගැන හොයන්න කිසිම විශේෂඥයෙක් ලංකාවට ගෙන්වන්නෙ නෑ. එහෙම නොගෙනාවා නම් අද මධ්‍යම කඳූකරයේ දකුණු බෑවුමට මීට වඩා ලොකු විනාශයක් වෙනවා. ඒ විනාශය යම් පමණකට හෝ නවත්තන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා. නමුත් විනාශය නතර වෙලා නෑ. ඒක තමයි තැනින්-තැන මතුවෙන්නෙ.
මේ ව්‍යාපෘතිය නිසා අනාගතයෙදිත් යම් යම් විනාශයන් සිදුවෙන්න ඉඩ තියෙනවා. සමහර විනාශකාරී ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලැබෙන්නෙ අනාගතයේ. ඇඳූමක් ඉරුණොත් මහන්න පුළුවන්. ඒත් පොළොව පිපිරුණොත් පොළොව ආපහු හා කරන්න බෑ. දැන් මධ්‍යම කඳූකරයේ පොළොව ඉරිතලලා ගිහින් තියෙන්නෙ. ඒ නිසා මං කියන්නෙ මේ ව්‍යාපෘතියට චරිත සහතික දෙන්න හදිස්සි වෙන්න එපා කියලා.
මේවට විරුද්ධ වෙවී ඉන්නවා වෙනුවට නිසි අධ්‍යයනයක් කරලා මේවා වෙනස් කරගන්න දායකත්වය දෙන්න පුළුවන් නේද?
අපි තමයි ඒක මුලින්ම කළේ. හැමතැනදිම මුලින්ම කරන්නෙත් අපි. නැත්නම් අපිට හිතට එනවට මේවා කියන්න පුළුවන්ද. ජනතාව පීඩාවට පත්කරන, විනාශකාරී ව්‍යාපෘතිවලට අපි විරුද්ධ වෙන්නෙ පදනමක් ඇතිව.
ලංකා ඉතිහාසයේ වැඩිම විරෝධතා ප්‍රමාණයක් ඇති වුණේ උමා ඔය ව්‍යාපෘතියට විරුද්ධව. 1980 අංක 47 දරන ඳාජාතික පාරිසකරි පනතට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කලින් අනිවාර්යෙන්ම පරිසර බලපෑම් ඇගයීම් තක්සේරු වාර්තාවක් සකස් කරන්න ඕනෙ. ඒ වාර්තාව අනුමත වුණොත් විතරයි, අදාළ ව්‍යාපෘතියේ වැඩ පටන්ගන්න පුළුවන්.
උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බෙ 2008 අප්‍රේල් 29. එතකොට මේ වාර්තාව හදලා තිබුණෙ නෑ. හිතූමතේට මුල්ගල තියලා ව්‍යාපෘතිය ආරම්භ කළාම අපි අධිකරණයට ගිහින් විරෝධතාව ප්‍රකාශ කළා. ඊට පස්සෙ තමයි ව්‍යාපෘතියට පරිසර වාර්තාවක් හදන්න පටන්ගත්තෙ. එතකොටත් ව්‍යාපෘතිය යම්තාක් දුරකට කරගෙන යනවා. ඒ වාර්තාව අනුමත කළේ 2011 අප්‍රේල් 13 වැනිදා. ඒ කියන්නෙ ව්‍යාපෘතිය පටන් අරන් අවුරුදු තුනකට පස්සෙ. අපි තමයි ඒවා හරි පාරට දාගන්න මැදිහත් වුණේ.

මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුඳුගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඩේගම හා අභයපුර යන ගම්මානවල විශේෂයෙන් ම ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්විය. එහෙත් ඇතැම් ජල මූලාශ්‍ර මේ වන විට යළිත් සක්‍රීයවෙමින් පවතී. උඩපේරුව, පල්ලෙපේරුව, මැදපේරුව ප්‍රදේශවල කිසිදු ජල මූලාශ්‍රයක් මෙතෙක් පැවැති පරිදි සක්‍රීය වී නැත. මේ නිසා කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් පුරන් වී ඇත. නිවාසවල හානිය එසේ ම තිබියදී ප්‍රමාණවත් වන්දි නොමැතිකමින් තවදුරටත් ජනතාව පීඩාවිඳීමින් සිටී.
මේ දැවැන්ත විනාශයන් සියල්ල ආරම්භ වූයේ ප‍්‍රධාන උමඟේ කැණීම් ආරම්භ වීමත් සමග ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා, ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොටආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථානගත කර ඇති විදුලි බලාගාරය දක්වා ආදී වශයෙන් උමං කැණීම් සිදු විය. මේ සියලු උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාෂාණ සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාෂාණවල උමං කැණීමත් සමග පොළොව මතුපිට භූ පැලුම් ඇති විය. එම භූ පැලුම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිඳී යෑම සිදු වී ඇති අතර, භූ පැලුම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු විය.

උමා ඔයේ ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යෑමේ පළමු සැලසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කෙරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය මගිනි. ඒ වාර්තාව මූල්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ජල ධාරා 02ක් අතර ජලය ගෙනයෑමෙන් ජනතාවගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්‍යාපෘති වාර්තාව ප‍්‍රතික්ෂේප කෙරිණි. පසුව ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර 5කින් නිම කිරීමට මුලදී සැලසුම් කළද, පසුව ඒ සියල්ල වෙනස් විය. පළමු සැලසුමට අනුව ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් මිලියන 76,316කි. එයින් සියයට 85ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබාදීමට නියමිතව තිබූ අතර, ඉතිරි සියයට 15ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු විය. ඉඩම් අත්පත් කරගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475ක මුදල ශ්‍රී ලංකා රජයෙන් දැරිය යුතු බව ද මුල් සැලසුමේ පැහැදිලි ව සඳහන් විය. ව්‍යාපෘති කාලය තුළ මේ ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු ඉඩම් අත්පත් කරගැනීම් කටයුතු හා නැවත පදිංචි කිරීම් කටයුතු අක්‍රමවත් වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ මෙතරම් දැවැන්ත මුදලක් දැරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැති වීම ය.

පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමා ඔයෙන් සියයට 65ක් ඌව පළාතටත් සියයට 35ක් මධ්‍යම පළාතටත් අයත් ය. ව්‍යාපෘතියට ඉහළින් උමා ඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 350කි. මුලදී සැලසුම් කළ ව්‍යාපෘතියට අනුව උමා ඔයේ ජලය වාර්ෂිකව කියුබික් මීටර් මිලියන 145ක් කිරිඳි ඔයට හරවා යැවීමට නියමිත විය. යෝජිත වේලිවලට පහළින් උමා ඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් සැලසුමේ විය. විවෘත කරන ලද්දේ එවැනි එක් ව්‍යාපෘතියකි.
විවෘත කරන ලද භූගත විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිබල ප‍්‍රමාණය මෙගා වොට් 120කි. වාර්ෂිකව ගිගාවොට් පැය 231ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත ය. බලාගාරයේ උත්පාදනය කරන විදුලිය බදුල්ල දක්වා කිලෝමීටර් 27ක දුරක් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඔස්සේ පරිවහනය කෙරේ. එමගින් රාවණාඇල්ල අභය භූමිය දෙකඩ වීම සිදු වී තිබේ.
අවශ්‍ය වන්නේ සංවර්ධනය යනු කුමක්ද යන්න නිවැරදිව තේරුම්ගැනීම ය. තේරුම් ගෙන ජනතාවට වඩා යහපත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ය. සමස්ත වාසියට වඩා සමස්ත පාඩුව වැඩි නම් එය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හැඳීන්විය නොහැකිය. කෙසේ වෙතත් දැන් අශ්වයා ගොස් අවසන් ය. එම නිසා කළ යුත්තේ ඉදිරි විනාශ වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ය.

  • ශාලික විමලසේන

Related articles

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...