හෘද සාක්ෂියට අවංක වීම හෙවත් A Hidden Life

Share post:

ටෙරන්ස් මලික් ( Terrence Malick ) ගේ A Hidden Life (2019) චිත්‍රපටය පාදක වන්නේ 1907 දී ඕස්ට්‍රියාවේ ඉහළ කොටසේ කුඩා ගම්මානයක උපත ලැබූ Franz Jaegerstaetter නම් ගොවියෙකු ගේ සැබෑ ජීවන වෘත්තාන්තය. දෙවන ලෝක යුද්ධය සමයේ හිට්ලර් ගේ නාසි හමුදාවට බැඳී ඔහුගේ ඒකාධිපතිත්වය වෙනුවෙන් යුද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නාසි හමුදාව විසින් අත් අඩංගුවට ගෙන නොයෙක් වද හිංසාවට ලක් කොට 1943 අගෝස්තු මස 09 දින ඔහු එල්ලා මරනු ලබනවා. මේ තරුණ ගොවියා ගේ සෝචනීය සැබෑ කතා පුවත මලික් විසින් සිනමා කාව්‍යයක් බවට පරිවර්තනය කරන්නේ A Hidden Life නමින්. ඒ නම ඔහු තෝරා ගන්නේ ජෝර්ජ් එලියට් ගේ නවකතාවක් වන Middlemarch කෘතියෙන්.

මුලු චිත්‍රපටයම දුවන්නේ ඔහු සිය මතවාදය වෙනුවෙන් නොවෙනස් ව, අකුටිලව පෙනීසිටින ආකාරය අපූර්වට ප්‍රතිනිර්මාණය කරමින්. සිය තරුණ බිරිඳ දියණියන් තිදෙනා වෙනුවෙන් වත් ප්‍රාන්ස් තමන් දැරූ මතය වෙනස් කරන්නේ නෑ. ඔහු සෑම විටම ප්‍රශ්න කරන්නේ යුද්ධයේ නිරර්ථක බව හා අමානුෂික බව සාධාරණීකරණය වන්නේ කෙලෙසකද කියා.

ඔහු තෝරාගන්නේ මරණය යුද්ධයට හා හිට්ලර් ට පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීමේ දිවුරුම් වලට හා සටන් බිමෙන් තොර වෙනත් සහායක සේවා වල නිරත වීමේ පොරොන්දු වලට අත්සන් කිරීමේ බොහෝ අවස්ථා තිබියදීත් ඔහු තමන්ගේ මතය වෙනුවෙන්ම පෙනී සිටිනවා. බියගුළු එකඟතාව වෙනුවට ඔහු තෝරාගන්නේ මරණය.

දැඩි කතෝලිකයකු වන ප්‍රාන්ස් එක් වතාවක යුද්ධය සාධාරණීකරණය කරණ පූජකයා ගෙන් සහ අත් අඩංගුවේ සිටියදී ඔහුව ප්‍රශ්න කරණ හමුදා ජෙනරාල්වරයා ගෙන් පෙරලා අසන ප්‍රශ්න කිහිපය අපව යථාර්ථය මත දෙපයින් සිටවනවා. ඒ විතරක් නොවෙයි පාලකයින් හා ආගමික සංස්ථාවන් අතර ඇති ජනතා විරෝධී අන්‍යොන්‍යය සහයෝගිතාව ටෙරන්ස් මලික් මෙහිදී ප්‍රශ්න කරනවා.
“අපි අහිංසක මිනිසුන් ඝාතනය කරනවා. වෙනත් රටවල් යටපත් කරගන්නවා. දුර්වලයන් ගොදුරු කරගන්නවා. පූජකයෝ මේ දේවල් කරන සොල්දාදුවන් හඳුන්වන්නේ වීරයන්, සාන්තුවරයන් ලෙස. නමුත් වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. ආක්‍රමණිකයන් ගෙන් තමන්ගේ නිවෙස් ආරක්ෂා කරගන්න අයයි වීරයෝ..” ෆ්‍රාන්ස් පූජකයාට පවසනවා.

මං විශ්වාස කරන දේ මට කරන්න බෑ නාසි හමුදා ජෙනරාල්වරයා ට ඔහු පවසන්නේ, “මම කියන්නේ නෑ ඔහු (හිට්ලර්) දුෂ්ටයි මම නිවැරදියි කියලා.. මම හැම දෙයක්ම දන්නේ නෑ. මිනිහෙක් වැරදි කරන්නත් පුළුවන්. ඔහුට එයින් මිදෙන්න බෑ… ජීවිතය පැහැදිලි කරගන්න බෑ.. සමහර විට ආපසු යන්න ඔහු කැමතිවුනත් ඔහුට යන්න බෑ …මේ හැඟීමයි මගේ ඇතුලේ තියෙන්නේ.. මං විශ්වාස කරන දේ මට කරන්න බෑ. ඒක වැරදියි …”

චිත්‍රපටයෙ දී මලික් පවත්වාගන්නා තානය මුඛ්‍ය තේමාවට අත්‍යන්තයෙන් බද්ධ වෙනවා. මන්දගාමී ලෙස ගලායන රූප රාමු අප සමග කතාකරනවා. ජර්මානු සිනමා කැමරා ශිල්පී Jorg Widmer ගේ කැමරාකරණය කවි ගැයුමක් බඳුයි. සම්මානලාභී ඇමෙරිකානු සංගීතඥ James Newton Howard ගේ සංගීතය චිත්‍රපටයේ යටිපෙළ පැහැදිලි කරන ආලෝකධාරාවක්. සුකුමාර රංගන ශිල්පීන් නොවුනද ජර්මානු රංගන ශිල්පී August Diehl සහ ඕස්ට්‍රියානු රඟන ශිල්පිනී Valerie Pachner ගේ නිරූපනයන් හි විශිෂ්ටත්වය අපව පුදුමාකාර විදියට සසල කරනවා.

මිත්‍රවරුනි, යුද්ධය හා ඒකාධිපතිත්වය යනු මොනතරම් මානව විරෝධී ක්‍රියාකාරකමක් හා චින්තාවක් ද? එයට විරුද්ධව කුඩා මිනිසුන් සිය ජීවිත ඇතුලේ කරණු ලබන මානුෂීය අරගලය මොන තරම් සුන්දරද? අප විසින් ඔවුන් සහෝදරත්වයෙන් වැළඳ ගතයුතු නොවේද? ටෙරන්ස් මලික් ට කන්දෙන්න. ඔහුගේ A Hidden Life සිනමා කාව්‍යය මවක සේ ඔබට එය කියා දෙනු නියතයි.

ප්‍රදීප් පීරිස්

Related articles

පාඨක, විචාරක විචාරාක්ෂියෙන් ගිලිහී ගියේ දෝ, හැඟෙන ‘නිදි නැති නිම්නය ‘

තමන්ට අනන්‍ය මගක, අනන්‍යතා ගුණයක රැඳෙමින් , සෙමෙන් එහෙත් ගැඹුරින් , බරට අඩි තබමින් ලේඛනයෙහි , ලිවීමෙහි නිරත...

මහීෂ්, ලෝක කුසලානය සහ ඉන්දියාව

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය...

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...