හාස්‍යානුකරණ කලා නිර්මාණයක් සිදු කළ බවට චෝදනා කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක්විය. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට මෙසේ චෝදනා එල්ල කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියකුට ය.
රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන සූර්ය මංගල්‍යය ගීතය එසේ විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළ ව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විමර්ශන පවත්වන ලදි. මීට පාදක වී තිබුණේ අන්තර්ජාලය තුළ අතිශය ප්‍රකට වූ හාස්‍යානුකරණ ගීතමය නිර්මාණයකි.
හාස්‍යානුකරණ හෙවත් පැරඩි කලාව ලෝක මට්ටමේ ප්‍රකට කලාත්මක ප්‍රකාශන මාදිලියකි. ලංකාවේ ද විවිධ නිර්මාණ ශිල්පීන් මෙවැනි නිර්මාණ කරනු ලබයි. මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ බෙදීමක් ඇති වූ අතර, කොටසකගේ මතය වූයේ අසභ්‍ය වචන එහි භාවිත වන බවයි. කෙසේ වෙතත් අසභ්‍ය වචන යන්නෙහි සීමාව කුමක්ද යන්නත්, එවැනි වචන භාවිත කිරීම නීතියට පටහැනි වන්නේ කෙසේද යන්නත් ඒ සම්බන්ධයෙන් ඇති වූ තවත් සංවාදයකි. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට මෙමගින් එල්ල කරන බලපෑම පිළිබඳව ද තවත් සංවාදයක් ඇති විය.
කලා නිර්මාණ සම්බන්ධයෙන් මෑත කාලයේදී අත්අඩංගුවට ගැනුණු නිර්මාණකරුවන් දෙදෙනෙකි, ශක්තික සත්කුමාර සහ අහ්නෆ් ජසීම්. ශක්තික සත්කුමාර විසින් ලියන ලද කෙටිකතාවක් සම්බන්ධයෙන් ගොනුකරන ලද පැමිණිල්ලක් හේතුවෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගැනුණු අතර, පසුව අධිකරණයෙන් ඔහු නිදහස් කෙරිණි. අහ්නෆ් ජසීම් විසින් ලියන ලද කෙටිකතා පොතක් හේතුවෙන් අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගැනිණි. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. පසුව ඔහුගේ කෘතියෙන් එවැනි අදහස් ප්‍රවර්ධනය වීමක් නොමැති බව තහවුරු විය. මෙවැනි උදාහරණ රැසකි.
අපට එසේ කළ හැකි ද?
අපේ රටේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. සියලු නීතිවලට ඉහළින් එය තිබේ. එහි 14 (1)(අ) වගන්තියේ මෙසේ දැක්වේ.
‘සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.’
එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.
වනිගසූරිය එදිරිව පීරිස් නඩු තීන්දුවේ දැක්වෙන්නේ දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බවයි. විජේරත්න එදිරිව පෙරේරා නඩු තීන්දුවේ දැක්වෙන්නේ රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බවයි.
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය නඩුව ප්‍රකටව ඇත්තේ ජනඝෝෂා නඩුව ලෙසයි.
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.
සියල්ලට වඩා බරපතළ කරුණ කුමක්ද?
මේ අනුව බලන විට පැහැදිලිව පෙනීයන්නේ පුරවැසියන්ගේ මේ අයිතිය අතිශය වැදගත් සහ සුරක්ෂිත කළ යුත්තක් බවයි. එසේම තමන්ට එවැනි අයිතියක් ඇති බව ජනතාව දැනසිටිය යුතුය. ලංකාවේ පාසල් අධ්‍යාපනයට නීතිය විෂය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වරින්-වර පුළුල් සංවාද මතුවුවද, එය තවමත් ඇත්තේ වාද කරන මට්ටමේ පමණි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ද ඒ පිළිබඳ නිශ්චිත ව කරුණු සඳහන් නොවේ. මේ නොදැනුවත්කම හේතුවෙන් නීතිය යොදාගනිමින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කිරීම අපට එදිනෙදා ජීවිතයේදී බොහෝ අවස්ථාවල දැකිය හැකි කරුණකි. මීට හොඳම උදාහරණයක් ලෙස සමාජයේ දැඩි කතාබහට ලක්වන්නේ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ගේ හැසිරීම් ය.
නීතිය නොදන්නා බව නිදහසට කරුණක් නොවේ යන්න අධිකරණ ක්‍රියාවලියේදී පිළිගැනෙන අදහසකි. එනම් වරදක් කොට, අධිකරණයට ඉදිරිපත් කළ පසු ‘මම දැනගෙන හිටියෙ නෑ’ කිව නොහැක. අධිකරණය කටයුතු කරන්නේ නීතිය ගැන පුරවැසියන් සියල්ල දැනුවත් ය යන පූර්ව නිගමනයේ සිට ය. එය ලෝකයට ම පොදු තත්ත්වයකි.
මෙවැනි තත්ත්වයක් යටතේ ය, හාස්‍යානුකරණ නිර්මාණයක් සම්බන්ධයෙන් වන අත්අඩංගුවට ගැනීමක්, විමර්ශනයක් සහ ඒ පිළිබඳ කතාබහක් ඇතිවූයේ. පුරවැසියන්ගේ නිදහස යනු අනෙකාට හානියක් නොවන ලෙස කටයුතු කිරීමේ අයිතිය ය. මගේ නිදහස අනෙකාගේ නාසය ළඟින් අවසන් වේ යන සුප්‍රකට කියමනෙන් පැහැදිලි කරන්නේ ද එයයි. එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාව මගින් ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සීමා කර ඇත්තා සේ, තමන්ගේ නිදහසේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුය.
එහි ද තවත් පැත්තක් තිබේ. එනම් ස්වයං වාරණය යනු ද බරපතළ කරුණකි. අපේ රටේ තාලයේ දේශපාලනයේදී පුරවැසියන් විසින් ස්වයං වාරණ දමාගන්නේ නම්, එය වාසියට කරුණකි. එනම් තමන්ට හානියක් වේය යන පූර්ව නිගමනය මත තමන්ට ඇති අයිතිවාසිකම් අමතක කොට දමා ජීවත්වීමයි. අනෙකාට ද එය විඳීමට බාධා කිරීමයි. එය සියල්ලට ම වඩා බරපතළ තත්ත්වයයි.
- ශාලික විමලසේන