හොරොව්පතානේ තරුණයෙක් පැහැරගෙන දවස් 25ක් හිරකරලා : පොලිස් විශේෂ කාර්ය බලකායට බරපතළ චෝදනාවක් : අලුත් පනතින් පළමු නඩුව වැටෙයි !

Share post:

හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පැහැරගෙන ගොස් දින 25ක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට එරෙහිව 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ලංකාවේ පළමු නඩුව පවරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
එම කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ පනතේ සඳහන් කර ඇති ආකාරයට කොළඹ මහාධිකරණය හමුවේ මේ නඩුව පවරන බවයි. පසුගිය මාර්තු 27දා හොරොව්පතාන නගරයට පැමිණි කපිල කුමාර ව කිසියම් පිරිසක් වෑන් රථයකින් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබිණි. මේ පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සහ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිලි කර තිබිණි. ඉන්පසු හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත හොරොව්පතාන පොලිසිය විසින් මේ පිළිබඳ කපිල කුමාරගේ ඥාතීන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊට පෙර පොලිසිය මීට අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කළ බව පවුලේ ඥාතීහු පවසති.
මේ අතර ඔහු අතුරුදන් වූ 27දා පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බව පැවසූ පිරිසක් ගාල්ල, කහව ප්‍රදේශයේ පිහිටි කපිල කුමාරගේ මවගේ නිවසට ගොස් ඔහු පිළිබඳ ප්‍රශ්න කර ඇත. ඉන්පසු ඔහුගේ මව විසින් පිටිගල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. මේ අතරතුර කපිල කුමාර සමග සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් කරමින් කපිල කුමාරගේ ඥාති සහෝදරයකු වන කැළුම් නිරෝෂන්ව කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායට බාර දී ඇති බවත්, පසුව පොලිස් විශේෂ කාර්ය බලකායෙන් නැවත ඔහුව පොලිසියට බාරදීමෙන් පසු අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් නීතිඥ සේනක පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
මොවුන්ට ඝාතන චෝදනා ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ යැයි සඳහන් කළ නිලධාරීන් පිරිසක් තමන්ට පැවසූයේ යැයි පවුලේ ඥාතීහු පවසති.
කෙසේ වෙතත් පසුගිය 21දා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කපිල කුමාරව පිටිගල පොලිසියට බාර දී තිබේ. ඉන්පසු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නඩුව යළිත් හෙට (25) කැඳවීමට නියමිත ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පවසන්නේ පුද්ගලයකු විසින් කරනු ලබන අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීත්‍යනුකූල ක්‍රමවේදයක් ඇති බවයි. එම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කිසිදු හේතුවක් මත පුද්ගලයකු පැහැරගෙන යෑමට ආරක්ෂක අංශවලට හැකියාවක් නැති බවත්, ඊට එරෙහිව පියවර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායට එල්ල වන මේ චෝදනාව පිළිබඳව විමසීමට එම බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඉන්පසු මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මෙතෙක් එවැනි තොරතුරක් සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි.
පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මේ වන විට පුහුණුවකට ගොස් සිටින අතර, එහි ඉහළ නිලධාරියකු අප වෙත සඳහන් කළේ මීට අදාළ සියලු කටයුතු සිදුකරන ලද්දේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් බවයි. ඊට වැඩි යමක් තමන්ට පැවසිය නොහැකි බව ද ඔහු පැවසීය.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...