ණය වෙනුවෙන් වනාන්තර හිලව් කරයි : ව්‍යාපෘතිය අධ්‍යයනයට කඩිනම් කමිටුවක් !

Share post:

ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6කට අධික දැවැන්ත ණය මුදලක් ශ්‍රී ලංකාව දරා සිටී. එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 25,000කි. ඒ කියන්නේ ලංකාවේ සෑම පුරවැසියෙකු ම රුපියල් ලක්ෂ 12ක ණයකරුවෙකි. මේ දැවැන්ත ණය අර්බුදය හේතුවෙන් ලංකාව රටක් ලෙස මුහුණ දෙන ගැටළු රැසකි. ඒ ගැටළු සියල්ලේ අවසාන වින්දිතයන් වන්නේ සාමාන්‍ය ජනතාව ය. මේ වන විට ලංකාව ණය ගෙවීම නවතා තිබේ. 2022 අප්‍රේල් 12දා ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කළේ රට බංකොලොත් බව ය. එනම් ණය ගෙවීමට නොහැකි බව ය. දැන් වසර 2ක් තිස්සේ අප ණය ගෙවන්නේ නැත.


මේ ණය අර්බුදය ද ඇතුළු අක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිකරන ලද ආර්ථික අර්බුදය නිසා වැඩි ම හානියක් සිදුවන්නේ පරිසරයට ය. රජයේ කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා ලබාදීමේදී ඊට අදාළ සියලු ආයතනවලින් අනුමැතිය ගත යුතු බව සඳහන් වූ 05/2001 චක්‍රලේඛය මුලින්ම අහෝසි කෙරිණි. ඒ වෙනුවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද 01/2020 චක්‍රලේඛය මගින් සිදුකරන ලද්දේ අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ තනි බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදීම ය. මේ තීරණය නිසා රටට අහිමි වූ වනාන්තර ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර ලක්ෂ 3කි.
ඉන්පසු ඊළඟ පියවර ලෙස ලෝකයේ දැනට වැඩියෙන්ම මුදල් එහෙ-මෙහෙ වන දේශගුණික විපර්යාස සඳහා මුදල් ලබාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය. එහිදී සිදුවන්නේ රටේ ඇති ස්වභාවික සම්පත් මුදලට හිලව් කිරීමකි. උදාහරණයක් ලෙස සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කිරීම සඳහා නිශ්චිත මුදලක් ලබාදීම සිදු කරයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙහිදී අදාළ ස්වභාවික සම්පත කළමනාකරණය කිරීමේ වගකීම ද නිශ්චිතව වෙනත් පාර්ශ්වයකට පවරා දෙන බවයි.

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (ෘැඉඑ දෙර භ්එමරු) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය (ඨකදඉ්ක ඨරුැබ ඨරදඅඑය ෂබිඑසඑමඑැ – ඨඨඨෂ) අතර අත්සන් කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ ගිවිසුම අත්සන් කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වර්තමානයේ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බෑන් කි-මූන් ද මේ අවස්ථාව සඳහා සහභාගි විය. ගිවිසුම අත්සන් කරන ලද්දේ පරිසර අමාත්‍යංශයේ එවකට ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ය. ඔහු ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ උප සභාපතිවරයකු ද වේ. එම සංවර්ධන ආයතනය පාර්ශ්වයෙන් ගිවිසුමට අත්සන් තබන ලද්දේ එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මාන් ය. මේ ගිවිසුමේ මුල් පිටපත් ලබාදෙන ලෙස පරිසර සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියද, එය සිදුවූයේ නැත. කෙසේ වෙතත් මීට අදාළ කටයුතු මෙතෙක් ඉදිරියට ගියේ නැත.
දැන් තවත් පියවරකට ගොස් තිබේ. පසුගිය අප්‍රේල් 15දා බි්‍රතාන්‍යය පදනම් කරගත් පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය (ෂබිඑසඑමඑැ දෙර ෑබඩසරදබපැබඑ ්බා ෘැඩැකදචපැබඑ – ෂෂෑෘ) නිකුත් කළ වාර්තාවකට අනුව ලංකාව ද ණය සඳහා වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් හුවමාරු කිරීමේ ක්‍රමවේදයකට ඇතුළත් කර තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් සාකච්ඡා ද ආරම්භ කර ඇති අතර, මේ ස්වභාවික සම්පත් හුවමාරුව සහ ණය සම්බන්ධයෙන් අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කිරීමට ද යෝජිත ය.
ණය අර්බුදවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති, ඌණ සංවර්ධිත රටවල් සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය සිය වාර්තාවෙන් අවධාරණය කර සිටී. බෙලීස්, ඉක්වදෝරය, බාබඩෝස්, ගබෝන් යන රටවල් මෑත කාලයේදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ස්වභාවික සම්පත් ණය මුදල්වලට හිලව් කරන ලද රටවල් වේ. අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට ද මේ අවස්ථාව ඇති බවයි. පරිසරය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ තිරසර වෙළෙඳපොළ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෝරා කෙලී පෙන්වා දෙන්නේ ඉදිරියේදී රටවල් රැසක් මේ ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇති බවයි. ලෝරා කෙලී වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ රටවලින් බොහොමයක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් තර්ජනයට ලක්ව සිටින බවයි.
ශ්‍රී ලංකාව මෙන්ම ඝානාව ද දැඩි ණය අර්බුදයක සිටින අතර, ඔවුන් ද අදාළ ව්‍යාපෘතිය සඳහා දිරිගැන්වීමට අපේක්ෂිත බව අදාළ වාර්තාවේ දැක්වේ. ඝානාව යනු ශ්‍රී ලංකාව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට එළඹ සිටින තවත් රටකි.
පරිසරය සහ සවංර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ අරමුණ වන්නේ මේ සතිය අගදී ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ විශේෂ සැසිවාරවලදී ණය හුවමාරු වැඩසටහන් සඳහා රටවල් දිරිගැන්වීමයි. මේ යටතේ දිළිඳූ රටවල ණය කපාහැර ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා දේශගුණික විපර්යාස මූල්‍ය සහන ලබාදීමට අපේක්ෂිත ය.

මේ අතර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය යනුවෙනි. මේ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ වන රක්ෂිතවල පිහිටි පෞද්ගලික හෝ භුක්ති විඳින ඉඩම් හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් ය. ඒ පිළිබඳ දින වකවානු සහිත වැඩසටහනක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, මුල් වටයේදී යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රීකුණාමලය, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල යන දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙම වැඩසටහන සකස් කිරීමට උපදෙස් දී තිබේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවකදී ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකෙරුණු බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබිණි.
දීර්ඝ කාලයක් ආරක්ෂා කළ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදාගැනීම පසුගිය කාලයේදී වේගවත් කෙරිණි. මේ නිසා අද වන විට ලංකාවේ ස්වභාවික වනාන්තර ආවරණය සියයට 17කටත් වඩා අඩු වී ඇතැයි පරිසරවේදීහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දෙති.
යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වනාන්තර අක්කර 15,000ක්, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක් මෙසේ විනාශ කළ ස්වභාවික සම්පත් තවත් කොතෙක් ද? යුද්ධයේ අවසානයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක ව්‍යාපෘති සහ අධිආරක්ෂක කලාප පවත්වාගෙන යෑම සඳහා භාවිත කිරීම නිසා අලු‍තින් ජනාවාස ගොඩනැගීමට වනාන්තර අක්කර කොපමණක් විනාශ කළේද?

මේ විනාශයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සැලසුම් සකස්කරන්නන් වනාන්තරවල වැදගත්කම තේරුම් නොගැනීමයි. ජල මූලාශ්‍ර, ජල පෝෂක, වනාන්තර භූමි ප්‍රදේශ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති මේ පාර්ශ්ව ජාතික භෞතික සැලැස්මේ සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සමස්ත ජල සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවයි. නමුත් මධ්‍යම කඳුකරයෙන් පමණක් නොව වියළි හා අතරමැදි කලාප දෙකෙන් ආරම්භ වන ගංගා රාශියක් වියළි කලාපය පෝෂණය කරන බව ඔවුන් නොදනී.
ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කට ආසන්න වේ. ලංකාව පුරා දුවන ගංගා 103කි. ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් සියයට 55කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත් වේ. සියයට 15ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු‍ කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජල ප්‍රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.
මෙරට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ජනතාවට අහිමි කර සමාගම්වලට ලබාදීම හෝ අක්‍රමවත් මූල්‍ය කළමනාකරණයට හිලව් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණව සිදුවිය යුතුය යන්න ද උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කරගත් වගන්ති 30කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 වැනි වගන්තියට අනුව සියල්ලෝම නීතිය ඉදිරියේ සමානය යන්න ද උල්ලංඝනය කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කරමින් සිටින්නේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳදැමීමට කටයුතු කිරීම ය. එම නිසා රටේ ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේත්, දැවැන්ත ණය අර්බුදයෙන් රට ගලවා ගත යුත්තේත් අනාගත පරපුරට පරිසරය සුරක්ෂිත කරමින් ය.

  • ශාලික විමලසේන

Related articles

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – 2024 අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය මැයි 15 වැනිදා

අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය: 2024 මැයි 15 වැනිදාපහත් කාණ්ඩ යටතේනවකතාකෙටිකතා සංග්‍රහකාව්‍ය සංග්‍රහ පරිවර්තන (සිංහල මුල් කෘතියක ඉංග්‍රිසි පරිවර්තන සඳහා)අත්පිටපත්...

මාධ්‍ය මෙහෙයුමේ අරමුණ

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ නිත්‍ය නොම්මර තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සහභාගී වූ දෙරණ 360' වැඩසටහන නැරඹුවා.දෙරණ...

‘මගහැරුණු දූපත්’ – ප්‍රභාත් ජයසිංහ

සිංහල කෙටිකතාවේ බෙහෙවින්ම අගය කළ යුතු දායකත්වයන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙනා අවධියක් ලෙස පසුගිය දශකයෙන් ඇරඹි කාලය සැලකිය...

අපිට කරන්න දෙයක් නෑ : මැයි දින රැස්වීම්වලට පාරවල් වහනවට විරුද්ධ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දේශපාලන පක්ෂවලින් මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ග වසාදැමීම සම්බන්ධයෙන් මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි...