නොදුටු තුරකින් පැමිණි සුවඳක් – සංජීවනී රූපසිංහ
එක් කලෙක නිව්යෝක් ටයිම්ස් සාමූහිකයට තීරු ලිපියක් ලබා දුන් සල්මන් රුෂ්ඩි අතර මඟදී එකී ලියැවිල්ල නතරකොට තිබුණේ ‘එක් මසකට සුවිශේෂි ප්‍රබල මතයක් දැක්වීම අසීරු වූවක්’ බව පවසමිනි. ඉදිරිපත් කිරීමේ ආකෘතිය, ඒකමිතිය රැකගනිමින් උපයුක්ත භාෂාව පිළිබඳ සුවිශේෂි අවධානයක් යොදමින්, පාඨක ග්‍රහණය, සමාජ වගකීම දරා ගනිමින් නිශ්චිත ඉඩ ප්‍රමාණකයකට දීර්ඝ කාලයක් ලිපියක් ලිවීම සත්‍ය වශයෙන් ම අසීරු කටයුත්තකි. සංජීවනි රූපසිංහ ඔස්ට්‍රේලියාවේ පලවන ‘කැඩපත’ සිංහල පුවතපත සඳහා 2016 ජනවාරි සිට 2020 මාර්තු දක්වා කාලය තුළ මාසිකව ‘ආදරණිය මේඝ’ නමින් තීරු ලිපියක් ලියමින් නිරතව ඇත්තේ ද එකී අසීරු කටයුත්තේ ය. “ නොදුටු තුරකින් හමන සවඳක්” නමින් ‘සයුර’ ප්‍රකාශනයක් ලෙස 2023දී ප්‍රකාශයට පත් වන්නේ එකී ලිපි පෙළ ය.
2016 ජනවාරි සිට 2020 මාර්තු දක්වා කාලය තුළ ලියැවුණු තීරු ලිපි තිහකින් එය සමුච්චිත ය. තීරු ලිපිය ලියැවෙන්නේ හසුන් අයුරිනි. හසුන්පත් හුවමාරු වන්නේ වර්ෂා සහ මේඝ අතර ය. ඒ ලියවිලි අතිශය රොමෑන්තික ය; හැඟීම්බර ය. එය කියවන පාඨකයාගේ හෘදය විප්‍රලම්භන ශෘංගාරයෙන් පිරි’තිරී යයි. එහි බොහෝ තැන්වල ඔවුන් දෙදෙනාගේ අතීත සිදුවීම් මුසුව ඇත. බොහෝ තැන් වලින් එසැවෙන්නේ අතීත කාමය ය. එහි බස අතිශය සරල ය ; සුමට ය. එකී සැහැල්ලු පෘෂ්ටීය වියමනෙ හිඳ ඔවුන් කරන කතා බහ පාඨකයාව රැගෙන යන්නේ බරපතළ සංවාදයකට ය. ඒවා අතිශය දේශපාලනික ය.
සරල මගකින් කෘතියට අවතීර්ණවන පාඨකකයා සංකීර්ණ මඟකට අවතීර්ණ කරවීමට මග සකස් කිරිම ම අපූර්වත්යකි. එහෙත් මතුපිට පවත්නා පෙම්පලහිලව්ව තුළ මන්මත්වන පාඨකයා කොතරම් දුරකට එකී සංකීර්ණ මාවතට අවතීර්ණ කරවා ගැනීමට හැකි වේදැයි යන ගැටළුවත් මෙහි දී මතු නොවෙතැයි සිතිය නො හැකි ය.
අන්තර්ගත සැම ලිපියක් තුළින් ම විශද වන්නේ මානව ගෞරවයෙන් යුතු සමාජයක් ගොඩනැංවීමට සංජීවනී තුළ වන නොතිත් අශාව ය. පුද්ගල දෘෂ්ටිවාද යහපත් ලෙස වෙනසකට ලක් කිරීමටත් ජීවිතය කෙරෙහි ලාලසාව දැල්වීමටත් ඇ ඒ තුළින් තැත් කරයි.
වාර්ගිකත්වය, ආගම, පරිසරය, සංවර්ධනය, සත්ව හිංසනය, දර්ශනය, ලිංගිකත්වය ආදි බොහෝ කාරණා පිළිබඳ සංවාද ඒ තුළින් මතු කරන අතර සමස්තය පුරා බහුත්වවාදි ලක්ෂණ පෙන්නුම් කරයි. මහින්දගේ දේශපාලනයේ සිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය දක්වා වන දේශපාලන කෛරාටිකකම් පිළිබඳ ඉසියුම් සංවාදයකට ඇය පාඨකයා රැගෙන යයි. රොමැන්තික ප්‍රවේශයක සිට ගැඹුරු චින්තාවලියකන් කරා පාඨකයා ප්‍රවේශකරවීමට තැත් කිරීමේ අභ්‍යාසයක ඇය නිමග්නව හිඳියි. යුද්ධය නිසා විනාශ වුණු ජීවිතත්, අදටත් එහි ශේෂයන් දරාගෙන පීඩාවට පත්ව හිඳිනා උතුරේ ජනයා ගැනත් ඇයගේ කියවීම හෘදයාංගම ය. 2016 දෙසැම්බර්, 2018 පෙබරවාරි, 2018 මාර්තු, 2018 ජූලි සහ 2019 අප්‍රේල් යන ලිපි ඔස්සේ ඇය උතුරේ ගැටළුව පිළිබඳ කකා කරයි. එක් තැනක ඇයගේ සාකච්ඡාව දරුවන් අතුරුදන් වූ දෙමව්පියන් ගැන ය.
දරුවන් අහිමි වීම නිසි උමතු වූ දෙමව්පියන් පිළිබඳ නිදසුන් ගෙන එන ඇය ඒ හැඟීම දකුණ සමඟ සමපාත කරයි. උතුරේ දෙමව්පියන් වෛනුවෙන් දකුණේ දෙමව්පියන් ද දකුණේ දෙමව්පියන් වෙනුවෙන් උතුරේ දෙමව්පියන් ද සහකම්පනය වුණු ඉතිහාසයක් අපට නැත. අහිමි වීමේ දී හිතෛෂියාට දැනෙන හැඟීම සමාන වුවත් එය දකුණ සහ උතුර ලෙස විභේධනයට ලක්ව පවතියි. පීඩිතයා විසින් හෙළන ඒ කඳුළු, පීඩකයා විසින් අතුරුදන් කළ හිතෛශීන් වෙනුවෙනි. පීඩිතයා තුළ වන විරෝධය එල්ල විය යුත්තේ පීඩකයා කෙරෙහි ය.
“…..සූරියකන්දත් ඇඹිලිපිටියත් හැර තව කොයිතරම් මිනී වළවල් ඇද්ද මේ රටේ. ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුවෙ විත්තිකරුවා කිව්වා මට මතකයි උතුරේ හැම හමුදා කඳවුරක් යට ම සමුහ මිනීවළක් තියෙනවා කියලා. ඔයාට මතක ද?”
‘ඔයාට මතක ද?’ යනුවෙන් ඇය අසන්නේ මේඝගෙනි. ඇය මේ පැනය අසන්නේ දේශපාලකයා ද පුරවැසියා ද බොහෝ දෑ අමතක කළ සන්දර්භයක් තුළ ය. ඒ පැනය සමස්ත පුරවැසියාගෙන් ම ඇසිය යුත්තකි; සියලු ම දේශපාලකයන්ගෙන් ඇසිය යුත්තකි. ඇත්තට ම ඒවා අපට මතක ද? ඒවා මතක තබා ගැනීම වැදගත් ද?
“ ……යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුද් 8කුත් ඉවරයි. තාමත් මිනිස්සු සරණාගත කඳවුරුවල වහලත් ටකරන්, බිත්තිත් ටකරන්, හිස කෙස් ටික අතට එන මිනිස්සු. පුංච් ටකරන් මඩුවක බල්ලො පූසෝ වගේ ජීවත් වෙනවා. අපේ ම රටේ මිනිස්සු කණ්ඩායමක් එහෙම දුක් විඳිද්දි යුධ ජයග්‍රහණ වසරින් වසර සැමරීම අනේ මන්දා යුද්ධවලට කොහෙන් ද ජයග්‍රහණ නේ ද?
මං දවසක් නුඹට කියූ චීනයේ මහා දාර්ශනික ලාඔට්සු “ තා ඒ තේ චින්” කෘතියේ තියෙනවා මෙහෙම.
“යුද්ධයක ජයග්‍රහණය ගැන ප්‍රීති වීම යනු මිනිසුන් මැරීම පිළිබඳ ප්‍රීති වීමකි. යුද්ධයක දී ජයපැන් බීම යනු අවමංගල චාරිත්‍රයක් බඳු ය.දහස් ගණනක් මිනිසුන් අවතැන්ව හිඳීද්දී ෂෙල් වැදුණු තම අතේ වූ දරුවා පවා නිසි පරිදි වළ දමා එන්නට නොහැකි ව විසිකර ආ මිනිසුන් උතුරේ සිටිය දී දකුණේ මිනිසුන් කිරිබත් උයාගෙන හන්දි ගාණෙ කෑ ජාතියක් අප”
ජාතිවාදය වැපිරූ යුද්ධයට අනුබල දුන් දේශපාලන කණ්ඩායම් පවා ඒ ගැන නැවත හිතා බලන්නට නො පෙළඹෙන තැනක ඇය මේ මතක් කිරීම් සිදු කරයි. ලංකාවේ වම දවා වාමාංශික යැයි කියනා දේශපාලන කණ්ඩායම් ද යුද්ධය ඉදිරියේ මුනිවත රැක්කේ ය. ඉන් අනතුරුව උදා වූ යුධ ජය වර නැගීමේ වකවානුවේ දී ද ඔවුන් මෞන වෘත්තය පූරණය කළා මිස පීඩිතයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගුවේ නැත. යුද්ධය අවසන්ව මේ වන විට වසර 15කි. එහෙත් පීඩිතයා තවමත් පීඩාවේ ය. යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත් දකුණේ වැන්දඹුවන්ට ලැබෙන වරප්‍රසාද උතුරේ වැන්දඹුවන්ට නැත. එමෙන් ම සැක ලෙස රිමාන්ඩ බන්ධනාගාර ගත කළ තරුණයන් තවමත් සැක පිට අත්අඩංගුවේ ය. දැන් ඔවුහු මැදිවියේ හෝ මැදිවිය ද ඉක්මවමින් සිටිති. දේශපාල කාර්යයකට සම්බන්ධ වුණු දේශපාලන සිරකරුවන් හෝ සැකකරුවන් ලෙස ඔවුන් පිළිබඳ සිතා බලන්නට රජය පෙළඹෙන්නේ නැත. “ජාතිය” යනු රජයකට ට සිය බල අරගලයේ සවිමත් අංගයකි. ඒ වෙනුවෙන් හඬ නගන්නට දකුණේ “වම”වත් අනෙකුත් දේශපාලන කණ්ඩාමව්වලටවත් අවශ්‍යතාවක් නැත. පක්ෂ දේශපාලනයේ කවුරුත් කරන්නේ බලය අත් කරගැන්මේ ක්‍රීඩාවකි. නොවැම්බරයේත් අප්‍රේල් මාසයේදීත් විරුවන් සිහිකරන ජවිපෙයටවත් මේ ගැටළුව පිළිබඳ අදහසක් නැත. ඔවුන්ට ද ඇත්තේ දකුණේ බල අරගලයකි. ඒවැනි සන්දර්භයක් තුළ කතුවරිය මතුකරන්නේ මානුෂික මෙන්ම හිතාමතා දේශපාලන කණ්ඩායම් ද සමස්ත සමාජය ද අමතක කළ සිදුවීමකි.
2018 පෙබරවාරි ලිපියෙන් වර්ෂා මේඝගෙන් පැනයක් අසයි.
“ ……දකුණේ අවි අතට පත්තවූවන්ට විරු දින ඇති වෙන්නටත් උතුරේ අවි අතට ගත්තවුන්ට විරු දිනයක් තබා පහන් එළියක් පවා නැතිවන්නටත් හේතුව කුමක් ද?”
ඇය සෘජුව තම ප්‍රශ්නය ඉදිරිපත් කරයි. යුද්ධය නිමවා වසර 15ක් යද්දිත් දකුණේ විරුවන් නො අසන පැනය ඈ අසයි. 2018 මාර්තුවේ දි ද ඇය එම මාතෘකාව ම කතා කරයි. ලිපිය මේඝගෙනි. සමස්ත ලිපිය තුළ ප්‍රධාන ප්‍රශ්නය කියැවෙන අතර ඒ හා අසම්බන්ධිත විස්තර ද ලිපියෙහි අඩංගු වෙයි. හසුන්වල හැටි එහෙම ය. හසුන් යනු රචනාවන් නොවේ. එහෙත් කොලමක් ලෙස එ එහි තානනය නොබිඳෙන ලෙස එක ම කොලමක් තුළ මාතෘකා සීරුමාරු වෙයි. අතුරුදන් වූවන් සහ යුද්ධ අතර විශ්ව විද්‍යාල අතී තයට එබෙන සංජීවනි විශ්වවිද්‍යලයේ පවත්නා දේශපාලනය පිළිබඳ කතා කරයි.
“ …..කැම්පස් එහෙමයි. පොල් ගහට තල් ගහ කිව්වොත් යූනියන් එක ඊළඟ අවුරුදු හතර ම ඒක තල්ගහ තමයි. අපි විරුද්ධ වුණේ එකී බුද්ධි ද්වේශි ස්වභාවටය” ඇය මේඝට කියයි.
ඇය සෘජුව තම අදහස් ප්‍රකාශ කරයි. ඒ තුළ වන සදය නිර්දය විවේචන පසුව තමන්ට කෙසේ බලපායි ද යන්න ගැන ඇය තැකීමක් නො දක්වයි. ඇයගේ බස තුළ වන උත්සප්‍රාසය විටින් විට මතුව එයි.
අනෙක් අතට මේ කොලම තුළ ‘ආගම’ බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් කරයි. 2017 ජනවාරි, 2018 අගෝස්තු, 2018 ඔක්තෝබර් , 2019 අප්‍රේල් , 2017 ජනවාරි ලිපි තුළ ආගම පිළිබඳ බරපතළ සිතීමකට පෙලඹවීමක් ඇති කරවයි. එහි ඇත්තේ සල්ගස ගැන ය. සල් යනු බෞද්ධ සාහිත්‍ය හා දැඩිව සම්බන්ධ වූවකි. කෘතියේ ඇත්තේ පන්නිපිටියේ තිබුණු, පාර තැනීමට කපා හළ සල්ගස ගැන ය. ලංකාව බුදු දහම පරිශිලනය කරන ලෙසට ම වැරදි ගසක් “සල්” යැයි නම් කරමින් සිදුකරන ගොඩනැංවීම ගෙන එන්නේ බරපතළ උත්ප්‍රාසයකි. ඉන්දියාවේ පවතින සැබෑ සල්ගස ගැන විස්තර සපයන ඇය ලංකාවේ සල් ගස ලෙස හඳුනාගෙන ඇති ආසියාවටවත් සම්බන්ධයක් නොමැති ගසක් ගැන කතන්දරය විග්‍රහ කරයි. අපි දන්න සල්ගස සාර්ලිස් චිත්‍ර ශිල්පය හරහා සල් ලෙසට පත් කළ බවට ප්‍රවාදයක් ඇය ගොඩ නගයි. ‘කැනොන්බෝල්’ ලෙස ඒ ගහට නම් තැබෙන්නේ එහි ගෙඩි කාලතුවක්තු උණ්ඩ ස්වරූපයක් ගත් නිසා බව ඇය පවසයි.
“…මේ සිදුවීම හාස්‍යෝත්පාදක ලෙස අපිට ගන්න බැරි කැනොන්බෝල් සල් වීම හෙවත් කලතුවක්කු උණ්ඩ මල් ලෙස ඉතිහාසය අර්ථකථනය කිරීම තුළ තමා මියන්මාරය භික්ෂු ත්‍රස්තවාදයක් හෝ ලංකාවෙ බොදුබල සේනාවක් නිර්මාණය වෙන්නෙ”
අද දවසේ ආගම යනු කාලතුවක්කු උණ්ඩයක් තරමට ම පීඩාකාරි දෙයක් බවට පත්ව ඇත. හවස්කාලයේත් හිමිදිරියේත් ඉරිදා දින උදයවරුවේත් පන්සල් විසින් සියලු ගම්වැසියන් දහමට හිතකාමි උදවිය කරවනු වස් ශබ්දවිකාශන යන්ත්‍ර මගින් දහම් ශ්‍රවනය කිරීමට ඉඩ සකසා ඇත. එය ශබ්ද දූෂණයක් මෙන් ම මිනිසුන්ගේ සන්සුන් පැවැත්මට බාධාවකි. පන්සල් ගොස් දහම් මගට ප්‍රවේශ වීමට කැමැත්තෝ පන්සල් යති. නිවෙස් තුළ ඉන්න වුන් දහම්ගමගට ගැනීමේ ත්‍රස්තවාදි ක්‍රියාවේ පන්සල් නිරත විය යුතු නැත. ඒ අර්ථයෙන් ගත් කල සිංහල බුදු දහම සහ කැනොන්බෝල් මල් ගසේ සම්බන්ධය අපූරු සංකලනයකි.
“ …….සිද්ධාර්ථයි ජීසසුයි මාක්සුයි ලෙනිනුයි මේ ඔක්කොමල්ල ඔහොම හිතුවනං ලෝකෙ මුකුත් වෙනස් වෙන්නෙ නැහැ නේ ද?
“ දැන් ලෝකෙ ඒ අය නිසා මුකුත් වෙනස් වෙලා තියෙනව ද? අ ඩු ම තරමෙ ජේතවනේ එහාපැත්තෙ හිටපු ඌරො මරපු මිනිහවත් වෙනස් වුණා ද? ප්‍රධාන දායකයා වුණු අනේපිඩු වහල් වෙළෙන්දෙක් නේ ද? ජීසස් අන්තිමට ඇහුව්වා නේ ද දෙවියනි ඔබ කොහි ද කියල. දෙවියො ම එවපු දෙවියන්ගෙ පුත්‍රයාට මෙතියස්ට ගැලවුම්කරුවානන්ට මිනිස්සු ඇන ගහල මරණකල් දෙවියො මොක ද කළේ? සෝවියට්රුසියාව වැටුනා නේ ද? මාක්ස්වාදයත් ආගමක් නේ? හොඳට හිතුවොත් හැමතිස්සෙ ම ආගමේ විසංවාදය තියෙන්නෙ ආගම ඇතුළෙමයි. මොනවද ඉතිං ඔයා කියන විදියට වෙසන් වුණේ. ප්‍රලාපවලින් ගහන සාහිත්‍යයක් නම් හම්බවෙලා තියෙනවා යුතෝපියානු දර්ශනයත් එක්ක.”
හැම විට ම ඇය ප්‍රශ්න නඟයි. ඒ ප්‍රශ්නය ම ගැඹුරු චින්තාවලියකට ප්‍රවේශ වීමට පාඨකයාට ඉඩ හසර සකසයි.
සුපුරුදු ස්ත්‍රී පීඩනය වෙනුවට ඇය පුරුෂ පීඩනය පිළිබඳ කථිකාවක් ගෙන එයි. එය අපට තරමක් නුහුරු වුව එවැනි සිදුමී ද ඇත. ඒ බැව් සඳහන් වන්නෙ 2018 මේඝ වර්ෂාට ලියන ලිපියෙනි.
“….ගෑනු වැඩ ඇරිල වැඩට යනව කියල කියද්දි මට සෑහෙන්න දුක හිතෙනව වර්ෂා. පිරිමි වුණාට මමත් එහෙමයි. වැඩ ඇරිල වැඩට යනවා. මේ දවස්වල මං වැඩ ඇරෙන්නෙ එකොළහට ඒ යද්දි සින්ක් එක පුරවල”
ආගම, දර්ශනය, ලිංගිකත්වය, පුරුෂ පීඩනය සියල්ල ඒ තුළ පෙළ ගැස්වෙයි. ඒ තුළ වැඩි ඉඩක් මතුපිට කතන්දරය වෙතට යොමු වෙයි. මේඝගේ විවාහය තුළ ඔහු පීඩිතයෙක් බවත් පත්ව ඇති බවත් වර්ෂා හා විවාහ වූවානම් එසේ නො වී ජීවිතය සතුටින් පිරෙන්නට තිබුණා යන්නටත් එහිදි ඉඟි සැපයෙයි. ඒ අතර මේඝගේ බිරිඳගේ මුහුණුපොත ගැන විවරණය වෙයි. ඇයගේ කමෙන්ට් අනුව ඇය “අයිඩියල් අම්මගෙ “ භූමිකාවට පණ දෙන බව සඳහන් වෙයි. අද දවසේ පවත්වාගෙන යන මිනිස් සබඳතා මෙන් ම ජීවිත ද කොයිතරම් බොරුවකින් වැසී ඇත්තේ ද යන්න ඇය චිත්‍රණය කරයි. ෙෆ්ස් බුක් යනු ඇත්තට ම ෆේක් බුක් එකක් නො වන්නේ ද? මුහුණු පොතේ සිටින මිතුරා සැබෑ ලොවවේ දි හඳුනා ගන්න බැරි තරමට රූපයෙන් ම ෆේක් ය. ඇත්ත වෙනුවට ඒ තුළ සිතුවම් වන්නේ මැවීම් ය. එහෙත් අඩියල් අම්මලා තව දුරටත් සිටිය යුතු ද යන්න නැවත සිතා බැලිය යුතු ය. සැබවින් ම සිටිය යුතු නැත. එය පුරුෂෝත්තම සමාජය විසින් දෙනු ලබන රැවටිලිකාර මායාවකි. අත්‍යන්තයෙන් ම පීඩනයට මං පෙත් විවර කිරීමකි. කළ යුත්තේ අම්මා ද පවුලේ අනෙක් සාමාජිකයන් මෙන් ම සම් මස් නහරවලින් සුසැදි සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රාණියෙකු බව අවබෝධ කොට දීම පමණි. කුටුම්බය තුළ ස්ත්‍රිය ( අම්මා ) පෙළන ඛේදවාචකය පළමුකොට ඇරඹෙන්නේ ද මේ විශේෂණ පද තුළිනි.
අවසාන භාගයේ වර්ෂා හා මේඝ අතර හුවමාරු වන ලිපි තුළින් සිදු වන්නේ මතුපිට කතන්තදරය ගොඩ නැගීම ය. කෘතියේ බොහෝ තැනක කියැවෙන්නේ තමන් හා මේඝ අතර විවාහයක් සිදු නොවීම ආදරය චිරාත් කාලයක් පැවතීමට හේතුව වූ බව ය. එය ඇය පුලපුලා කියයි. මේඝ විවාහ වන විට වර්ෂාගේ තැවීමත් වර්ෂා විවාහ වන විට මේඝගේ තැවීමත් එහි පෙන්වයි. මේඝ විවාහය අවසන් කරන්න යන විට වර්ෂා බරපතළ ලෙස ඒ ගැන තැවෙයි. එය තමාගේ වරදක් ලෙසට චෝදනා ද කරගනියි. මේඝ හා ප්‍රේමයෙන් නොවෙළුණේ ඇයිදැයි කියමින් චෝදනාවක් එල්ලව නොතිබියදීත් නිර්දෝෂ වීමට කරුණු ඉදිරිපත් කරයි. එහිදී ඇය අඟවන්නේ මේඝ තමා හා විවාහ වූවා නම් විවාහය දෙදරීමේ අවස්ථාවට මුහුණ නො දෙන බවයි. එය එහිදි ආදරය හා විවාහය පිළිබඳ ඇය දිගින් දිගට ම දැරූ මතය හා පරස්පර වෙයි.
විවාහය හා ආදරය සම්බන්ධව සංජීවනි ගෙන එන තර්කය ඈ විසින් ම නිෂේධනය කරයි. සැබවන් ම ආදරය හා වීවාහය යනු එකක් නො ව දෙකක් බව අප පළමුව අබබෝධ කොට ගත යුතු ය. ඒ දෙක එකක් යැයි සිතන තාක් ඒ තුළ සැනසීමක් අත්වන්නේ ද නැත. විවාහය යනු ආදරය කරන අවදිය වෙනත් තත්වයක් වෙත පරිවර්තනය වීමකි. එකි පරිවර්තනයේ දී පෙර තිබූ තත්වය අප සොයන්නේ නම් එය මුළාවකි. එය හරියට මහගම සේකරයන් ලියා ඇති
ඈතින් අර පෙනෙන කන්ද
කොතරම් ලස්සනද ඇසට
කන්දේ පාමුලටම ගොස්
එහි විසිතුරු බලමි හොදට
මේ කන්දෙ ඈතට දුටු
ලස්සන දැන් කොයින්දෝ
පෙරදි මා උන් තැන මෙනි
කිසි වෙනසක් නැත්තෙ
අහසේ අර දුරින් පෙනෙන
නිල්වන් කදු පෙළ නම්
පියකරු සිහිනයක් ලෙසට
සිතට සතුට ගෙන දෙයි…
කවිය වැන්නකි. එය මනුස්ස චිත්ත ස්වභාවයක් මිස අන්යමක් නො වේ. එක් අතකින් එය ආර්ථික විද්‍යාඥ ජෝන් ස්ටුවර්ඩ් මිල්ස් ගෙන එන හීන වන ආන්තික උපයෝගිතාවම ය. විවාහය පීඩක උපකරණයකි. නමුත් එය වරණයකි. එය අනවශ්‍ය නම් ඒ වෙත ප්‍රවේශ නො වී සිටීමේ අවස්ථාව ඇත. එනයනින් එය තවදුරටත් දාර්ශනික අර්ථකථන දියයුතු දෙයක් ද නොවේ.
අවසානයේ දී වර්ෂා, මේඝ මුණ ගැසීමට ඔස්ට්‍රේලියාවට යයි. ආරම්භයේ සිට ම පෘෂටීය වියමනේ දී පාඨකයා පෙළන ලද පැනය සුභවාදිව කෙළවර වෙයි. පාඨක හෘදය තුටින් මත්වෙයි. මේඝගේ විවාහ බාධාව බිඳී ඇත!
කෙසේ නමුත් කෘතියේ අභ්‍යන්තර තලයේ දී ඇය ගෙන එන ගැඹුර මේ පෘෂ්ටීය වියමනේ දි තනුක වේදැයි හිතෙන තරමට එය රොමෑන්තිකය . ඒ මතුපිට පමණක් කියවා එහි රසය සිත් සේ විඳ අභ්‍යන්තරයට කිඳා නොබැස්සේ නම් එතැන සිදුව ඇත්තේ අපරාධයකි. ඒ පිළිබඳ සංජීවනීගේ අවධනය යොමුවිය යුතු ය. එය එසේ නොවන්නට ‘නොදුටු තුරකින් හමන සුවඳක්’ යනු ගැඹුරු කියැවීමක් සහිත මිනිස් චින්තාවලිය සාධනිය පරිවර්තනයක් කරා ගෙන යන, තමන්ට තමන්ව ම සම්මුඛ කරවන ලියැවිල්ලකි.
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ
(අනිද්දා පුවත්පත – 2024-03-31 ඉරිදා )