ඓතිහාසික ජයග්‍රහණයකට පසුව

Share post:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ලැබූ තරගාවලි ජයග්‍රහණය සමාන්‍ය ජයක් නොවෙයි.
එය උත්කර්ෂයට නැංවිය යුතු, කතාබහ කළ යුතු ජයග්‍රහණයක්.
මෑතක් වනතුරුම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ බොහෝ පහළ තැනක.
සෑම විටකම එය එක් ක්‍රීඩිකාවකට සීමා වුණා.
විටෙක මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශෂිකලා සිරිවර්ධනට සීමා වුණා.
ඉන්පසුව චමරි අතපත්තුගේ යුගය පැමිණියා.
සෑම විටකම හුදෙක් තනි ක්‍රීඩිකාවක් විසින් මෙරට කාන්තා කණ්ඩායමේ බර දරා සිටියා.
ඇතැම් විටෙක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග ජය ගත්තා.
නමුත් බොහෝ අවස්ථාවන්හි තරග පැරදුණා.
එයට හේතුව වූයේ තරග ජය ගත හැකි, ලෝක මට්ටමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට නොසිටීම.
එක් ක්‍රීඩිකාවකට පමණක් හුදෙකලාව තරග ජය ගැනීම බොහෝ අපහසුයි.
නමුත් චමරි හුදෙකලාව දින වූ තරග ගණනත් සුලුපටු නැහැ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බවට පත් වීමට ඇයගේ හුදෙකලා වීරත්වය පමණක් ප්‍රමාණවත් වූයේ නැහැ.
එනමුත් මෑතක සිට එය වෙනස් වෙමින් තිබෙන බව පේනවා.
පසුගිය දවසක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තයේදීම එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් T20 තරගාවලියක් ජය ගත්තා.
එංගලන්තය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල රටක්.
එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලියකදී නවසීලන්තය පරාජය කළා.
මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකා සංචාරයේ T20 තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම, එරටදීම පරාජය කිරීම මේ ජයග්‍රහණ මාලාවේම තවත් එකක්.
මේ ජයග්‍රහණය වෙනදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා ගන්නා චමරි අතපත්තුගේ හුදෙකලා දක්ෂතා නිසා ලැබූ ජයක් නොවෙයි.
තරගාවලියේ පළමු T20 තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.
දෙවැනි T20 තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.
එහිදී 23 හැවිරිදි කවීෂා දිල්හාරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ඉනිම රැස් කළා.
තෙවන තරගයේ චමරී ජයග්‍රහණයට පදනම සකස් කළා.
එනමුත් ඉනිමේ කොඳු නාරටිය වෙමින් ජයග්‍රහණය සහතික කළේ හර්ෂිතා මාධවී.
මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ චමරිට සීමා නොවී තරග ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩිකාවන් පිරිසක් ද සිටිනා බව පැහැදිලියි.
එය අප මින්පෙර නොදුටු, මෑතක සිට ඇතිව තිබෙනා ධනාත්මක දෙයක්.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ බොහෝ කීර්තිමත් ජයග්‍රහණයන් ලැබූ රටක්.
හොඳ ක්‍රිකට් සංස්කෘතියක් සහ ක්‍රිකට් සමග ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දුර්වල වීමට ප්‍රධාන හේතුව වූයේ එයට ලැබුණු අඩු අවදානය.
ඉතිහාසය පුරාවටම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන ගියේ සහ නඩත්තු කළේ පුද්ගලික ආයතන කිහිපයක් විසින්.
මෙරට ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා විශාල අනුග්‍රහයක් හිමි වූයේ නැහැ.
නමුත් වර්තමානය වෙද්දී එය වෙනස් වෙමින් පවතින බව පෙනෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල් වී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික අදියර වන යොවුන් කණ්ඩායම ගොඩනැගීමට උත්සාහ දරන බව පෙනෙනවා.
ලොව හොඳම කාන්තා කණ්ඩායම් වන ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ දහනමයෙන් පහළ කණ්ඩායම් පසුගිය දා ශ්‍රී ලංකාවට ආවා.
ඔවුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමග තුන්කෝන් තරගාවලියකටත් සහභාගී වුණා.
එය මෙරට ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ තරගාවලියක්.
තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කාන්තා කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන් දුෂ්කර, පිටිසර ගම් පළාත් වලින් පැමිණි ක්‍රීඩිකාවන්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ජාතික සංචිතය ගොඩනැගීමට අවංක කැපවීමක් කරන බව ඉන් පැහැදිලියි.
එවැනි පිටිසර පළාත් වලින් පැමිණි ක්‍රීඩිකාවන් ජාතික සංචිතයක් නියෝජනය කරනවා යනු මෙරට ක්‍රිකට් ආයතනය, ඔවුන්ට පහසු සුපුරුදු ස්ථාන වලට සීමා නොවී පුලුල් ක්‍රමවේදයකින් ක්‍රීඩිකාවන් තේරීම් සිදු කර ඇති ය යන්නයි.
තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා.
ඔවුන් ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කණ්ඩායම් දෙකම පරාජය කළා.
දුර්වලතා, අඩුපාඩු තිබුණත් එයටත් වඩා ධනාත්මක දෑ කැපී පෙනුණා.
අනාගතයේ දිනෙක මේ යොවුන් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දෑ කළ හැකි බව පෙනුණා.
ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන් සහ අනුග්‍රහයන් පමණයි.
එම නිසා මේ වැඩපිළිවෙල සාර්ථකව පවත්වා ගැනීමට හැකි වුවහොත් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් බොහෝ ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවි.
කාගේ හෝ යහපත් අදහසක් අනුව ක්‍රියාත්මක වන මේ වැඩසටහන දිගටම පවත්වා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.

ඉරේෂාන් සිරිවර්ධන

        2024. 04. 04

Related articles

ස්ටෙයින්බෙක්ගේ විශිෂ්ට නිර්මාණයන් අතර The Grapes of Wrath

John Steinbeck කියන්නෙ ඇමෙරිකානු සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍ය පෞරුෂයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1962 වසරෙදි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ ස්ටෙයින්බෙක්...

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන...

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...