සද්ද අඩුවෙන් වැඩ වැඩියෙන්

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානවත් සන්නාමයේ ගෞරවය තවත් ඉහළට ඔසවා දමමින් බංග්ලාදේශය තවමත් ටෙස්ට් පිටියේ කෝඩුකාරයින් බවට ඔප්පු කරමින් තරග 2-0ක් ලෙස සුවිශේෂී ජයක් ලබා ගැනීමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා.

ටෙස්ට් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිලේ බර කරට ගෙන ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ සහ තරගාවලියේම වීරයා බවට සම්මාන දිනා ගත්තේ අනාගතය පිළිබඳ පැහැබර බලාපොරොත්තු නංවාලමින්. ශතක 2ක් අර්ධ ශතකයක් සහ කඩුලු 3ක්ද ලබා ගත් කමිඳු පැවසුවේ පසුගිය මාස කිහිපය පුරාවටම තමන් ඉතා මහන්සියෙන් සහ කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වූ බවයි. ඒ වගේම පන්දු යැවීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ බව ඔහු සඳහන් කළා. අවසානයේ කමිඳු රට වෙනුවෙන් ඒ සියලු කැපකිරීම්වල ඵල නෙලා ගත්තේ තමන් විශිෂ්ටයෙකු බව ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ ඔප්පු කරමින් වීම විශේෂත්වයක්.

තරගාවලිය ජයග්‍රහණයෙන් පසු හැමෝගෙම අවධානය තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය කෙසේ සමරාවිද යන්නයි. ඒ 20යි 20 සහ එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් ලෝක කුසලානයේ ටයිම් අවුට් සිදුවීම මතක් කරමින් ජය සැමරීම හේතුවෙන්. නමුත් ටෙස්ට් තරගාවලියේ කුසලානය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව එය අතිශය සාමාන්‍ය ලෙස සමරනු ලැබුවා. මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙරත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගෙන් බංග්ලාදේශ මාධ්‍ය විමසා සිටියේ තරගාවලිය ජයගතහොත් එය වෙනස් ආකාරයකට සමරනවාද යන්න පිළිබඳවයි. නමුත් ඊට පිළිතුරු දුන් ධනංජය පැවසුවේ දැන්ම එ් ගැන සඳහන් කිරීමට නොහැකි බවයි. එමගින් පෙනී යන්නේ බංග්ලාදේශ මාධ්‍ය අප කණ්ඩායමේ මේ සැමරුම පිළිබඳව ද දැඩි අවධානයකින් පසු වූ බවයි. ඇත්තටම බංග්ලාදේශය වැනි ලිලිපුට්ටන් ඉදිරියේ ලබන ජයග්‍රහණයන් විශාල සැමරුම්වලට නොගොස් අතිශය සාමාන්‍ය ආකාරයට එය අවසන් කිරීම ඉතා නුවණට හුරු දෙයක්. නැත්නම් අවසානයේ සිදුවන්නේ ඉහළ මට්ටමක සිටින අපත් ඔවුන්ගේ මට්ටමට වැටීමයි.
මෙම ටෙස්ට් තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ක්‍රීඩා විලාශය ඉතාමත් සතුටුදායකයි. ඔවුන් ටෙස්ට් තරග දෙකේදී කඩුලු 33ක් දවා ගැනීමට සමත් වෙනවා. මෙය තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ලබාගත් වැඩිම කඩුලු ගණනද වීම විශේෂත්වයක්. මීට පෙර 2014 වසරේදී එංගලන්තයට එරෙහිව කඩුලු 29ක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වෙනවා. මෙම තරග දෙකෙන් පළමු තරගයේදී දඟ පන්දු යවන්නන්ට කිසිඳු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාව නොලැබෙන අතර දෙවන තරගයේදී ඔවුන් දවා ගත්තේ කඩුලු 7ක් පමණයි.

මෙම තරගයේ තෙවන දිනය වනවිට පන්දුයවන්නන්ට වඩාත් යෝග්‍යව තිබූ තණතීරුව ඊයේ වනවිට යම්තාක් වෙනසක් දක්නට ලැබුණා. එහි වාසිය ලබාගත් බංග්ලාදේශ පිතිකරුවන්ට මෙම ටෙස්ට් තරගාවලියේ පළමුවරට ලකුණු 300 සීමාව පසු කිරීමට අවස්ථාව ලැබුණා. බංග්ලාදේශයේ ඊයේ දිනයේ පන්දුවට පහරදීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් බොහෝ දේ ඉගෙන ගත යුතු බවයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් අංගසම්පූර්ණ කණ්ඩායමක් නොවන බව ද ඔහු සඳහන් කළා. ඒ වගේම ලහිරු කුමාරගේ දක්ෂතා ගැන කතා කළ සිල්වර්වුඩ් පැවසුවේ ඔහුගේ කැපකිරීම අගය කරන බවයි. ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය මේ මොහොතේ සිටින ඉහළ තත්ත්වය ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැඩි වාසිසහගත බව ඔහු අවධාරණය කළා. එපමණක් නොව බංග්ලාදේශ කණ්ඩායම පවා මේ වනවිට දියුණු වී සිටින බව ක්‍රිස් සිල්වර්වුඩ් වැඩිදුරටත් සඳහන් කළා.

පළමු ටෙස්ට් තරගයේ දරුණු පරාජයෙන් පසු දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන හිටපු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දෙවන ටෙස්ට් තරගය සඳහා කැඳවනු ලැබුවා. නමුත් ඉන් බලාපොරොත්තු වූ තරම් වෙනසක් බංග්ලාදේශය වෙනුවෙන් ඉටු කිරීමට ශකීබ්ට නොහැකි වුණා. පිතිකරණයේදී ශකීබ්ට පළමු ඉනිමේදී ලකුණු 15ක් සහ දෙවන ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 36ක් පමණයි. ඔහු මෙම තරගය පුරාවටම දවාගත් කඩුලු ගණන 4ක්.

මෙම ටෙස්ට් තරගාවලියේ සිටි ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වූයේ ඇන්ජලෝ මැතිව්ස්. නමුත් මැතිව්ස්ගෙන් බලාපොරොත්තු වූ තරම් සේවයක් ශ්‍රී ලංකා පිලට ඉටුවූයේ නම් නැත. ඔහු ක්‍රීඩා කළ ඉනිම් හතරෙන්ම වාර්තා වූයේ එක් අර්ධ ශතකයක් පමණයි. තරග දෙකේදීම මැතිව්ස් පන්දු යැවීමේ නිරත වූයේ ද නැත.

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන්. ඒ අනුව මෙම තරගාවලියට පෙර ලෝක ටෙස්ට් ශූරතාවලියේ 8වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව බංග්ලාදේශ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමග හතරවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි.

සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථාන තරගාවලි සියල්ල ජයගෙන පසුගිය මාසයේ බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 තරගාවලිය 2-1ක් ලෙසත්, ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තා. එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය හිමි කර ගත්තේ බංග්ලාදේශයයි. සාර්ථකව නිමා වූ බංග්ලාදේශ තරගාවලිය තුළ අප ලැබූ ගුණාත්මක දේවල් ඉදිරියටත් පවත්වාගෙන යාම ඉදිරි තරග සඳහා බෙහෙවින් වාසි සහගත වන බවනම් නොඅනුමානයි.

චතුරංග රාජපක්ෂ(fb)

Related articles

ස්ටෙයින්බෙක්ගේ විශිෂ්ට නිර්මාණයන් අතර The Grapes of Wrath

John Steinbeck කියන්නෙ ඇමෙරිකානු සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍ය පෞරුෂයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1962 වසරෙදි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ ස්ටෙයින්බෙක්...

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන...

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...