සුදත්ගේ MY RED COMRADE රටේ සිනමා කර්මාන්තයේ ඛේදවාචකයත් අපට සිහිපත් කරනවා

Share post:

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දාහතක විවරයකට පස්සේ. ඒ කාල පරාසයේ සුදත් කළේ සිනමාව හදාරන ශිෂ්‍ය පරම්පරාවකට පාර කියා දුන්න එක. MY RED COMRADE චිත්‍රපටිය මේ දූපතේ ප්‍රෙක්ෂකයින්ට අළුත් අත්දැකීමක් වෙයි. තිර පිටපතක් ලියාගෙන, නිශ්පාදකවරයෙකු සොයා ගන්නට ක්‍රමයක් නැතිව ලතවෙන පරම්පරාවට පාඩමක් වෙයි.
චිත්‍රපටියේ නිශ්පාදන වියදම් අවමයි. රූපගත කිරීම් දවස් හතරෙන් ඉවරයි. චිත්‍රපටියෙන් සියයට අනූ පහක්ම රූගත කරන්නේ පොඩි ලෑලි කාමරක් අස්සේ. සරලව ලියනවානං ‘ස්ටුඩියෝ එකක ගහපු සෙට් එකක.’ සමස්ථ සිනමාපටියේම ප්‍රධාන චරිත දෙකයි. පොලීසියෙන් පන්නාගෙන එනකොට හැංගෙන්ඩ තැනක් හොයන තරුණියයි, ඇයට ආරක්ෂාව සලසන්නට ඉදිරිපත්වෙන ලෑලි කාමරේට ජීවිතේ කොටු කරගත් වියපත් පුවත්පත් කලාවේදියයි.

සුදත් මහදිවුල්වැව

විස්සයි විස්සේ විතර කාමරයක් ඇතුලේ රුවන් කොස්තා කැමරාව හසුරවන ආකාරය අගනේයි. මේ කුඩා ඉඩකඩ ඇතුලේ වුව, ඇතැම් විට අංශක තුන්සිය හැටක් කැමරාව කරකවා රූපගත කිරීම් කළ දර්ශනත් තියෙනවා. ඒ රූපරාමු වල පොඩි ඉන්ද්රජාලික ගතියක් දැනෙනවා. මිලි මීටර අසූපහ, එකසිය දහය වාගේ Portrait lens භාවිතයෙන් හසුකරගත් රූපරාමු සංස්කරණය කර ඇති ආකාරයත් අගෙයි.

MY RED COMRADE චිත්‍රපටියේ ශබ්ද මුසුකිරීම Sound Design සිනමා පටිය ඉතා ඉතා ඉහල අගයකට ඔසවා තබනවා. සංස්කරණය වූ රූපරාමු අතර කාලය සහ අවකාශය මැනෙවින් තේරුම් ගෙන කළ නිර්මාණ කාර්යයක් එය. අපට දෘශ්‍යමාන රූපවලට එපිටින් ඇහෙන්නට සලස්වන විශාල පරාසයක විහිදුනු ශබ්ද ප්‍රේක්ශකයා සිනමා පටියේ රූපරාමුවලට ආසක්ත කරනවා.

අවස්ථා දෙක තුනකදීම මට හිතුනා MY RED COMRADE තව ටිකක් සංස්කරණය වුනානම් හොඳයි කියලා. MY RED COMRADE හි සංගීත රචනය කිසියම් තේමාවක් පදනම්ව සිදුවුනා නම් එය චිත්‍රපටියේ සමස්ථ අගය ඉහල දමන්නට හේතු වෙන්නට තිබුනා. ඒවා සුදත්ට අයිති වැඩ.
මේ සිනමා නිර්මාණය මේ රටේ සිනමා කර්මාන්තයේ ඛේදවාචකයත් අපට සිහිපත් කරනවා. සුදත්ගේ ‘සුදු කළු සහ අළු’ අත දිග ඇරලා කරපු නිර්මාණයක්. හද්දා පිටිසරට වෙන්න දැක්කම ආසා හිතෙන දර්ශන තල. ඇති තරම් නළු නිළියෝ. මිනිස්සු, බස්, ට්‍රැක්ටර්, ලයිට්, ට්‍රැක්, ඩොලි වැහි වැහැපු චිත්‍රපටියක් ඒක. ඒ වුනාට MY RED COMRADE රූපගත වෙන්නේ විස්සයි විස්සේ ලෑලි කාමරේක. ඒ තමයි මේ දූපතේ සිනමා කර්මාන්තය වැටී ඇති තැන. තමන් ලියූ තිර පිටපත රූපරාමු වලට පෙරලා ගන්නට, පොඩි හරි බජට් එකක් හොයාගන්නට බැරිව ලතවෙන අළුත් පරම්පරාවට MY RED COMRADE හොඳ පාඩමක්.

විශ්ණු වාසු

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...