මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් රචිත ‘කැතයි ලැජ්ජයි නින්දිතයි : EPF’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරිනියක වන සිතාරා කුලරත්න සිදු කළ අදහස් දැක්වීම මේ ලිපියේ අන්තර්ගත වේ.
මාර්තු මැදදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් කියා සිටියේ ආර්ථිකය යළි නැංවීමේ මාවත කිණිසි තුඩක් මතින් ඇති බවයි. එම පාරෙන් ඉවත්වුවහොත් රට නැවතත් අර්බුදයක් කරා ගමන් කරන ඔහු පවසයි. නමුත් මෙහිදී අප නැගිය යුතු ප්‍රශ්නය වන්නේ කිණිසි තුඩ මතින් යාමට සිදුව ඇත්තේ කවුරුන් හටද යන්නයි.
IMF විසදුමක් ලෙස පෙන්වීම
රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවූ මොහොතේ එය ප්‍රකාශයට පත්වූවේ ණය අර්බුදයක් ලෙසයි. අපේ රටේ ඩොලර් සංචිත ණය ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නොතිබුණි. එහිදී රටේ සිටි බොහොමයක් ආර්ථික විද්‍යාඥයන් දිගින් දිගටම ජනතාවට තහවුරු කරනු ලැබු මතය වූවේ IMF අර්බුදයට ඇති එකම විසදුම බවයි. ඒ අනුව ජනතා මතයක් නොතිබුණු ආණ්ඩුව IMF වෙත යන ලදී. දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතා ජනතාවට හෙළි නොකෙරුණි. ඉන්පසු ණය අර්බුදය සම්බන්ධයෙන් IMF යෝජනා බව පැවසුනේ මෙරට රජය දේශීය සහ විදේශීය ණය ප්‍රතිවියුහගතකරණයකට යා යුතු බවයි. රාජ්‍ය විදයම් අඩුකිරීම, බදු වැඩිකිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමටද යෝජනා ඉදිරිපත් විය.
ඇත්තටම වුණේ මොකක්ද?
නමුත් රාජ්‍ය වියදම් අඩුකිරීම නමින් සිදුවූවේ අධ්‍යාපනයට, සෞඛ්‍යට වෙන් කරන මුදල් අඩු වීම පමණි. 2024 අයවැය ගෙන බැලීමේදී මෙය පැහැදිලි වේ. වෙනදා මෙන්ම ආරක්ෂක වියදම් සඳහා වැඩිම මුදල වෙන්කර තිබුණි. එය රුපියල් බිලියන 423කි. ඊට අමතරව විදුලි බිලට ජනතාවට ලබාදෙමින් තිබූ සහනය කප්පාදු කෙරිණි. ආණ්ඩුව අවසානයේ පැවසුවේ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍යව තිබූ බිලියන 9.3 ක මුදලද ලබාදිය නොහැකි බවයි. ඒ අනුව ඇත්තටම රාජ්‍ය වියදම් කපා දැමීම නමින් සිදුවූවේ ජනතාවගේ සමාජ ආරක්ෂණ සේවා මෙන්ම ප්‍රජාත්නත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදුවයි.
එසේම අනික් යෝජනාව වූ බදු වැඩිකිරීම හරහා සිදුවූවේ ද සාමාන්‍ය ජනතාව මත පමණක් බදු ගැසීමයි. මේ වසරේ ජනවාරි මාසයේ සිදුවූ 18% දක්වා වැට් බදු වැඩිවීම භාණ්ඩ කිහිපයකට පමණක් සීමාවන බව පැවසුනත් සිදුවූවේ සියලු භාණ්ඩ මිල ඉහළ යාමට එය බලපෑමයි. පසුගියදා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවසුවේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.මීට අමතරව මන්දපෝෂණය, ආහාර අනාරක්ෂිතතාවය, දරුවන් අධ්‍යාපනයෙන් පිටවීම සම්බන්ධ සංඛ්‍යා ලේඛණ නිරන්තරයෙන් නිකුත් වෙමින් පවතියි.
භාණ්ඩ හා සේවා මත බදු ගැසීමට අමතරව බදු වැඩිකරගැනීමට ඇති අනෙක් ක්‍රමවේදය වන්නේ ආදායම් බදු අයකිරීමයි. නමුත් එහිදීද ආණ්ඩුව ලාභ මත බදු ගැසීම වෙනුවට වැටුප මත බදු අය කිරීම සිදුකරන ලදී. මේ හරහා සිදුවූවේ වෘත්තිකයන් රට හැරයාම හරහා සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සේවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයද කඩා වැටීමයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම යන යෝජනාව අමතරමගදී ආණ්ඩුව ‘රිවස්’ කරන ලදී. පාඩු ලබන රාජ්‍ය ආයතන කිසිවෙකු මිලදී නොගන්නා බවත් එම නිසා ලාභ ලබන ඒවා විකිණීමට සිදුවන බවත් පැවසුනි. ඒ අනුව විදුලි බල මණ්ඩලය, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, තෙල් සංස්ථාව විකිණීම සඳහා ආණ්ඩුව සූදානමින් සිටියි. ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම යනු රාජ්‍ය ආදායම තවත් පහළ යාමයි. ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම වෙනුවෙන් තවත් බදු ගෙවීමට ජනතාවට සිදුවෙනු ඇත.
විදේශ විනිමය අර්බුදය විසදන්නේ කොහොමද?
මෙහිදී අප බොහෝදෙනෙකුට අමතක වූ කරුණක් වන්නේ දේශීය රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම වෙනුවෙන් IMF එක යෝජනා ඉදිරිපත් කළත් ව්දේශ විනිමය අර්බුදයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොතිබීමයි. රටේ ණය අර්බුදය ඇතුළු ආර්ථික අර්බුදය නිර්මාණය වූවේද විදෙස් සංචිත හිඟ වීම හේතුවෙනි. තවමත් අපට ප්‍රධාන ලෙස විදේශ විනිමය සොයා දෙන්නේ විදෙස් ශ්‍රමිකයන් විසිනි. අනෙක් ක්‍රමය සංචාරක කර්මාන්තයයි. මේ සියල්ල මැද තවමත් IMF එක කියූ විදේශීය ණය ප්‍රතිවියුහගතකරණය සිදුවිද නැත. IMF වැඩසටහන අපේ රට තුළ ක්‍රියාත්මක වීමට පටන් ගෙන දැන් වසරකටත් ආසන්න කාලයක් ගතව තිබේ.
EPF අරමුදල් මංකොල්ල කෑම
නමුත් ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිවියුහගතකරණයට තිබුනේ පුදුම තදියමකි. ඒ හරහා ආණ්ඩුව සිදුකරනු ලැබුවේ වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලට අත තැබීමයි. විශේෂයෙන් EPF අරමුදලට ලැබෙන පොළිය සියයට 09 දක්වා අඩුකර තිබේ. මෙය තවත් පහළ යා හැක. එසේම මෙය වසර 15ක් දක්වා ක්‍රියාත්මක වේ. ආණ්ඩුව දේශීය ණය ප්‍රතිවියුහගතකරණයෙදී කිසිදු ආකාරයට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ආයෝජනය කර ඇති බැඳුම්කර දෙස ඇහැක් ඇර හෝ බැලුවේ නැත. මෙය සරලව කිවහොත් අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර සඳහා 28%ක පමණ පොළියක් ගෙවද්දී කම්කරුවෙකුට ගෙවන්නේ 9%ක පොළියකි. මෙය තවත් ලස්සන වන්නේ අර්ජුන් ඇලෝසියස්ලා මහ බැංකු වංචාවට , ඔහුගේ මෙන්ඩිස් සමාගම බදු ගෙවීම පැහැර හැරීම මතක් කරගත් විටදීය.
IMF යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නැවත හැරී බැලීමේදී සිදුව ඇත්තේ රාජ්‍ය වියදම් අඩු කිරීමේදී මෙන්ම ආදායම් උත්පදනයේදී ද ජනතාව මත බර පැටවීමයි. එසේම ණය ප්‍රතිවියිහගත්කරනය නමින් ජනතාව මත බර පැටවීම හැර සිදුවූ කෙන්ගෙඩියක් ද නැත.
IMF එකම විකල්පයද?
ආර්ථික අර්බුදය හමුවේ අපට තිබූ එකම විකල්පය IMF වෙත යාමද යන්නයි. ආර්ථික අර්බුදය උත්සන්න වූ මොහොතේම ලෝකයේ ආර්ථික විශේෂඥයන් 182 විසින් නිකුත් කළ ප්‍රකාශයකින් යෝජනා කරනු ලැබුවේ ලංකාව විසින් ණය කපා දැමීමක් ඉල්ලා සිටිය යුතු බවයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දැක්වූවේ ලංකාවේ විදෙස් ණය පංගුවෙන් විශාල කොටසක් වූ ස්වෛරී බැඳුම්කර වැනි ‘විලෝපික ණය’ (Odious debt) සඳහා ඒ වනවිටත් වැඩි පොළියක් ගෙවා තිබීමයි. ඒ අනුව එම ණය හිමියන් ඒ වනවිටත් ප්‍රතිලාභ භුක්ති විඳ ඇති බව ඔවුන්ගේ අදහස විය. ඊට අමතරව අනෙකුත් ණය සම්බන්ධයෙන් අතරමැදියෙකු ලෙස IMF එකේ සහය නොපතා රටක් ලෙස ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමේ වැදගත්කම ඔවුන් පෙන්වා දී තිබුණි. ඊට අමතරව Global Financial Integrity වැනි ආර්ථික පරීක්ෂණ ආයතන අනාවරණය කරනු ලැබුවේ වැරදි ගණන් තැබීම් හරහා රටින් පිටකරන ලද ධනය ඩොලර් බිලියන 40ක් පමණ වන බවයි. එය ඩොලර් බිලියන 53ක් වන බව විජේදාස රාජපක්ෂද පාර්ලිමේන්තුවේදී පිළිගන්නා ලදී. මේ සියල්ල ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ, වාමාංශික කණ්ඩායම් නැවත නැවත රජයට පෙන්වා දෙනු ලැබුණි. ඊට අමතරව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්තා හෙලිකල රුපියල් බිලියන 940ක පමණ ආදායම් බදු නොගෙවීම ගැනද ආණ්ඩුවේ අවධානය යොමුකරවන ලදී. නමුත් මේ කිසිවකට ආණ්ඩුව ඇහුම්කන් දෙනු ලැබුවේ නැත. වෙන එකක් තබා තම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වංචා දූෂණ මැඩලීම ගැන වගවන බවට පොරොන්දු වූ IMF එක හෝ මේ වංචාවන් සම්බන්ධව ඇහැක් ඇර බැලුවේ නැත.
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
දැන් සිදුව ඇත්තේ IMF එක ගෙන්වා ගැනීම හරහා නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්ත්වයකි. ණය ප්‍රශ්නය විසදීම හෝ අර්බුදයෙන් ගොඩ ඒමක් සිදුවී නැත. බහුතර ජනතාව මත දැරිය නොහැකි ආර්ථික බර පමණක් ඉතිරි වී ඇත. ඊට අමතරව එම බර පැටවීම සඳහා ජනතාව නිහඬ කරවීම වෙනුවෙන් විවිධ අනපනත් ගෙන එමින් තිබේ. මැතිවරණ කල් දමමින් සිටියි. ප්‍රශ්නය ඇත්තේ අප මේ ‘බෙරේ’ තවදුරටත් ගසනවාද යන්නයි. දැන් IMF එකම පැමිණ අපිට පිහි තුඩු මතින් යාම ගැන උපදෙස් දෙමින් සිටියි. ඇත්තටම IMF එකේ කාර්යභාරය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව පමණක් මේ පිහිතුඩ මතින් යැවීම වෙනුවෙන් ආණ්ඩුවට සහය වීමයි. බහුතර ජනතාවක් මරණය කරා රැගෙන යන මෙම සෙල්ලමට එරෙහි විය යුත්තේ එබැවිනි. තවමත් අප මරණය කරා දක්කාගෙන යාමට එරෙහිව අප ‘Exit IMF’ යෝජනාවක් වෙනුවෙන් පෙරට ආ යුතුය.
- සිතාරා කුලරත්න