බංග්ලාදේශයට රිදෙන සැමරුම

Share post:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන හෙට දිනයේ ශ්‍රී ලංකාවට තරගයේ ජය සහ තරගාවලියේ ජය පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකියි.
ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකාවට අවශ්‍ය තවත් කඩුලු තුනක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවෙනි ඉනිමේ වැඩි ගෞරව අත් කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම විනාශ කළ ඔවුන්, සිය දෙවෙනි ඉනිම ඉතාම ධනාත්මකව ක්‍රීඩා කළා.
වේගයෙන් ලකුණු රැස් කළා.
කෙසේ වෙතත් පළමු ඉනිමේ ශ්‍රී ලංකාව නිර්මාණය කළ යෝද ලකුණු පුවරුව හේතුවෙන් ජයග්‍රහණය ඔවුන්ට බොහෝ දුරයි.
මේ ටෙස්ට් තරගාවලිය ආරම්භ වුණේ දෙරට අතර ඉතාම අමිහිරි සහ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක් මැදින්.
සංචාරයේ පළමු තරගාවලිය වූ T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තා.
එහිදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට සරදම් කරමින් ජයග්‍රහණය සැමරූවා.
ඉන්පසුව පැවැති එක්දින තරගාවලිය බංග්ලාදේශය ජයගත්තා.
ඔවුන් ශ්‍රී ලංකාව සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් දැඩිව හාස්‍යයට ලක් කරමින් සිය ජයග්‍රහණය සැමරූවා.
ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ශ්‍රී ලංකා නායක ධනංජයගෙන් මාධ්‍යවේදීන් විමසුවේ, තරගාවලිය ජය ගැනීමෙන් පසුව ජය සමරන්නේ කෙලෙසද යන්නයි.
එයට ඔහු, එය පසුව තීරණය කරන බවට පිළිතුරු දුන්නා.
කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලිය හුදෙක්ම ශ්‍රී ලංකාව විසින් ආධිපත්‍ය පැතිර වූ එකක්.
ඔවුන් පළමු ටෙස්ට් තරගය ඉතාම පහසුවෙන් ජය ගත්තා.
දෙවෙන ටෙස්ට් තරගයේ ජයත් බොහෝ විට ශ්‍රී ලංකාවට හිමි වේවි.
මෙහිදී දෙරට අතර පෙර සිදු වූ අමිහිරි අත්දැකීම් සමග, බංග්ලාදේශයට රිදෙන සහ දැනෙන අයුරින් ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තුල අදහසක් ඇති.
ඒ වෙනුවෙන් යොදාගන්නා සැමරුම පිළිබඳවත් ඔවුන් තුල සංවාදයක් ගොඩනැගී තිබිය හැකියි.
කෙසේ වෙතත් බංග්ලාදේශයට වඩාත්ම දැනෙන සහ වේදනාකාරී සැමරුම සුප්‍රකට ‘ටයිම් අවුට්’ සැමරීම නොවෙයි.
එසේත් නොමැති නම් ප්‍රසිද්ධ ‘නයි නැටවීමේ’ සැමරීමත් නොවෙයි.
එමෙන්ම වෙනත් විශාල අවදානයක් නිර්මාණය කෙරෙනා සැමරීමක් ද නොවෙයි.
බංග්ලාදේශයට වඩාත්ම දැනෙන සැමරීම වන්නේ, ජයග්‍රහණය ඇඟට නොගෙන, විශාල නාට්‍ය නිර්මාණය නොකර, ජය සමරා නොසිටීමයි.
මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් නොවන බවත්, මෙය සෑම විටකම බලාපොරොත්තු වූ, ඉතා සරල ජයක් බව ඔවුන්ට හැඟවීමයි.
පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව එය සිදු කළා.
විශ්ව ප්‍රනාන්දු, ටෙස්ට් වරම් දිනූ ආධුනික බංග්ලාදේශ ක්‍රීඩකයාගේ හිස අත ගා ඔහුට සුබ පැතුවා.
එවැනි හැසිරීම් වලින් ඔවුන්ට වඩා අප කොතරම් විශාලදැයි නිසඟයෙන්ම පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයක් ඇති ප්‍රබල රටක්.
ශ්‍රී ලංකාව ටෙස්ට් ආකෘතියේ තවමත් ලෝක මට්ටමේ කණ්ඩායමක්.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ටෙස්ට් පිටියේ මුන ගැසුනු අවස්ථාවන් 25 තුල දී 19 කම ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.
බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
ඉතින් බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියක් යනු ශ්‍රී ලංකාවට සැමරීමට තරම් විශාල ජයග්‍රහණයක් නොවෙයි.
එම පණිවිඩය සාර්ථකව බංග්ලාදේශයට සන්නිවේදනය කළ හැකි නම් ඔවුන්ට වේදනාකාරීම සැමරුම එයයි.
ක්‍රිකට් ලෝකයේ දිනිය හැකි බොහෝ දෑ ජයග්‍රහණය කළ, කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක ‘අනෙකා’ වීමම, කිසිවක් දිනා නොමැති බංග්ලාදේශයට ජයග්‍රහණයක්.
ඔවුන්ට ඒ වරප්‍රසාදය ලබා නොදීමට තරම් අප පරිනත විය යුතුයි.
‘නුඹලා අප නුඹලාගේ ප්‍රතිවාදීන් මෙන් සැලකුවාත්, අපට නුඹලා ළදරුවන් පමණයි.
තවමත් අපගේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටක් මිසෙක නුඹලා නොවෙයි.
නුඹලාගේ රටේදීම නුඹලා පහසුවෙන් පරාජය කරන අපගේ ප්‍රතිවාදීන් වීමට නුඹලා තරම් නොවෙයි’
එම පණිවිඩය බංග්ලාදේශය ලබා දිය හැකි නම් එය ඔවුන්ට දරුණු පරාජයක් වේවි.
ඔවුන්ට රිදෙන සහ දැනෙනා සැමරුම එය මිසෙක නයි නැටුම හෝ ටයිම් අවුට් සැමරුම නොවන බව නම් සහතිකයි.

ඉරේෂාන් සිරිවර්ධන

        2024. 04. 02

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...