Pacers appreciation post – බංග්ලාදේශය ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩා පිටිය අත්හැරියා

Share post:

පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශය සිල්හෙට් තෝරාගත්තේ ඔවුන්ගේ වේග පන්දු යවන්නන් ගැන අධි තක්සේරුවකින්.
සිල්හෙට් සාමාන්‍යයෙන් සීතල කාලගුණයක් සහිත ප්‍රදේශයක්.
සිල්හෙට් තනතීරුවේ තනකොලත් තිබුණා.
එය වේග පන්දු යවන්නන්ට උචිතම තත්ත්වයක්.
ශොරිෆුල්, කාලීඩ් අහම්ඩ් වගේම නවක ක්‍රීඩක නහීද් රනා පිළිබඳවත් ඔවුන් සතුව දැඩි විශ්වාසයක් තිබුණා.
ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන්ට උචිත තනතීරු සමග ක්‍රීඩා කරන රටක්.
ඔවුන් වඩා හොඳින් ක්‍රීඩා කරන්නේත් එවැනි තනතීරුවල.
එම නිසා බංග්ලාදේශය ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩා පිටිය වන, දඟ පන්දුවට උචිත මීර්පූර් පිටිය අත්හැරියා.
පළමු ටෙස්ට් තරගය වේග පන්දු යවන්නන්ට උචිත පිටියකට ගෙන ආවා.
නමුත් බංග්ලාදේශයේ සැලසුම ආපසු හැරවුණේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නිසා.
විශේෂයෙන්ම විශ්ව ප්‍රනාන්දු.
ඔහු දක්ෂතාවය සහ කුසලතාවයට අමතරව ටෙස්ට් වේග පන්දු යවන්නෙකුට උචිතම කැපවීමක් සහ විශාල හදවතක් ඇති ක්‍රීඩකයෙක්.
ඔහු මහන්සිය නොතකා දිගින් දිගටම පන්දු යැව්වා.
ඔහුගේ ඇතුලට දෝලනය වන පන්දුවෙන් බොහෝ සාර්ථක ප්‍රතිඵලත් ලැබුණා.
ඉතා හොඳ ටෙස්ට් පන්දු යවන්නෙකුට අත්‍යවශ්‍යම කුසලතා සියල්ල පරිපූර්ණ කසුන් රාජිතත් තරගය පුරාවටම කැපී පෙනුණා.
ටෙස්ට් පන්දු යවන්නෙකුට අවශ්‍ය දරා ගැනීම සහ විනය කසුන් රාජිත සතුයි.
බොහෝ අවස්තාවන්හි ඔහු සතුව නිවැරදි එල්ලයත් තිබුණා.
එමෙන්ම ළහිරු කුමාරත් අමතක කරන්න බැහැ.
ළහිරු වේගයෙන් පන්දුව තනතීරුවට පතිත කරවන ක්‍රීඩකයෙක්.
මෙවැනි තත්ත්ව යටතේ එවැනි පන්දු යවන්නෙකු කණ්ඩායමට බොහෝ වටිනවා.
මේ තරගයේ ළහිරු කුමාරගේ සුපුරුදු වේගය දැකගත නොහැකි වූවත්, ඔහු වෙනදාටත් වඩා හොඳ විනයකින් පන්දු යැව්වා.
මේ පසුගිය කාලය පුරාවටම ටෙස්ට් කණ්ඩායමේ බර කරට ගත් ප්‍රභාත් ජයසූරියට එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ පළමු තරගය.
බංග්ලාදේශයේ කඩුලු විස්සම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අතරේ බෙදී ගියා.
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය මැනීමට එයම පමණක් ප්‍රමාණත්.
නමුත් මේ මොහොතේත් ශ්‍රී ලංකාව සතු ප්‍රධානම ටෙස්ට් වේග පන්දු යවන්නා අසිත ප්‍රනාන්දු.
ඔහු විශාල දෛර්යයක් ඇති ක්‍රීඩකයෙක්. කිසිඳු දිනෙක පසු නොබසින, තරගයක් අත් නොහරින ක්‍රීඩකයෙක්.
ටෙස්ට් ආකෘතියට ගැලපෙනම ගුණාංග වැඩිපුරම ඇති ශ්‍රී ලංකා පන්දු යවන්නා ඔහු.
ආබාධයක් නිසා මේ තරගාවලියට එක්වීමට නොහැකි වූවත්, අසිතත් ටෙස්ට් කණ්ඩායමට එක් වූ විට ශ්‍රී ලංකාව බොහෝ හොඳ වේග පන්දු බලඇණියක් සහිත කණ්ඩායමක් බවට පත් වේවි.
පසුගිය සමයේ ශ්‍රී ලංකාව සතුව සිටියේ එවැනි එක් ටෙස්ට් වේග පන්දු යවන්නෙකු පමණයි. ඒ සුරංග ලක්මාල්.
නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාව සතු වේග පන්දු යවන්නන් සියලූම දෙනා පාහේ සිය දක්ෂතාවයන් සහ හැකියාවන් දියුණු කරගෙන ඇති බව පෙනෙනවා.
හොඳ ටෙස්ට් වේග පන්දු යවන්නන් කිහිපදෙනෙක් සතු වීම කණ්ඩායමකට බොහෝ වැදගත්.
එමෙන්ම තරගය පුරාවට ධනංජය ද සිල්වා විසින් නායකත්වය හැසිරූ අයුරු පිළිබඳවත් කතා කළ යුතුයි.
ඔහු පිතිකරුවෙකු වශයෙන් ද නායකත්වයේ වගකීම සාර්ථකව ඉටු කළා.
පිටිය සැකසීමේ සිට පන්දු යවන්නන් යොදා ගැනීම දක්වාම ආක්‍රමණශීලි නායකත්වයක් ධනංජයගෙන් දුටුවා.
දිමුත් කරුණාරත්න තරමක ආරක්ෂාකාරී නායකයෙක්.
පසුගිය කාලයේ ඇතැම් විටෙක ශ්‍රී ලංකාව ජයග්‍රාහී තැන් වල සිට පසුබැසීමට ඔහුගේ ආරක්ෂාකාරී නායකත්වයත් හේතු වුණා.
ධනංජය වෙනස්. ඔහු ආක්‍රමණශීලියි. ඔහු පීඩනය පවත්වා ගැනීමට උත්සාහ කරනවා.
එය හොඳ තත්ත්වයක්.
කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය නම් හිමිවිය යුතුව තිබුණේ කමිඳු මෙන්ඩිස්ට.
තරගයේ වීරයා සම්මානය ඔහුට අහිමි වීමට කිසිඳු පිළිගත හැකි සාධකයක් පෙනෙන්නට නැහැ.
කෙසේවෙතත් මෙවැනිම වේග පන්දු යවන්නන්ට උචිත පිටියක පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයටත් මේ දක්ෂතාවයන් රැගෙන ගොස්, එම තරගයත් ජය ගැනීම ශ්‍රී ලංකාවේ එකම අරමුණ විය යුතුයි.
මේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්.
එම නිසා 2-0ක පූර්ණ ජයග්‍රහණයකින් තොර කිසිඳු තත්ත්වයක් පිළිගැනීමට සුදානම් නොවිය යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...