කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ. ඔහුගේ මරණය සහ ඇප ලබාදීම අතර සම්බන්ධයක් තිබේද යන්න මතුවී ඇති එක් ආන්දෝලනයකි. මේ සැකය මතුකරන්නේ අප නොවේ. කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය බාර ස්ථානාධිපතිවරයා ය. ඔහු මේ පිළිබඳව අධිකරණයට කිව්වේ කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීම පිළිබඳ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ය. මේ මරණ පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ අංක 03 අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේදී ය.
අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. එහිදී හඳුනාගැනීමට තිබුණේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සමීපතමයකු වූ පෙරුමාල් ගනේෂ් ය. අරවින්ද ද සිල්වා වසර 20කට වැඩි කාලයක් තිස්සේ හඳුනන ගනේෂ් දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව ය. ඔහු කපිලට ඇප ලබාදීමට මුදල් ගෙන ගොස් තිබේ.
ඔහුට ඇප දුන්නේ කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංචිකරුවන් වන රිස්වාන් සහ ඉර්ෂාඩ් ය. ඔවුන් සම්බන්ධ කර ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට නිතර ගැවසෙන තිස්ස ය. මේ තිස්ස යනු වයස අවුරුදු 76ක, ජීවිතයේ දීර්ඝ කාලයක් අලුත්කඩේ සමග බද්ධ වූ පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව තැරැව්කරුවකු ලෙස කටයුතු කිරීම ය. ඒ අතර එකකි, ඇපකරුවන් සොයාදීම. විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට බුද්ධි අංශ, බන්ධනාගාර නිලධාරීන් ආදී වගකිවයුතු තැන් සියල්ල මේ තිස්සව හොඳින් දන්නේය.
තවත් කාරණයක් තිබේ. කපිල චන්ද්‍රසේනට ඇප තැබූ රිස්වාන් සහ ඉර්ෂාඩ් ද වෘත්තීය ඇප තබන්නන් ය. 2026 ජනවාරි සිට මේ දක්වා රිස්වාන් විසින් ග්‍රාම නිලධාරි සහතික 10ක් ලබාගෙන තිබේ. ඉර්ෂාඩ් එසේ ග්‍රාම නිලධාරි සහතික 07ක් ලබාගෙන තිබේ. මේ පිළිබඳව අදාළ ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ගැටලුව ඇත්තේ එවැනි සහතික ප්‍රමාණයක් ලබාගැනීමේදී එය අදාළ නිලධාරියාට ප්‍රශ්නයක් නොවූයේද යන්න ය. මේ නිසා අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් මේ වන විට කැඳවා තිබේ.
කපිලට ඇප ලබාදීමේ මේ සමස්ත ක්‍රමවේදය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා යම් ගැටලු සහගත තත්ත්වයක් නිරීක්ෂණය කර තිබේ. එම නිසා ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ පැවැත්වේ.
කෙසේ වෙතත් මෙහි තවත් කතාවක් තිබේ. එනම් කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේදී අරවින්ද ද සිල්වා පැවසූ ආකාරයට ඔහු ඇපකරුවන් සූදානම් කර ඇත. එසේ සූදානම් කළ ඇපකරුවන් වන්නේ ශාන්ත සහ චමිල ය. තවත් පුද්ගලයකුට ද ඇප තැබීමට කතා කර ඇතත්, ඔශුට ග්‍රාම නිලධාරි සහතිකයක් ලබාගැනීමට සතියක කාලයක් අවශ්‍ය බව දැනුම් දී තිබේ. ප්‍රකාශවලට අනුව ඇප තැබීම ගනේෂ් පෙරුමාල් අත අරවින්ද මුදල් යවා ඇත. එහෙත් ඒ ඔහු සූදානම් කළ ඇපකරුවන් මගින් කපිලට ඇප තබන්නට ය. එහෙත් ඇප තැබුවේ වෙනත් දෙදෙනෙකි. ඔවුන් කපිල ගැන කිසිවක් නොදන්නා බව පවසා තිබේ. තිස්ස හරහා ය, ඔවුන් ඇප තබන්නේ. අරවින්දගේ මුදල් තිස්ස අතට ගොස් නැති බවක් ද පැවසේ. එසේ නම් ඇප මුදල් තිස්සට ලබාදුන්නේ කවුද? ඉර්ෂාඩ්ට සහ රිස්වාන්ට ලබාදෙන්නට රුපියල් 15,000 බැගින් වූ මුදල් තිස්සට ලබාදුන්නේ කවුද?
මෙවැනි ගැටලු රැසක් මතු වේ. එක් පැත්තකින් කපිලගේ සිදුවීම හරහා අධිකරණයේ සිදු වන මේ ඇප තැබීමේ බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් ද අනාවරණය විය. එය බොහෝ පිරිසක් දැන සිටියද, කොතැනින්වත් එළියට ආවේ නැත. අනෙක් පැත්තෙන් කපිලට නාඳුනන – වෙනත් පුද්ගලයන් මගින් ඇප තබන්නට මේ තරම් අවශ්‍යතාවක් තිබුණේ ඇයි?
කපිල චන්ද්‍රසේන මියගියේ පසුගිය 08දා ය. එදින ම කොළඹ අපරාධ කොට්ඨාසය නියෝගයක් ලබාගෙන තිබිණි. ඒ, කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් නිවසක් පරීක්ෂා කිරීමට ය. මේ නිවස පිහිටා ඇත්තේ හයිඩ් පාර්ක්හි ය. බාන්ස් පෙදෙසේ ඇති කපිලගේ නිවසේ සිටින සේවකයකුගෙන් යතුර ලබාගෙන අධිකරණ නියෝග මත අදාළ නිවස පරීක්ෂා කර ඇත. එහිදී ලිපිගොනු ගණනාවක් සහ ලැප්ටොප් පරිගණකයක් විමර්ශකයන් බාරයට ගෙන ඇත.
අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා සම්බන්ධයෙන් ද කපිලගේ මරණ පරීක්ෂණයේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු විය. මහෙස්ත්‍රාත්වරයා විසින් ම මේ ගැන විමසා තිබිණි. එහෙත් එහිදී අනාවරණය වී තිබුණේ අරවින්දගේ නිවසේ සීසීටීවී තිබුණද, ඒවායේ කිසිවක් රෙකෝඩ් නොවන බවයි. ඒ මොහොතේ පමණක් බැලිය හැකි බවයි. මෙහිදී වැඩිදුරටත් අධිකරණයේ අවධානය යොමු වූයේ අරවින්දගේ නිවසට ප්‍රවේශ වීමට තවත් දොරටු ඇද්ද යන්නයි. මහෙස්ත්‍රාත්වරයා විසින් යොමු කළ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විමර්ශකයන් පැවසුවේ ප්‍රධාන දොරටුව පමණක් ඇති බවකි. වෙනත් දොරටු නැති බවකි. ඉන්පසු විමර්ශකයන් වැඩිදුරටත් සඳහන් කළේ කපිල චන්ද්‍රසේන ඇප ලබාගෙන පැමිණි දවසේ සිට ඔහු මියගොස්, ඔහුගේ සිරුර පිළිබඳ ස්ථානීය පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරයා පැමිණි අවස්ථාව දක්වා අරවින්දගේ නිවසේ ගේට්ටුව පෙනෙන ලෙස ඇති අවට නිවෙස්වල සීසීටීවී දර්ශන සිය භාරයට ගෙන ඇති බවයි.
කපිලගේ ජංගම දුරකතනයේ පාස්වර්ඩ් එක වශයෙන් ඔහුගේ මුහුණ භාවිත කර ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, ඒ හේතුවෙන් අදාළ ජංගම දුරකතනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයකට යොමු කර විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් විමර්ශකයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවසූ බව සමාජ මාධ්‍යයේ සඳහන් වුවද, එය කොළඹ අපරාධ කොට්ඨාසය යටතේ සිදුකෙරෙන විමර්ශනයකි.
අපරාධ ස්ථානයේ තිබී සොයාගත් කපිලගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයේදී ප්‍රශ්න කළ විට එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවත් විමර්ශකයෝ පැවසූහ. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අමතමින් ‘සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේ ම කඩදාසියක එතූ හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළා ද?‘ යනුවෙන් විමසීය.
එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බව මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
සමාජ මාධ්‍ය වේදිකා තුළ ඇතැම් පාර්ශ්ව මතු කර තිබූ කරුණක් වූයේ අරවින්ද ද සිල්වා කපිලගේ ඇප ලබාගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වූයේ නම්, ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි ද යනුවෙනි. අරවින්ද මේ ක්‍රියාවලිය ගැන මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් වැඩිදුර තොරතුරු පැවසීය.
‘මියගිය කපිල චන්ද්‍රසේන මගේ බිරිඳගේ නැගණියගේ ස්වාමියා. ඔහු බාන්ස් ප්‍රදේශයේ තනියමයි පදිංචිව සිටියේ. නිවසේ මෙහෙකරුවන් හිටියා. බන්ධනාගාරගත වුණාට පස්සේ මම කපිලව කීප වතාවක් ගිහින් බන්ධනාගාරයේදී හමුවුණා. ඇප තැබීමෙන් පසුව මම මගේ කාර්යාලයේ සේවය කරන ගනේෂ් නමැත්තාට කිව්වා කපිලව ගිහින් ගෙදර එක්ක එන්න කියලා. ඒ වගේම වයිෆ්ට මම කතා කරලා කිව්වා දවස් ගණනාවක් හරියට කෑමක් නැති නිසා මොනවා හරි කන්න හදලා දෙන්න කියලා. පස්සෙ මම ගෙදර යනකොට කපිල ඇවිල්ලා හිටියා. මට කිව්වා මහන්සියි, වොෂ් එකක් දාගන්න ඕනෙ කියලා පස්සේ එයාගේ ගෙදරට ගියා.‘
මෙහිදී අරවින්ද තවත් වැදගත් කතාවක් කීවේය.
‘පසුව මැයි 7 වැනිදා උදේ මට කතා කළා. මම අමාරුවේ වැටුණු වෙලාවේ කවුරුත් හිටියේ නෑ. ඔයාලා විතරයි හිටියේ. ස්තූති කළා. විනාඩි දහයක් පහළොවක් කතා කළා. දවල් වෙද්දි මට මෙසේජ් කීපයක් ආවා කපිලට ප්‍රශ්නයක් කියලා. පස්සෙ මමත් කපිලට කතා කරලා ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා. ආයෙ උසාවි කේස් එකක් තියෙනවා කියලා එයා කිව්වා. මම කපිලට ගෙදර එන්න කිව්වා. ලෝයර්ට කතා කරමු කියලා මම කිව්වා. මම ඔෆිස් එකේ ඉඳලා ගෙදර එනකොට කපිල ඇවිල්ලා හිටියා. අපි ලෝයර්ට කතා කලා. ලෝයර් කිව්වා විස්තර හරියට දැනගන්න ඕන කියලා. ඊට පස්සේ අපි කපිලව ගෙදර තියලා, මමයි නෝනයි කපිලට ඇප තියපු සියලුදෙනයි රියන්සි සර් හම්බෙන්න ගියා.
රියන්සි සර් කිව්වා කපිලව හෙට උදේ උසාවියට ඉදිරිපත් කරන්න ඕනෙ. නීතිඥවරයෙක් එවන්නම් කියලා. ඒ අනුව රාත්‍රී 11ට පමණ නීතිඥ ප්‍රියන්ත කතා කළා.‘
දීර්ඝ ලෙස සාක්ෂි දීමෙන් පසු අරවින්ද අවසාන වශයෙන් පැවසුවේ කපිලගේ මරණය පිළිබඳ සැකයක් නැති බවයි. ඔහු කාමරයේ නිදා සිටි බවයි. එහෙත් ඔහු පසුදින අධිකරණයට යෑමට සූදානමින් සිටි බව පැහැදිලි ය. බාන්ස් පෙදෙසේ නිවසේ සේවිකාවක සාක්ෂි දෙමින් පවසා තිබුණේ උසාවි යෑමට සුදු ඇඳුමක් සූදානම් කරන ලෙස කපිල පැවසූ බවයි.
කපිල චන්ද්‍රසේන මරණයට පත්වීමත් සමග කරළියට පැමිණි තවත් කතාවක් වූයේ ඔහු සාක්ෂිකරුවකු බවයි. ඔහුගේ මරණයත් සමග ඒ සාක්ෂිය විනාශ වූ බවයි. එහෙත් ඔහු සාක්ෂිකරුවකු නොවේ. ඔහු විත්තිකරුවෙකි. එයාර් බස් ගනුදෙනුවේ දූෂණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අයෙකි. 2011 වසරේ ජූලි මාසයේ සිට ඔහු ශ්‍රී ලංකන් සභාපති ය. එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට සහ බිරිඳට එරෙහිව පැහැදිලි චෝදනා ඇත. ඩොලර් මිලියන 2ක් බැර කර ඇතත්, ලබාගැනීමට එකඟ වී ඇති කොමිස් මුදල ඩොලර් මිලියන 16.84කි. බ්‍රිතාන්‍යෙය් බරපතළ වංචා විමර්ශන කාර්යාංශය මේ පිළිබඳ සියලු කරුණු අනාවරණය කිරීමෙන් පසුව ය, ලංකාවේත් විමර්ශන සිදු වූයේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහට නීතිඥ උදාර මුහන්දිරම් විසින් දිවුරුම් ප්‍රකාශයක් වට්සැප් කර තිබුණේ 2026 මාර්තු 12 දින දහවල් 12.43ට පමණ ය. එහි සඳහන්ව තිබී ඇත්තේ තමන්ගේ සේවාදායකයා වන කපිල චන්ද්‍රෙස්නව සැකකරුවකු නොකර සාක්ෂිකරුවකු කරන්නේ නම්, විශේෂිත දේවල් කිහිපයක් කරන්නට සූදානම් බවකි. දිවුරුම් ප්‍රකාශයක් කිව්වාට එය අත්සන් නොකරන ලද එකකි. එනම් නිකම්ම ප්‍රකාශයකි.
එහි තිබුණේ ශමීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න සහ වෙනත් අය ගත් අල්ලස් මුදල් ගැන ය. එතකොට කවුද මේ වෙනත් අය යන ප්‍රශ්නය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නැගිණි. ඔහු ප්‍රශ්නය විසඳාගැනීමට කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ වෙත ගියේය. ඔහුට ද ඒ ප්‍රශ්නය ම නැගිණි. දෙදෙනාම ඉන්පසු ගියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත ය. ඒ වන විටත් කපිල චන්ද්‍රෙස්නගෙන් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියේය. ප්‍රකාශය සටහන් කරගැනීම නතර කර, කපිල ව රංග දිසානායක සහ අනෙකුත් පිරිස සිටි තැනට ගෙන්වනු ලැබිණි. එහිදී රංග දිසානායක පවසා ඇත්තේ ඇත්ත කියන්න යනුවෙනි. එහිදී සිදු වූ දේ කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදී තිබේ. ඒ අතර කපිල චන්ද්‍රෙස්නගේ නීතිඥවරයාගේ පැත්තෙන් කියන්නේ බලහත්කාරයෙන්, තර්ජනය කොට ඔහු ලවා නම් කියවා ගත් බවයි.
2012-2013 කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් 10ක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ දූෂිත ගනුදෙනුවකට අදාළ ව එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රෙස්නගෙන් මෙසේ ප්‍රකාශ ලබාගැනිණි. ඉන්පසු ඔහු අත්අඩංගුවට ගැනිණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් පවත්වන අතර, අල්ලස් කොමිසම වෙනම විමර්ශනයක් පවත්වයි. මේ ආයතන දෙක විමර්ශන තොරතුරු හුවමාරු කරගැනීමේ එකඟතාවකට පැමිණ ඇත. එය සුවිශේෂී තත්ත්වයකි.
මෙහිදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේනට ඇප ලැබිණි. ඔහුට ඇප තබා තිබුණේ ඔහු නොදන්නා පුද්ගලයන් ය. ඔවුන් රුපියල් 15,000ක මුදලකට මෙසේ ඇප අත්සන් කළ බව පිළිගෙන ඇත. මේ බව අනාවරණය වීමෙන් පසු 07දා අධිකරණය නියෝග කළේ කපිල චන්ද්‍රසේන යළිත් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු මියගොස් තිබිණි. ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ 07දා පස්වරුවේ සිය රියදුරු සමග මේ නිවසට පැමිණ ඇති බවයි. ඔහු විදෙස්ගත වීමට සූදානමින් සිටි බවට ද පුවත් පළ වේ. එහෙත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඇත්තේ අධිකරණය භාරයේ ය.
එයාර් බස් ගනුදෙනුවේදී ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් රුපියල් මිලියන 20 බැගින් අවස්ථා 03කදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති බවත්, එය බෙලිඅත්තේ ඔහුගේ නිවසේදී සහ කාල්ටන් නිවසේදී ලබාදී ඇති බවත් කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් කොමිසමට පවසා ඇත. එය තවම ප්‍රකාශයක් පමණි. එය තහවුරු කරගත යුතුය. එයින් රුපියල් මිලියන 20ක් හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නට ද ලබාදී ඇත. මේ මුදල් හුවමාරු සිදු වී ඇත්තේ 2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයෙන් පසුව ය. ඒ මැතිවරණයෙන් පරාජයට පත්වූ පසු මහින්ද රාජපක්ෂ මේ මුදල් ලබාගෙන ඇති බවයි, අදාළ ප්‍රකාශයෙන් කියවෙන්නේ. එනම් ඒ වන විට කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ නැත. කෙසේ වෙතත් මේ සිද්ධිය ද ඇතුළත්ව වත්කම් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව 12දා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. මේ ගනුදෙනුව සිදුවන කාලයේ සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්නගෙන් ද අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගෙන ඇත. හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු සහ ව්‍යාපාරිකයකු වන විලී ගමගේ ද මේ ප්‍රකාශ ලබාගත් ලැයිස්තුවේ සිටී.
කපිල චන්ද්‍රසේන කියන තවත් නමක් වන්නේ ශමීන්ද්‍ර රාජපක්ෂ ය. ඔහු හිටපු කතානායක චමල් රාජපක්ෂගේ බාල පුත්‍රයා ය. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ. මේ ගනුදෙනුව සිදු වන කාලයේදී ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. තවත් විශේෂ කරුණක් වන්නේ මේ ගනුදෙනුවට අදාළ විදේශීය එයාර් බස් සමාගමේ නියෝජිතයන් ලංකාවට පැමිණ මීට අදාළ ප්‍රකාශ ලබාදීමයි. එසේම මේ ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාදීමට බෘනායි, සිංගප්පූරුව ඇතුළු රටවල් 05ක් ද එකඟ වී තිබේ. ඒ කියන්නේ විමර්ශන සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
ලබන 19 වැනිදා යළිත් කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ය. මේ සියලු විමර්ශන – පරීක්ෂණ ඔස්සේ කපිල පිළිබඳ රහස් රැසක් අනාවරණය වනු ඇත.

