වසර 14ක් පුරා ඉන්දීය ප්‍රීමියර් ලීගය ජය ගත් අභිමානවත් නායකත්වයට මහේන්ද්‍ර සිං දෝනි සමුදීලා.
මෙය චෙන්නායි රසිකයන්ට පමණක් නොව, සමස්ත ක්‍රිකට් රසිකයන්ටම තරමක සංවේදි අවස්තාවක්.
දෝනි ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්.
ඒ ගැන සැකයක් නැහැ.
ඔහුගේ විශිෂ්ඨ නායකත්වය ගොඩනැගුනේ ඉන්දීය ජාතික කණ්ඩායම වටා පමණක් නොවෙයි.
චෙන්නායි කණ්ඩායම හරහාත් ඔහුගේ නායකත්වය කීර්තියට පත් වුණා.
නායකත්වය නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වූ දෝනි, ඔහු නායකත්වය දැරූ අවසන් කණ්ඩායමටත් සමුදීම, සංවේදී අවස්තාවක් වීම පුදුමයක් නොවෙයි.
කෙසේ වෙතත් මෙහිදී ඉන්දීය මාධ්‍ය සහ සමාජජාලා ක්‍රියාකාරිකයන් කළ අපූරු වැඩක් මගේ සිත් ගත්තා.
මේ අවස්තාවේ දී ඔවුන් දිගින් දිගටම දෝනි හැඳින්වූවේ “කැප්ටන් කූල්” කියලා.
මුලින්ම මහේන්ද්‍ර සිං දෝනිට “කැප්ටන් කූල්” ගරු නාමය ලබා දුන්නේත් ඉන්දීය විචාරකයො.
රවී ශාස්ත්‍රී සහ හර්ෂ බොග්ලේ ඒ අතර ඉදිරියෙන්ම හිටියා.
ඉන්පසුව ඉන්දීය මාධ්‍ය සහ සමාජජාලා ක්‍රියාකාරිකයන් ඒ නාමය උස්සගෙන ගියා.
අද ක්‍රිකට් ක්‍රීඩාවේ “කැප්ටන් කූල්” විදියට දෝනි බ්‍රෑන්ඩ් වෙලා.
බ්‍රෑන්ඩ් වූණා නොවෙයි, ඉන්දියාව විසින් හිතාමතා බ්‍රෑන්ඩ් කළා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ඔරිජිනල් කැප්ටන් කූල්’ වුණේ අර්ජුන රණතුංග.
ක්‍රිකට් ක්‍රීඩාව දුටු විශිෂ්ඨතම විස්තර විචාරකයෙක් වූ ටෝනි ග්‍රේග් විසින් අර්ජුන එනමින් භෞතිස්ම කළා.
ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ කැප්ටන් කූල් අර්ජුන.
නමුත් අවස්තාව ලද පමණින් ඉන්දියාව එම අනන්‍යතාවය හොරකම් කළා.
එපමණක් නොවෙයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ඔරිජිනල් මාස්ටර් බ්ලාස්ටර්’ වූයේ සනත් ජයසූරිය.
ක්‍රිකට් ක්‍රීඩාවට තනි ක්‍රීඩකයෙකු ලෙස වැඩිම බලපෑමක් සිදු කළ ක්‍රීඩකයා සනත්.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ක්‍රිකට් න්‍යායන් අලුත් කළා.
අද පවතින, නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ පියා සනත්.
එයට ගෞරවයක් වශයෙන් ටෝනි ග්‍රේග් විසින්ම සනත්, ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස නම් කළා.
එකල තවත් දක්ෂ පිතිකරුවෙකු වූ ඉන්දියානු ජාතික සචින් තෙන්දුල්කාර්ට ඔහු ‘ලිට්ල් මාස්ටර්’ නාමය ලබා දුන්නා.
සචින් අති දක්ෂයෙක්.
නමුත් කිසිම දිනෙක ඔහු සනත් පන්නයේ “පුපුරවන්නෙක්” වූයේ නැහැ.
නමුත් ඉන්දියානුවන්ට එය දිරවා ගැනීමට නොහැකි වුණා.
තමන් විසින් දේවත්වයට නගනා සචින්ට ‘ලිට්ල්’ (කුඩා) නාමය යෙදීම පිළිබඳ ඔවුන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ.
සනත් ‘මාස්ටර් බ්ලාස්ටර්’ වෙද්දී, සචින් ‘ලිට්ල් මාස්ටර්’ වීමෙන් සචින් ඉදිරියේ පවා සනත්ගේ ප්‍රතිරූපය විශාල වීම පිළිබඳ ඉන්දියාව සතුටු වූයේ නැහැ.
ඉන් ටික කලකට පසුව රවී ශාස්ත්‍රී ලා, සචින් තෙන්දුල්කාර් ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස හැඳින්වීමට පටන් ගත්තා.
ඉන්දීය මාධ්‍ය සහ රසිකයන් එය ඔසවාගෙන ගියා.
දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ සචින් තෙන්දුල්කාර්.
මෑතකදී නිමාවූ ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 22ක් ලබා ගත්තා.
ඉන්පසුව ඉන්දීය මාධ්‍ය අපූරු වාර්තාවක් පළ කර තිබුණා.
එනම් ටෙස්ට් තරගාවලියක දී කඩුලු 20ට වඩා වැඩිම අවස්තාවන් ලබා ගත් පන්දු යවන්නා රවී අශ්වින් බවට ඔවුන් කියා තිබුණා.
මුරලිදරන්ට එම ලයිස්තුවේ හිමි වූයේ දෙවැනි ස්ථානයි.
නමුත් දත්ත වලට මගහැරුණු යථාර්තය වූයේ රවී අශ්වින් ටෙස්ට් තරග පහ බැගින් වූ තරගාවලි බොහෝ ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇතත්, මුරලි ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග තුන බැගින් වූ තරගාවලි පමණක් බවයි.
වර්තමානයේ මෙන්ම එකලත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග පහේ තරගාවලි හිමි වූයේ නැහැ.
ඉන්දියානුවන් එය හිතාමතාම සඟවා අශ්වින්, මුරලි අභිබවන ආකාරයේ දත්තයක් ඔවුන් විසින්ම නිර්මාණය කළා.
අශ්වින් කඩුලු හයසියයේ සීමාවට ලඟා වුවහොත් ඔවුන් විසින් අශ්වින් ලොව හොඳම දඟ පන්දු යවන්නා බවට භෞතිස්ම කිරීම නියතයක්.
මේ අතීතයේ සිටම ඉන්දියානුවන් කටයුතු කරනා ආකාරයයි.
සැබැවින්ම එහි වරදක් නැහැ.
අප විසින් අප විකිණිය යුතුයි.
වෙනත් අයෙකු විසින් අප ‘මාර්කට්’ නොකරන නිසා, අප විසින්ම අප ‘මාර්කට්’ කරගත යුතු යැයි කියමනක් ද තිබෙනවා.
ප්‍රායෝගික යථාර්තය වන්නේ ද එයයි.
නමුත් අසල්වැසි ඉන්දියානුවන් ඉතාම සූක්ෂමව, ඉතාම දක්ෂ අන්දමින්, සියලූම දෙනා එක්වී ජාතික ප්‍රතිපත්තියකට මෙහෙයවෙද්දී අප වෙනස්.
මෙලෙස ලෝකයේ විකිණිය හැකි, විශිෂ්ඨයන් ලෙස ලේබල් කළ හැකි බොහෝ ක්‍රීඩකයන් අප සතුව සිටිනවා.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ, ශේන් වෝර්න් ට වඩා එක්දින කඩුලුත්, ලාරා ට වඩා එක්දින ලකුණුත් ඇති සනත් ජයසූරිය එවැන්නෙක්.
ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ විශිෂ්ඨතම කුසලතාවයන් ඇති පිතිකරුවා යැයි හැඳින්විය හැකි අරවින්ද සිල්වා එවැන්නෙක්.
තර්කයකින් තොරවම ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නා වන මුරලි එවැන්නෙක්.
අර්ජුන, ඩිල්ෂාන්, සංගා, මහේල, මාලිංග වැනි ලෝකයේ ‘විකිණිය’ හැකි තවත් බොහෝ ක්‍රීඩකයන් අප සතුව සිටිනවා.
නමුත් ලාංකිකයන් පවා ඔවුන් පිළිබඳව කතා කරද්දී විශේෂණ පද යොදා ගන්නවා.
සමහර ලාංකිකයන්ට මුරලි යනු ක්‍රිකට් ක්‍රීඩාවේ “හොඳම දඟ පන්දු යවන්නන් අතර අයෙක්” (One of the best/greatest.)
ඔවුන් මුරලි ‘හොඳම දඟ පන්දු යවන්නා’ ලෙසින් හැඳින්වීමට නිර්භීත වන්නේ නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභියා ‘හොඳම පන්දු යවන්නා’ නොවේ නම්, සචින් තෙන්දුල්කාර් ‘දෙවියෙකු’ වීමටත් බැහැ.
නමුත් අප රසිකයා සෑම විටකම සිය ගෞරවය සහ දැනුවත්කම ආරක්ෂා කර ගැනීමට දේශපාලනික නිවැරදිතාවයක් (Political Correctness) නඩත්තු කරනවා.
තර්ක කිරීමට ඕනෑ තරම් දත්ත සහ සාධක ඇති මුරලි පවා ලෝකයේ විකිණීමට අප මැලි වෙනවා.
බංග්ලාදේශ රසිකයන් ශකීබ් අල් හසන් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස හඳුන්වද්දී, අප සනත් හඳුන්වන්නේ ‘හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් අයෙකු’ ලෙසයි.
සනත් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස හැඳින්වීමට අප බිය වෙනවා.
‘හොඳම’ , ‘ශ්‍රේෂ්ඨතම’ වැනි දෑට ස්ථිර නිර්වචන නැහැ.
ඒවා අපට අවශ්‍ය ආකාරයට නිර්වචනය කළ හැකියි.
ලෝකයේ සෑම තැනකම ‘මාර්කටිං’ අවශ්‍යතා සඳහා ‘හොඳම’ , ‘ශ්‍රේෂ්ඨතම’ වචන නිර්වචනය වෙන්නේත් එලෙසයි.
ඉන්දියානුවන් සහ වෙනත් ජාතීන් මැනවින් භාවිතා කරන්නේ එම නිදහසයි.
නමුත් අප අනවශ්‍ය පරිදි තර්කානුකූල වීමට හෝ දේශපාලනික නිර්වද්‍යතාවයක් නඩත්තු කිරීමට උත්සාහ කරමින් බොහෝ දෑ මගහැර ගන්නවා.
එක්කො අප ලෝකය සහ එහි වාණිජ පරමාර්ථ ක්‍රියා කරන ආකාරය ගැන දැනුවත් නැහැ.
එසේ නොමැති නම් අප ජාතික අරමුණක් වෙනුවෙන් සූක්ෂම අන්දමින් කටයුතු කිරීමට දන්නේ නැහැ.
දෝනි ‘කැප්ටන් කූල්’ ලෙස සමුගනිද්දී මට සිතුනේ එයයි.
මාස්ටර් බ්ලාස්ටර් කැප්ටන් කූල් සහ වෙනස
Share post: