තෝරාගත් තැනැත්තා සහ හිස්තැන් පුරවන්නෝ

Share post:

කමිඳු මෙන්ඩිස් අද ක්‍රීඩා කළේ සිය ටෙස්ට් දිවියේ දෙවන තරගය. එමෙන්ම දෙවන ඉනිම.
ඔහු මුල්ම තරගයට ක්‍රීඩා කළේ 2022 වසරේ ජූලි මාසයේ දී. මාගේ මතකය නිවැරදි නම් එය ප්‍රභාත් ජයසූරියගේත් මංගල ටෙස්ට් තරගය.
එම තරගයේ දී කමිඳු ලකුණු 61ක් රැස් කළා.
ඉන්පසුව ඔහු යළිත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ අද.
අද කමිඳු පිටියට එද්දී ලකුණු පනහට කඩුලු පහක් වැටිලා.
පන්දුව ඉතා හොඳින් දෝලනය වෙන වෙලාවක්. පීඩනය උපරිම මොහොතක්.
එම පීඩනය මැද කමිඳු බැට් කරනවා දකිද්දී දැනුනේ ඔහුට ඒ පීඩනය, කන්ඩිෂන්ස් බිඳුවකින් හෝ අදාල නෑ කියලා.
ධනංජය සහ කමිඳු කඩුල්ලට පැමිණ ස්වල්ප මොහොතක් ගත වෙද්දී, මෙතෙක් පන්දු යවන්නන්ට උචිත තනතීරුව සැණකින් වෙනස් වෙලාදැයි හිතුණා.
ඔවුන් දෙදෙනා ඒ තරම් හොඳින් පිතිකරණයේ යෙදුණා.
අද කමිඳු රැස් කළ ඉනිම අහම්බයක් නොවෙයි.
එය තනිකරම දක්ෂතාවය සහ ඉවසීම මත පදනම් වූ ඉනිමක්.
එමෙන්ම පන්දු යවන්නන්ට උචිත තනතීරුවක, පීඩනය උපරිම මොහොතක රැස් කළ සැබෑ සටන්කාමී ඉනිමක්.
කමිඳුට ඉතා හොඳ තරග කියවීමක් සහ අවස්තාවට හැඩ ගැසීමේ හැකියාවක් තිබෙනවා.
එය මෑතක දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩකයන්ගෙන් විරලව දුටු ලක්ෂණයක්.
එමෙන්ම කමිඳු ආකෘති තුනටම සුදුසු, දක්ෂතාවයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් බවත් පැහැදිලියි.
ඔහුට අවස්තාවක් හිමි වූ සෑම මොහොතකම ඔහු එය ඔප්පු කළා.
අමතක කරන්න එපා.
එක්දින තරගාවලියට අවිශ්ක ප්‍රනාන්දු ගෙන ආ යුතු නිසා, තේරීම් කමිටුව කණ්ඩායමෙන් ඉවත් කළේ මේ කමිඳු මෙන්ඩිස්මයි.
කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් අතරින් තෝරා ගැනීමක් පැවැති සෑම මොහොතකම එක් පෑන් ඉරි පහරකින් කැපී ගියේ මේ කමිඳු මෙන්ඩිස්මයි.
කමිඳු ලා, සදීර ලා, අසලංක ලා, පැතුම් ලා යනු කොතරම් දක්ෂතා දැක්වූවත් ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථාන වෙන් කර, ඉතිරි තැන් පිරවීමට සිටිනා ආදේශක ක්‍රීඩකයන් මිසෙක ස්ථිර ක්‍රීඩකයන් නොවෙයි.
පැතුම් නිස්සංක රතු පන්දුව ඉදිරියේ ඉතා හොඳ පිතිකරුවෙක්.
ලැබූ අවස්තා ග්‍රහණය කරගනිමින් සීමිත පන්දුවාර ආකෘතීන් හී දක්ෂතා දැක්වීම ඔහුට ටෙස්ට් කණ්ඩායමේ අවස්තාවක් ලබා නොදීමට හේතුවක් නොවෙයි.
නිශාන් මදුශ්ක පළමු පෙල නොම්මර තුන පිතිකරුවෙක්.
මදුශ්කට නොම්මර තුන ස්ථානය ලබා දී, පැතුම්ට ආරම්භක පිතිකරණ ස්ථානයක් වෙන් කළ හැකියි.
නමුත් පැතුම් ටෙස්ට් කණ්ඩායමට ගෙන ඒමට අවශ්‍ය වුවහොත් කණ්ඩායමෙන් විසි වෙන්නේ ලකුණු අතර සිටිනා මදුශ්ක මිසෙක, අසාර්ථක වූවත් කුසල් මෙන්ඩිස් නොවෙයි.
ඔහු ජාතික කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයා.
ඒ සඳහා තේරීම් කමිටු සභාපතිවරුන්ට සහ ක්‍රිකට් නිළධාරීන්ට හේතුවක් ද තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගෙන් ‘ක්‍රිකට් දන්නා’ අය පමණක් දකිනා දක්ෂතාවයක් සහ හැකියාවක් ගැන ඔවුන් මහ ඉහළින් කතා කරනවා.
නමුත් කුසල්ගේ එම දක්ෂතාවයට, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් තක්සේරු කළ වටිනාකම ඔහුගෙන් කිසිඳු දිනෙක ලැබුණේ නැහැ.
දත්‍ත වාර්තා බැලුවත්, ශ්‍රේණිගත කිරීම් බැලුවත් ඔහු සාමාන්‍යයට පහළින් සිටිනා ක්‍රීඩකයෙක්.
නමුත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරනා ඕනෑම කණ්ඩායමක ස්ථිර ක්‍රීඩකයෙක්.
අනෙක් අතට කමිඳු මෙන්ඩිස්.
ඔහුට අවස්තාවන් ලැබෙන්නේ ඉඳහිට.
ඔහු සාර්ථක වූවාත්, නැතත් හෙට ඔහු කණ්ඩායමෙන් විසි විය හැකියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සහ ඉහළ නිළධාරීන් ක්‍රිකට් කියවන්නේ එහෙමයි.
නමුත් අද සහ මෑතක දී කමිඳු ක්‍රීඩා කළ සෑම ඉනිමක්ම පරීක්ෂා කළ විට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් මෙන්ඩිස්ගෙන් දකිනා ‘දක්ෂතාවය’ කමිඳු මෙන්ඩිස් තුල සැබෑවටම තිබුණා.
ඔහු ඒ බව පිටියේ දී ඔප්පු කළා.
ඔහු මෙන්ම නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක, චරිත් අසලංක වැනි පිතිකරුවන් ද ලැබූ අවස්තාවන්ගෙන් සිය හැකියාව ඔප්පු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය කුසල් යැයි ඔප්පු කිරීමට අප දශකයක් තිස්සේ අවස්තාවන් වැය කරනවා.
නමුත් තවමත් ඔහු ස්ථාවර නොමැති, ඉඳහිට හොඳ ඉනිමක් ක්‍රීඩා කරනා සාමාන්‍යයටත් පහළින් සිටිනා ක්‍රීඩකයෙක්.
කමිඳු මෙන්ඩිස්ට තමන් සුදුසු බව ඔප්පු කිරීමට වැය වූයේ ඉනිම් දෙකයි.
නමුත් ඔබ ඕනෑම අවස්තාවක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට හෝ තේරීම් කමිටුව පාලනය කරනා සනත් ජයසූරියට හෝ සියල්ලට ඉහළින් සිටිනා ක්‍රිකට් සභාපතිවරයාට, කමිඳු හෝ කුසල්ගෙන් අයෙක් තෝරාගැනීමට අවස්තාවක් ලබා දෙන්න.
තර්කයකින් තොරවම ඔවුන් තෝරාගන්නේ කුසල් මෙන්ඩිස්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමට බලපෑ ඇත්තේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කලක පටන් නඩත්තු කරනා මේ ආකල්පයමයි.

ඉරේෂාන් සිරිවර්ධන

    2024. 03. 22

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...