දින්නත් අපි තාම පිටුපසින්…, නිහඬ විරුවා වෙල්ලාල

Share post:

තරගය ජයග්‍රහණයට ලකුණු 2ක් තිබියදී වනිඳු හසරංග අතදිග හැර ඉහළට පහරක් එල්ල කර දැවී ගියේ කවුරු මොනවා කිව්වත් ඔහුගේ ඉවසීමේ මදිකම සහ පණ්ඩිතකම ලොව හමුවේ පෙන්වමින් බව මටනම් හැඟී යන දෙයක්. එයින් සිදු වූයේ කඩුලු 4ක ජය කඩුලු 3ක් දක්වා පහතට වැටීමයි. ඇත්තටම අපි බංග්ලාදේශය වැනි කණ්ඩායම්වලට පාඩම් ඉගැන්වීමට තරම් වෙහෙස විය යුතු නැත. හරියට ඒ වැඩේ නිකන් අපේ ජනවහරේ හඳුන්වන ආකාරයට බල්ලොත් එක්ක ලැග්ගොත් බලු මැක්කන් එක්ක තමයි නැගිටින්නට වෙන්නේ යන කතාවට සමානයි.

කාසියේ වාසියේ ජයගත් අපි, පළමු තරගයේ පරාජයෙන් උගත් පාඩම්වලට අනුව බංග්ලාදේශයට පිත්ත අතට ගන්නට ආරාධනා කළා. පළමු පන්දුවාරයේදීම ලින්ටන් ඩාස් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඩිල්ෂාන් මධුෂංක සමත් වුණා. එලෙස අප සාර්ථක වුණත් යළිත් වරක් අපේ ක්‍රීඩකයින්ගේ අවධානය මදිකම පෙන්වනමින් අපට හිසරදයක් වී සිටින බංග්ලාදේශ නායක නජිමුල් ෂැන්ටෝගේ උඩපන්දුවක් පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියා. එම පන්දුවාරයේදීම පිත්තේ දැවටුණු පන්දුව කඩුල්ල පිටුපස සිට නායක කුසල් මෙන්ඩිස් සුරැකිව රැකගත්තත් එය උඩ පන්දුවක් ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටීමට හෝ රිවිව් අවස්ථාවක් ලබා ගැනීමට මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහ කරේ නැහැ. ඇත්තටම අපි තාමත් තරගයක් හරියාකාරව කියවාගන්නේ නෑ. උපක්‍රමශීලි වන්නේ නෑ. ලැබෙන කුඩා අවස්ථා විශාල අවස්ථා බවට පත් කර ගන්නට යම් උත්සාහයක් කරත් විශාල උත්සාහයක් දරන බවක්නම් පෙනෙන්නට නැත. සරලවම කිව්වොත් අපි තාමත් ඉන්නේ වැඩේ නෙමෙයි.

විටෙක බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 31යි පන්දු 1කදී කඩුලු 6ක් දැවී ලකුණු 189ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවෙනවා. නමුත් ඔවුන් උත්සාහය අත්හැරියේ නැත. අවසානයේ ඔවුන් තවත් එක් කඩුල්ලක් පමණක් ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට ලබා දී පන්දුවාර 50 අවසානයේදී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වෙනවා. අපටනම් පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වරම තරගය ලිහිල් කරන ආකාරයයි. එය තදින් අවසානය තෙක් අල්ලන් සිටීමේ පුරුද්දක් අපේ ක්‍රීඩකයින් තුළින් මටනම් තවමත් පෙනෙන්නේ නැත. වනිඳු පිතිකරණයේ නියැලෙන විට ජයග්‍රහණයට ලකුණු 2ක් තිබියදී දැවී ගියෙත් අන්න ඒ ලිහිල් බව නිසාවෙන් යැයි මට සිතේ.

ඒ වගේම, අපේ වේග පන්දු බලඇණිය තවමත් ශක්තිමත් ද කියා අප හමුවේ ඇති තවත් ප්‍රශ්නාර්ථයක්. පළමු තරගයේදීත් ආබාධයකට ලක් වූ ලහිරු කුමාර අදත් ආබාධයකට ලක්වුණා. අද පන්දුවාර 8කට ඔහු ලකුණු 50ක් ලබා දුන්නා. ලහිරු කුමාර දකින විට, විටෙක අප කණ්ඩායමේ සිටි දිල්හාර ප්‍රනාන්දුව මතකයට නැංවෙනවා. කෙසේ වෙතත් අපගේ වේගපන්දු බලඇණිය ශක්තිමත් නැත. වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගනිමින් බංග්ලාදේශයට දැඩි තර්ජනයක් එල්ල කරා. තම පුහුණුකරු චන්දික හතුරසිංහගේ වර්ණනාව නිසාදෝ මන්දා පළමු තරගයේ මෙන් මහමදුල්ලා, වනිඳු යැවූ දෙවන පන්දුවට දැවැන්ත පහරක් එල්ල කරන්නට ගොස් ස්ටම්ප් කිරීමකට හසු වී දැවිගියා.

මෙම කඩුල්ල තුළ ලකුණු 287ක ඉලක්කයක් හඹායාම පහසු නැත. නමුත් එය අපහසු ඉලක්කයක් බව එකවරම ලොව හමුවේ පෙන්වූ අවිශ්ක ප්‍රනාන්දු අදත් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ පළමු තරගයේදී මෙන් ශ්‍රී ලංකා ඉනිම අනතුරේ දමමින්. අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට දක්ෂතා අතර සිටින කමිදු මෙන්ඩිස්⁣ට ඊළඟ තරගයේ හෝ අවස්ථාව ලබා දෙන්නේ නම් තේරීම් කමිටුව විසින් ගන්නා හොඳ තීරණයක් වනවා නොඅනුමානයි. අවිශ්කට අලුත් පන්දුව කෙළින් එනවිට ඊට පහර දීමට නම්දැරූ පිතිකරුවෙක් නොවේ. එසේනම් කළ යුත්කේ අවිශ්ක නොම්බර 4 පිතිකරුවා ලෙසවත් එවීමයි. සදීරත් යළිත් අසාර්ථක වූ අතර නායකත්වයේ බර කරට ගන්නවා වෙනුවට කඩුල්ල විසි කළ කුසල් ද ලකුණු 16කට දැවී ගියා. ලකුණු 43යි කඩුලු 3යි ශ්‍රී ලංකා ඉනිම සෝදාපාලුවකට ලක්වූ ව්ට එයට පවුරක් බැඳීමට ආරම්භක පිතිකරු සහ උප නායක චරිත් අසලංක සමත් වුණේ ධෛර්යවන්ත බව සහ නොපසුබට උත්සාහය ලොව හමුවේ පෙන්වමින්.

4 වන කඩුල්ල වෙනුවෙන් ආරක්ෂාකාරීව සහ උපක්‍රමශීලිව ලකුණු 185ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින් වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ද ඔවුන් සමත් වෙනවා. චරිත් හා පැතුම් එක්ව ගොඩනැංවූ මෙම සබඳතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී 4 වන කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාවයයි. මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ අර්ජුන රණතුංග හා රොෂාන් මහානාමයි. ඔවුන් දෙදෙනා වර්ෂ 1997දී 4 වන කඩුල්ල සඳහා නොදැවී ලකුණු 171ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් වෙනවා.

සුපිරි පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ජාත්‍යන්තර එක්දින පිටියේ 6 වන එක්දින ශතකයත් සමගින් ලකුණු 114ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වෙනවා.

කෙසේ වෙතත් ලකුණු 251ක⁣ට කඩුලු 6ක් දැවී අමතර පීඩනයක් කරපිට යළිත් එල්ලා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවුණා. ඉන්පසු වනිඳු හසරංග සමග එක් වූ අද තරගයට මහීෂ් තීක්ෂණ වෙනුවට කණ්ඩායමට කැඳවීමක් ලැබුණු දුනිත් වෙල්ලාලගේ ඉවසීමෙන් යුක්තව පන්දුවට පහර දුන්නා. දුනිත් වෙල්ලාල තමන්ගේ වගකීම මනාලෙස ඉටු කරමින් ජ්‍යෙෂ්ඨ පිතිකරු වනිඳු හසරංගට දුන් සහයෝගය විශිෂ්ටයි. ඇත්තටම ඒ පුංචි කොල්ලා තුළ ජයග්‍රහණයට ඇති උනන්දුව, පරාජය වීමට ඇති අකමැත්ත, සටන්කාමීත්වය අපට සෑම අවස්ථාවකම පිළිඹිබු වුණා. වෙල්ලාලගේ පන්දු 26කදී ලකුණු 15ක් ලබා ගත්තේ කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල නොකරමින් වීම විශේෂත්වයක්. අවසානයේ කඩුලු 7ක් පූජා කර ශ්‍රී ලංකාව පන්දුවාර 47යි පන්දු 1කදී තරගය ජය ගැනීමට සමත් වෙන්නේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම කරමින්.

තරග ජය ගැනීම අමාරුයි, එක් ලකුණකින් දින්නත් ජයග්‍රහණය ජයග්‍රහණය ම තමයි. නමුත් අප කයියනායකයින් වී ටෝක් ඉෂූ කරනවාට වඩා සිදු කළ යුත්තේ තවත් කැපවී වැඩ කිරීම නොවේද? මගේ පෞද්ගලික මතයනම් අප බංග්ලාදේශය වැනි කණ්ඩායමක් සමග පැටලීමට යාම තේරුමක් නැත. බංග්ලාදේශයට වඩා සුපිරි ක්‍රිකට් එකක් ගැසූ අපට එය ගැලපෙන්නේම නැත. මෙයින් සිදුවන්නේ අප අමතර පීඩනයක් කරේ එල්ලා ගැනීමයි. Timed Out සිදුවීම, නයි පෙන්වීම වැනි බොළඳ, ගොබ්බ දේවල්වලින් ඉවත් වී අප කළ යුත්තේ 20යි 20 ලෝක කුසලානයක්, එක්දින ලෝක කුසලානයක්, ටෙස්ට් වර්ල්ඩ් චැම්පියන්ස්ෂිප් එකක් ජයග්‍රහණය කර ලොව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය යළිත් වරක් පෙන්වීම නොවේද? නැත්නම් අපට සිදුවන්නේ කසඩයින්ට කසඩ භාෂාවෙන් උත්තර දීමට ගොස් අපිත් කසඩයින් වීම නොවේද? ක්‍රිකට් යනු බැට් එකෙන් බෝලෙට තඩිබාන සෙල්ලමට එහා ගිය මයින්ඩ් ගේම් එකක් බව අපේ පණ්ඩිත කොලුගැටයින් හරිහැටි ඔලුවට ගන්නකම් අපට සිදුවන්නේ සැමදා ගිල්ටි ක්‍රිකට් ගැසීමටයි.

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...