‘මම නොවෙමි නුඹට මැවු දෙවඟන’ – ලක්මාලි කරුණානායක

Share post:

ආදරය සහ විරහව යනු කවියට නොගැලවෙන සේ බද්ධව පවත්නා සංකල්ප දෙකකි. ආදරය මිහිර සපයන අතර විරහව වේදනාව උරුම කරන්නේ යයි විශ්වාස කලද කවියෙහිදී මේ දෙකම නොඅඩු මිහිරියාවක් ලැබෙන සේ ප්‍රතිනිර්මාණය කරන්නට කවි කිවිඳයෝ සමත් වෙති. එහෙයින්ම කවියෙහි මේ සංකල්ප දෙකම එකිනෙකා පරයා නගෙන සේ ප්‍රතිනිර්මාණය කරන්නට ඇති සමත්කම කවියකු ගේ හෝ කිවිඳියකගේ සමත්කම මැන බලන සාධකයක් වන තරම් තත්වය ඉදිරියට ගොස් තිබේ. වෙසෙසින්ම ආදරයටත් වඩා විරහවට කවියෙහි සහ ගීතයෙහි ඇති අවකාශය බෙහෙවික් විශාලය.

ලක්මාලි කරුණානායක කිවිඳියගේ මම නොවෙමි නුඹට මැවු දෙවඟන කෘතියෙහි වැඩිම ඉඩක් වෙන් වනුයේ ඉහත සංකල්ප දෙකටය. ඉනුදු ඇය වැඩියෙන්ම අවකාශ සලසන්නී විරහවෙහි පැහැයන් සිත්තම් කිරීමටය. ඇය එහිලා තම හැකියාවන් විදහා පාන්නී සමාජයෙහි බහුලව කතා කරනු ලබනා මාතෘකාවක් නව්‍ය වින්දන පරාසයකින් ඉදිරිපත් කරමිනි. එහෙයින් ඇගේ කවිය රසය නෂ්ට කරගත් වදන් හැසිරවීමක් නොවී හෘදයසංවේදී අත්දැකීමක් බවට පත්ව තිබේ.

දෙදෙනකු අතර වන සම්බන්ධය මේ කර්කශ සමාජය තුළ නොදැනීම වියැකී යන ආකාරය සහ මිනිස් සම්බන්ධය යාන්ත්‍රික බවට පත්වන ආකාරය ඇය අපූර්ව ආකාරයකට වදන් සිත්තමක් බවට පත් කරන්නීය. එදා පෙම් කළ දෙදෙන අද එක වහලක් යට ය. එනම් ඔවුන් සිටිනුයේ පෙර තම පැතුම් ඉටු කරගත් පසුබිමකය. එහෙත් වර්තමානය වන විට දෙදෙන අතර සම්බන්ධය කෙතරම් ඕලාරික වී ඇතිද යන්න කිවි‍ඳිය මතුකරලන්නේ වැස්ස වාහකය කරගනිමිනි.

අපි මුලින්ම හමුවුණු දවසෙ
අද වගේම වැස්ස
මතක නැතිව ඇති ඔයාට
මේ වැස්ස හරි ලස්සනයි
ඔයා කිවුවෙ එහෙම
උණු කෝපි දෙකක් ඕඩර් කරපු ඔයා
බලන් උන්නෙම මගෙ ඇස් දිහා

ඒ ප්‍රේමයේ ස්වර්ණ අඩවියයි. ඒ පෙම උත්කර්ෂයට නංවන්නේ වැස්ස ය. වැස්ස සහ ආදරය අපේ කවියෙහි නිතර සම්බන්ධ වන අවස්ථාවන් ය. හිරි පොද වැස්සේ එකම කුඩේ යට, ආදී වශයෙන් ගීත සාහිත්‍යයෙහිද මේ සම්බන්ධය අපට නොයෙක් වර හමුවෙයි. සැබැවින්ම පෙම් කරන සමයෙහි වැස්ස යනු ආශීර්වාදයකි. මිතුරෙකි. ගමන් සගයෙකි. එහෙත් ජීවිතය ඊට වඩා සංකීර්ණය. පෙම් කරන සමය සහ ඒ පෙම හරහා ඉදිරියට යන ගමනෙහි නෙක වෙනස්කම් හටගනියි. ඒ වෙනස්කම් වලට බලපාන හේතුද සංකීර්ණය. එහෙත් අප හමුවේ ඇති පොදු සත්‍යය වනුයේ පෙම්වතුන් ලෙස සිටිනා සමයට වඩා එක වහලක් යට ගෙවන සමය යනු වෙනස් කලාපයන් බවට පත්වන අත්දැකීම අපට සමීප බවය. මේ ඇය පෙම්වතුන් දෙදෙන කෙමෙන් වෙනස් වන ආකාරය පවසන අයුරයි.

ඉන්පස්සෙ අපි හමුවෙන්න ගිවිසගත්
හුඟක් දවස් වලදිත් වහිද්දි
අද බැහැ එන්න
මට නම් බැහැ තෙමෙන්න
ඔයා කිවුවෙ එහෙම
ඉත්නි එදත් වැස්සනෙ
මම කිවුවෙ එහෙම
මේ එම වැසි සවාරියේ අවසන් ශේෂ පත්‍රයයි.
අද දවස තිස්සෙම
මහ කරදර වැස්ස
ඔයා කිවුවෙ එහෙම
ළඟින් තියපු උනු තේ එකත් නොබීම
ඔයා ටීවී එකට රවාන
වැස්සකට තියෙනවද මේ තරම් පාට
මට හිතුණේම එහෙම

කිවිඳියගේ සමත්කම මතුව පෙනෙනුයේ මෙහිලා මතු කරන උත්ප්‍රාසයෙහිය. ඇය සිය කවිය කුළුගන්වනුයේ වැස්සකට තියෙනවද මේ කරම් පාට යනුවෙනි. මේ යෙදුම මිනිස් ජීවිතයේ අසිරිමත්ම සම්බන්ධයක අවසන මතුවන අවපැහැ පසුබිම සීමිත වදන් හරහා විසල්ව සිත්තම් කිරීමකි. මේ අදහසම ඇය හරි පුදුමයි නේද නම් කවෙහිදී වෙනත් කෝණයකින් ඉදිරිපත් කරයි. මේ කවි දෙක එක පෙලට තබා කියවන විට කිවිඳිය තුළ වන ශක්‍යතා කැපී පෙනෙයි.
ගොලු හදවත යනු පරම්පරා ගණනක යොවුන් පෙමෙහි අසිරිමත් ගද්‍ය කාවයයකි. එය කෙතරම් තුරුණු සිත වලට බලපෑවේ ද යන්න සුගත් හට ‘සාධාරරණය“ ඉෂ්ට කරන්නට ජයලත් බඹා කෙටූ හැටි නමින් එහි දෙවන කොටස රචනා කිරීම තුළින් වටහා ගත හැකිය. මේ පළමු පෙමෙහි අසිරිය සහ එය අහිමි වුවද ඉන් ජනිත වන සියුම් සංවේදනයෙහි බලවත්කම ඉදිරිපත් කරන්නට කිවිඳිය භාවිතා කරනුයේ කෙටි කවකි.

නුඹ මගේ ජීවිතේමයි ඇදහූ මුල් පෙම
මල් පිපුණු හැටි තාම මතකයිනෙ හිත් තුළ
රිදෙවුවත් ඒ මතක අදත් හිත අද්දර
මගහැරුණු තැන් ඇයිද මේ තරම් සුන්දර

ආදරය සහ විවාහය ඇය සිය කවියෙක යළිත් මතුකරලන්නීය. ඒ කවියෙහිද ඇය තම අවසන් පදපේලි හරහා මතු කරනා කේන්ද්‍රීය කරුණ ලෙහෙසියෙන් මගහැර යා නොහැක්කකි. එය සමකාලීන දිවියෙහි දෛනික සිදුවීම් හරහා අපට යළි යළි සිහපත් කරන්නකි.

මට ඕනැ ආදරයක්
කෙලවරක් නොම වෙන
නැවතුමක් නැති හැඟීමක්
ඈට ඕනැ වුනේ කසාදයක්
ඈ කිවුවෙම
ආදරය කෙලවර කසාදයක්
ඔව් ඈ කිවුවෙ ඇත්තක්
කසාදෙ කියන්නෙම
ආදරේ කෙලවරක්

ඇගේ ආදර-විරහ චාරිකාවෙහි සෑම කවියකම ඇත්තේ සිත දවනා ගුණයකට වැඩියෙන් සිත නිවන, සනහන ගුණයකි. එය ඇගේ කවියෙහි විශේෂයෙන්ම දැකිය හැකිය. ඇගේ විරහව තුළින්ද මතුවනුයේ ආදරයේම නන් පැහැ විසිතුරමය.

ඇගේ කවි අතර කාන්තාවකගේ හැඟුම් විදාරණය වන කදිම කවක් තිබේ. ඒ කවියෙහිද ඇත්තේ විරහවමය. තමන් වරෙක පෙම් කල අය යළි හමුවූ පසුව පෙර සිටි පෙම්වතිය ඔහුගේ නව පෙම්වතිය හට පවසන්නැයි ඉඟි කරන අදහස යනු පිරිමි ලෝකයට බොහෝ විට වැසුණු කලාපයකි. පැරණි පෙම්වතිය මෙය පවසන්නේ කිසිදු ඉරිසියාවක් කෝපයක් මතු නොව දුකක් තරම නොපෙන්වමිනි.

මතක ඇතිව කියන්න ඈට
නුඹ ආදරේ කරන බව බරට
ගෑනු ආසයි අහන්නට
ආදරෙයි… ආදරෙයි හැමදාම

ලක්මාලි කිවිඳිය සිය කවි අතර වර්තමාන සමාජ අර්බුදයන් විමසන්නටද අවස්ථා කිහිපයක තැත් දරයි. එහෙත් ඒ අවස්ථාවල ඇගේ කවියෙහි මෙහි ඉහත කී කවි තුළ වන සියුම් කම තරමක් ගිලිහෙයි. අන්තරේ විරෝධතා පා ගමන වෙනුවෙන් ඇය ලියනා කවිය එබන්දකි. එහෙත් තවත් සැලකිලිමත් වන්නේ නම් ඇයට ඒ කවියෙහිද පෙර කී කවි වල ඇති දැනෙනසුළු බව අත්කරගත හැකි ය.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...