තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල්ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 150කට වැඩි ප්‍රමාණයක් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ඩිශාන් ගුණසේකර විසින් නීති විරෝධී ව අත්පත් කරගෙන විවිධ ව්‍යාපාරිකයන්ට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක කරයි.
ඒ සඳහා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කේ. එච්. ඒ. කැළුම් නිශාන්ත හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තනමල්විල අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ගේ සහයෝගය ලබා දී තිබේ. මෙම ඉඩම් ජාවාරම මෙහෙය වීම රුහුණු මහා කතරගම දේවාලයේ ඉඩම් අංශය භාර එච්. එම්. ආර්. සී. කේ. බණ්ඩාර විසින් සිදු කරයි. දැනට වසර කිහිපයක සිට ඉතා ම සංවිධානාත්මක ව සිදු කරන මෙම ජාවාරම මගින් රන්න ප්‍රදේශයේ සී. පී. දේශිකා සහ රත්නපුරයේ ප්‍රභාත් නම් ව්‍යාපාරිකයකු ඇතුළු කිහිපදෙනෙකුට වසර 35 ක බදු පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දී ඇති සියලු වනාන්තර ඉඩම් අලි – ඇතුන් ගේ වාසස්ථාන වෙයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම්වලට අමතර ව ගොවීන් කිහිපදෙනෙකු විසින් දීර්ඝ කාලයක් වගා කරන ලද ඉඩම් ද මේ ආකාරයෙන් කතරගම දේවාලයට අයත් ඉඩම් යැයි සඳහන් කරමින් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන ව්‍යාපාරිකයන්ට බදු දීම සිදු කර තිබේ. මේ හේතුව නිසා ඉඩම් අහිමි වූ සමහර ගොවි ජනතාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමට ද පෙළැඹී ඇත.
මීට අමතර ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ විසින් ද ඔවුන් ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මීට ප්‍රථම මෙම ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බෙදා දීම සිදු කර තිබේ. ඒ අනුව මෙම වනාන්තර ඉඩම් ජාවාරම ඉතා ම සංවිධානාත්මක ව වසර ගණනාවක සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම ද සහිත ව සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
රජයේ වනාන්තර ඉඩම් නීති විරෝධී ව බදු පදනම මත ලබා ගත් ව්‍යාපාරිකයන් විසින් වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කර, මාර්ග සකස් කර අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදි කර වගා බිම් ස්ථාපිත කර තිබේ. මීට අමතර ව ගොවීන්ගෙන් අත් පත් කර ගත් ඉඩම්වල වගා කර තිබුණු රටකජු, මුං. කවුපි, කුරක්කන්, බඩ ඉරිගු, දෙහි වැනි බෝග වර්ග ඩෝසර් යන්ත්‍ර මගින් ඉවත් කර වගා ළිං විනාශ කර වසර ගණනාවක් ගොවීන් භාවිත කළ ඉඩම් මෙම ව්‍යාපාරිකයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. වත්මන් හිමිකරුවන් විසින් මෙම ඉඩම්වල ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වීම ද සිදු කර ඇත.
මීට අමතර ව මෙම ප්‍රදේශයේ තවත් රජයේ වනාන්තර අක්කර 48 ක් සඳහා මේ වන විට ඔප්පු සකසමින් පවතී. එය තනමල්විල ප්‍රාදේශීය ලේකම් හා අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ගේ සහය මත සිදු කෙරෙමින් පවතී. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු විමසීමේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කළේ මෙම ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ඉඩම් අක්කර 80 ක් ප්‍රාදේශීය ලේකම් විසින් ද ඉතා ම සූක්ෂම ව අත්පත් කර ගෙන ඇති බව ය.
මේ සියල්ල වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇත. මීට අමතර ව නිලධාරීන් හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු කණ්ඩායම විසින් නීති විරෝධී ව කූට ලේඛණ සකස් කර ඉඩම් බදු දීම මගින් දණ්ඩ නීති සංග්‍රහය ද උල්ලංඝනය කර තිබේ.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් රජයේ වනාන්තර සඳහා ආරක්ෂාව ලබා දී තිබේ. පනතේ 20(1) උප වගන්තියේ රජයට අයත් වනාන්තරවල තහනම් ක්‍රියා දක්වා ඇත. ඒ අනුව ගස් කපා හෙළීම, වනාන්තර එළි කිරීම, තාවකාලික හෝ ස්ථිර ඉදිකිරීම් කිරීම හෝ ඒවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ.
එවන් තහනම් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව වනාන්තරයට සිදු කළ හානිය සම්බන්ධයෙන් අධිකරණය විසින් තක්සේරු කළ වන්දි මුදලක් දඩයක් ලෙස ගෙවීමට ද සිදු වේ.
පනතේ 20(2) උප වගන්තියට අනුව මෙම වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය.
පනතේ 49 වන වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීම වැළැක්වීම සඳහා සෑම වන නිලධාරියෙකු ම මැදිහත් වීම සිදු කළ යුතු ය. පනතේ 48(1) උප වගන්තියට අනුව රජයේ වනාන්තරයක සිදු කරන වැරදි වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වරදක් ලෙස දක්වා ඇත. ඒ අනුව මෙම නීති උල්ලංඝනය කිරීමට හෝ එම නීති ක්‍රියාත්මක කිරීමෙන් මඟ හැර සිටීමට කිසිදු වන සංරක්ෂණ නිලධාරියකුට හැකියාවක් නැත.
මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ද මෙම වනාන්තර විනාශ කිරීම නීති විරෝධී වේ. මෙම පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු ය.
මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මෙම පාරිසරික අණ පනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම වනාන්තර එළි කිරීම් සිදු කර තිබේ. මෙම ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවූ භූමි ප්‍රදේශ එළිකිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් කිසිදු අනුමැතියක් ලබා ගැනීමෙන් තොර ව නීති විරෝධී ව වනාන්තර එළි කිරීම සිදු කරන පුද්ගලයන්ට එරෙහි ව හා වනාන්තර ඉඩම් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් පුද්ගලයන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ දහ අට වන පරිච්ඡේදයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අයතා ලේඛන සකස් කිරීම කූට ලේඛන සැකැසීම ලෙස හැඳින්වේ. එහි 459 වන වගන්තියට අනුව කූට ලේඛණයක් ලෙස සැකසූ ලේඛණයක් සැබෑ ලේඛණයක් ලෙස භාවිතා කිරීම ද දඩුවම් ලැබිය යුතු වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 457 වන වගන්තියට අනුව කූට ලේඛණ සැකසීම හා කූට ලේඛණ සත්‍ය ලේඛණ ලෙස භාවිතා කිරීම සිදු කරන පුද්ගලයකු වසර 7 ක් දක්වා බණ්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකි ය. මේ අනුව තනමල්විල ප්‍රාදේශීය ලේකම් හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු කණ්ඩායම මේ වැරදි සියල්ලට ම වරදකරුවන් වේ.
මෙම නීති ක්‍රියාත්මක කර කඩිනමින් මෙම වනාන්තර විනාශය නතර කළ යුතු වන්නේ වැව්වල ජල පෝෂක වනාන්තර අහිමි කර සිදු කරන කෘෂිකර්මාන්තයේ හා ගොවීන් ගේ ජන දිවියේ බිඳ වැටීම පාලනය කිරීම සහ අලි – ඇතුන් ගේ වාසස්ථාන විනාශ කර සිදු කරන අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම පිටු දැකීම සඳහා ය. එපමණක් නොව මෙරට නීතියේ ආධිපත්‍යය හා ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මගින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වැළැක්වීමෙන් සෑම පුද්ගලයකුට ම නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට ද මෙම නීති කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හරින අවස්ථාවක දී දඩුවම් කළ හැකි ය. ඒ අනුව රජයට අයත් වනාන්තර බදු දීම හා එළි කිරීම් සිදු කිරීමේ දී ඊට එරෙහි ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් සිදු කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමකි. ඊට එරෙහිව එම නිලධාරීන්ට විරුද්ධ ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
වන විනාශයට අමතර ව ගොවි ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි ව ද පොලීසිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. මේ නිසා එම ජනතාව තමන් ජීවත් වූ භූමියේ ම අවතැන් ව සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පර්ච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අදාළ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවලට අනුව නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුට ම හිමි ය. එය අහිමි වන්නේ නම් මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ ව හිමි විය යුතු ය. නමුත් මෙම ජනතාව ගේ වගා බිම් කතරගම දේවාලයේ බස්නායක නිලමේ විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, ඔවුන් ගේ වගා බිම් විනාශ කර, වෙනත් පුද්ගලයන්ට එම ඉඩම් බදු දීමට එරෙහිව පැමිණිලි කළ ද තනමල්විල පොලීසිය හෝ ප්‍රාදේශීය ලේකම් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පොලීසිය විසින් පැමිණිලි භාර ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා මෙම ජනතාව ගේ මූලික අයිතිවාසිකම් සියල්ල ම මෙම නිලධාරීන් හා බස්නායක නිලමේ විසින් අහිමි කර ඇත.
එක්සත් ජාතීන් ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ සඳහන් වගන්ති බොහොමයක් ම මෙම ඉඩම් ජාවාරමේ දී උල්ලංඝනය කර ඇත. 1955 වසරේ දී එහි සාමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීමට ක්‍රියාත්මක විය යුතු ය. නමුත් එය එසේ කර නොමැත. මානව හිමිකම් ප්‍රකාශනයේ 1 වන වගන්තියට අනුව යම් රටක ජීවත්වන සියලූ ම මිනිසුන් ගේ ගරුත්වය හා අයිතිවාසිකම් සමාන වෙති. 6 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස සෑම අතින් ම සැලැකුම් ලැබීමට සෑම කෙනෙකුට ම අයිතියක් ඇත. 7 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන වෙති. 8 වන වගන්තියට අනුව රාජ්‍ය නීතිය මගින් යුක්තිය ඉටු කරවා ගැනීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයකට ම හිමි ය. 17 වන වගන්තියට අනුව සෑම පුද්ගලයකුට ම දේපල හිමිකම දැරීමේ අයිතිය ඇති අතර එම දේපල බලහත්කාරයෙන් අහිමි කිරීමට කිසිවකුට හැකියාව නැත. මෙම මානව අයිතිවාසිකම් සියල්ල මෙම ගොවි ජනතාවට අහිමි කර ඇත.
මේ සියල්ල නිවැරදි කිරීමට අප මැදිහත් විය යුතු වන්නේ ගොවි ජනතාවට හා වන සතුන්ට එරෙහි ව බලවතුන් හා නිලධාරීන් එක් ව සිදු කරන දැවැන්ත පීඩනයන් පිටුදැකීමට ය. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ගොඩ නැගීමෙන් සෑම පුරවැසියකුට ම නිදහසේ බලපෑමකින් තොර ව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහා ය.
- සජීව චාමිකර
(ලේඛකයා ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු සහ පරිසර ක්ෂේත්‍රයේ පර්යේෂකයෙකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ මෙරට වනජීවී සහ වන සම්පත් සංරක්ෂණය වෙනුවෙන් කැපවී කටයුතු කරන අයෙකි.)