තවත් පොලිස් ඝාතනයක් – මාධ්‍යයට ප්‍රකාශ දුන් තරුණයෙක් පසුපසත් පොලිසිය පන්නයි

Share post:

පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නැති බවත්, මෙම සිදුවීමට සාධාරණයක් ඉටුවෙතැයි කිසිදු විශ්වාසයක් නැති බවත් මියගිය පුද්ගලයාගේ වැඩිමහලු සහෝදරයා වන කුරුකුලසූරියගේ කුමාර ප්‍රියන්ත පෙරේරා අප වෙත පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සිය සහෝදරයාගේ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා විසින් ඔහුගේ ශරීරයේ තුවාල 38ක් ඇති බවත්, ඒ අතරින් තුවාල 8ක් බරපතළ ඒවා යැයි අවධාරණය කළ බවත් පවසන කුමාර ප්‍රියන්ත පෙරේරා, විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ ද සඳහන් කර ඇත්තේ සහෝදරයාගේ බෙල්ල පහළ පිටුපස කොටසට රාත්තල් 20ක පීඩනයකින් පහරවල් 7ක් හෝ 8ක් එල්ල කර ඇතැයි ද වෛද්‍යවරයා පැවසූ බවයි. එසේ ම සහෝදරයාගේ යටි පතුලේ හම ගැලවී ගොස් තිබූ බවත්, වළලුකර ළඟින් කකුල කැඩී ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළ බවත් එම දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධික දිනේෂ් පෙරේරා මෙසේ මියගොස් තිබුණේ පසුගිය ජනවාරි 14 දින ය. ඔහු පෙදරේරුවකු වශයෙන් කටයුතු කරන බවත්, මාලයක් කැඩීමේ චෝදනාවකට අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් කූඩුවේ රඳවා ඇති බවත් ඔහුගේ සහෝදරයා සඳහන් කළේය. පසුව පොලිසියේ ඉහළ කොටසට රැගෙන ගොස් පහර දී ඇතැයි ඔහු චෝදනා කරයි. පහරදීම් නිසා සහෝදරයා මියයෑමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් පානදුර රෝහලට මෘතශරීරය බාර දී ඇතැයි ද කුමාර ප්‍රියන්ත පෙරේරා වැඩිදුරටත් චෝදනා කර සිටී.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පානදුර දකුණ පොලිසිය බාර කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල පැවසුවේ මාලයක් කැඩීමෙන් පසු සැකකරු අල්ලාගත් ප්‍රදේශවාසීන් ඔහුට පහර දී පොලිසියට බාරදී ඇති බවයි. පොලිසියට බාරදීමෙන් පසු අසනීප තත්ත්වයක් ඇතැයි ඔහු පැවසීම නිසා මියගිය පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත්, එහිදී ඔහු මියගොස් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. මියගිය පුද්ගලයාගේ සිරුරු කොටස් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, එම වාර්තා ලැබීමෙන් පසු අධිකරණය මීට අදාළ තීන්දුව ලබාදෙනු ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මියගිය බුද්ධික දිනේෂ් පෙරේරා වෙනුවෙන් නීතිඥ සහාය ලබාදෙන නීතිඥ තරුෂි දිශාරා පවසන්නේ මාලයක් කැඩීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් ඔහුට පහරදී පානදුර දකුණ පොලිසියට බාරදී ඇති බවයි. නීතිඥවරිය අවධාරණය කරන්නේ මියගිය පුද්ගලයා පහරකෑවද, පයින් ඇවිදගෙන පොලිසියට ගිය බව ප්‍රදේශවාසීන් පැහැදිලිව සඳහන් කරන බවයි. එහෙත් ජනවාරි 15දා අලුයම පොලිසිය රෝහලට බාරදී ඇත්තේ බුද්ධිකගේ මෘත ශරීරය බව ද ඇය පවසයි.
මේ අතර ඊයේ (22) මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ගොනුකෙරිණි. ඒ, සිදුවීම පිළිබඳව පෞද්ගලික රූපවාහිනී ආයතනයකට ප්‍රකාශයක් කළ ප්‍රදේශයේ තරුණයකු සොයමින්, පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ ඥාතීන්ට සහ මිතුරන්ට දිගින් – දිගටම තර්ජනය කිරීම පිළිබඳවයි.

මෙසේ පොලිස් අත්අඩංගුවේදී හෝ පොලිසියේ මැදිහත්වීමෙන් සිදුවන ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද අවස්ථා ගණනාවකදී නිවේදන නිකුත් කර තිබිණි. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ද අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.

මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (ෑංඑර්-වමාසජස්ක නසකකසබටි) ඝාතනවල සියලු‍ ලක්ෂණ ඇති බවත්, සිය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණි.

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...