නීතියේ ආධිපත්‍යය කියන වචනය සම්බන්ධයෙන් සැක-සංකා ඇති තත්ත්වයක් තුළ, නීතියක් ජනතාව අතට ආවේය. එය වසර 20කට අධික කාලයක් තිස්සේ දරන ලද උත්සාහයක ප්‍රතිඵලයකි. එයින් ජනතාවට බලය ලැබිණි.
මේ කියන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙනි. දේශපාලනඥයන්ගේ සිට ඉහළ රාජ්‍ය නිලධාරීන් දක්වාත්, ආණ්ඩු පත්කිරීමට වියදම් කර පත්වන ආණ්ඩුවලින් රජයේ කොන්ත්‍රාත් ගෙන මුදල් හම්බ කළ සහ කිරීමට බලාගෙන සිටින ව්‍යාපාරිකයන්ගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ සිට කොන්ත්‍රාත් එකකින් කීයක් හෝ කොමිස් මුදලක් ලබාගැනීමට බලා සිටින පහළ රාජ්‍ය නිලධාරීනුත් මේ නීතියට බිය විය. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ද තමන්ගේ අතට ලැබුණු කඩුවෙන් සාර්ථක ඵල නෙළාගන්නට වූහ.
සාර්ථක අත්දැකීම්
ත්‍රීකුණාමලයේ වයස අවුරුදු 15 – 18 මට්ටමේ යෞවනයන් පිරිසක් ප්‍රදේශයේ මාර්ග සහ බෝක්කු කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එක දිගට තොරතුරු ලබාගත්තේ මෙම පනත භාවිතයෙනි. රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ මෙම පිරිස බියගැන්වීමේ, තර්ජනය කිරීමේ උත්සාහයන් රැසක නිරත වූහ. එහෙත් ඔවුන් ලබාගත් තොරතුරු, එනම් ප්‍රාදේශීය සභාවලට අයත් කුඩා මාර්ගවල බෝක්කු ඉදිකිරීමේ කොන්ත්‍රාත්වලදී මුදල් වැය කළ ආකාරයේ ගැටළු සම්බන්ධයෙන් දිගින්-දිගටම ජනතාව දැනුවත් කිරීම නිසා ඔවුන් වටා ආරක්ෂක පවුරක් විය. නිහඬ ජනතාව සාපේක්ෂ ව හඬ අවදි කරන්නට විය. තර්ජනය කළ පුද්ගලයෝ අඩිය පස්සට ගත්හ.
බණ්ඩාරවෙල උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාවට නිසි පරිදි වන්දි නොගෙවීම කාලයක් තිස්සේ ඇදුණු බරපතළ ගැටළුවක් විය. මාධ්‍ය දිනපතා ඒ පිළිබඳ වාර්තා කළද, විසඳූම් ලැබුණේ අවම වේගයකිනි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මීට අදාළ සියලු වාර්තා ලබාගෙන, තොරතුරුවලින් සන්නද්ධව ඔවුහු බලධාරීන් සමග කතාකරන්නට වූහ. විසඳූම් ලැබීම සීග්‍රයෙන් සිදුවන්නට පටන් ගත්තේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් පැවතුණේ කාලයක සිට ය. පරිසර ඇගයීම් වාර්තා මගින් ඉදිරිපත් කළ නිර්දේශවලට පිටින් කළ මෙම ඉදිකිරීම් නිසා කුරුණෑගල අවට ප්‍රදේශ ගණනාවක නිවාස 400කට අධික ප්‍රමාණයකට විවිධ හානි සිදු විය. ඒ අතරින් ඇතැම් හානි බරපතළ ඒවා වූ අතර, මධ්‍යම රාත්‍රියේ ස්ලැබ් කඩාවැටීම් පවා සිදු විය. මෙම හානිවලට අදාළ ගෙවීම් සිදු කළේ කෙසේද යන්න ගැටළුවක් විය. කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු වූ මෙම ගෙවීම් පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය හෝ අදාළ ඉදිකිරීම් සමාගම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි. ඒ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, පොලිස් අධිකාරිවරයාට පැමිණිලි රැසක් ඉදිරිපත් කළද, ඒව ද විභාග නොකෙරිණි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීම්වලට ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. නිලධාරීන් විසින් තොරතුරු ලබානොදීම අභියෝගයට ලක්කරමින් වින්දිත ජනතාව තොරතුරු කොමිසමට අභියාචනා කරන ලදි. එහිදී වගකිවයුත්තන් සහ වින්දිතයන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර, අවසානයේදී ජනතාවට සියලු තොරතුරු ලබාදීමට වගකිවයුත්තන්ට සිදු විය.
සාර්ථක ක්‍රමවේදයක්
මේ ආකාරයට තොරතුරු දැනගැනීමේ පනත මගින් ලද ජයග්‍රහණ එක දිගට පෙළගස්වන්නට හැකිය. ජනතාව තොරතුරු ඉල්ලන්නට වූ අතර, රජයේ ආයතනවලට තොරතුරු නොදී ඉන්නට නොහැකි විය. ඊට හේතු වූයේ තොරතුරු නිලධාරියා තොරතුරු නොදෙන්නේ නම්, ආයතන ප්‍රධානියා හෝ අංශ ප්‍රධානියා ආදී වශයෙන් නම් කළ නිලධාරියාට අභියාචනා කිරීමේ ක්‍රමවේදයත්, එතැනින් ද තමන්ට අවශ්‍ය තොරතුරු නොලැබෙන්නේ නම්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනා කොට එහිදී තොරතුරු ලබාගැනීමටත් ජනතාව දැනසිටීම ය.
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් ලබාදෙන නියෝගයකට එකඟ නොවන්නේ නම්, අභියාචනාධිකරණයට යෑමේ හැකියාව ද ජනතාව සතු ය. ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ එය වියදම් සහ යම් කාලයක් ගතවන ක්‍රියාවලියක් වුවද, සාපේක්ෂව සාධාරණ සහ සෑහීමකට පත්විය හැකි ක්‍රමවේදයක් මෙහි තිබේ.
ගැලවිල්ලක් නෑ
වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී චාමර සම්පත් ගොනුකළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට පාර්ලිමේන්තු බලධාරීන් දිගින් – දිගටම කටයුතු කළේ නැත. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා අභියාචනාධිකරණයට යෑමට සිදු විය. 2009 මැයි අවසාන යුද්ධය යනුවෙන් හඳූන්වන කාල සීමාවේදී හමුදාවට බාර වූ පිරිස්වල නාම ලේඛනයක් ඉල්ලා මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් ගොනු කළ තොරතුරු ඉල්ලීමට යුද හමුදාව පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොදැක්වූ අතර, එය අභියාචනා කිරීමෙන් පසු තොරතුරු කොමිසම ද හමුදාවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ තොරතුරු නොමැත යන කාර්ණය පිළිගන්නා ලදි. මෙය තොරතුරු ඉල්ලුම්කරු වශයෙන් නිරෝෂ් කුමාර් පිළිගත්තේ නැත. ඔහු නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගිය අතර, මේ වන විට යුද හමුදාවට අධිකරණයට කරුණු දක්වන ලෙෂ නියෝගයක් ලබාදී තිබේ.
මැතිවරණවලදී අත්හදා බලන ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ඇති බව දිගින් – දිගටම අවධාරණය කෙරෙන තත්ත්වයක් තුළ, ජනතාව මෙතරම් සක්‍රීය වූයේ කෙසේ ද?
ජනතාව තොරතුරුවල වටිනාකම පිළිබඳව සීග්‍රයෙන් දැනුවත් වෙමින් සිටී. එනම් තමන් සතු බලය ජනතාව අත්හදා බලමින් සිටී. ආණ්ඩු බලය අතැති මහත්වරුන් මෙන්ම ආණ්ඩු බලය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින මහත්වරුන් ද මේ තත්ත්වයට බය ය.
බලය අහිමි කිරීමේ උත්සාහය
එම නිසා ය, තොරතුරු දැනගැනීමේ පනත සංශෝධනය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ. 2016 නීතියක් බවට පත්වූ තොරතුරු දැනැගනීමේ අයිතිය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකමකි. 2018 වසරේදී මෙම පනතට සංශෝධන එකතු කිරීමට එවකට පැවති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව උත්සාහ දැරීය. එය අසාර්ථක වූයේ මේ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා ය.
දැන් නැවත වරක් එවැනි උත්සාහයක් ක්‍රියාත්මක වේ. එපමණක් නොවේ, ජනතාව සතු බලය කප්පාදු කිරීමේ දළ කෙටුම්පතක් පවා සැකසෙමින් තිබේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තීරණාත්මක ලිපියක්
ජනමාධ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වගකීම දරන අතිරේක ලේකම් (සංවර්ධන සහ සැලසුම්) වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී. දිසානායක විසින් යොමුකරන ලද ලිපියක පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ මොහොතේ තොරතුරු පනත සංශෝධනය කිරීමේ කිසිදු හදිසි අවශ්‍යතාවක් නැති බවයි. මෙම ලිපිය ජනවාරි 17 දින යොමුකර ඇත. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ පනත් කෙටුම්පත් පිළිබඳ වගකීම දරන අතිරේක ලේකම් ක්‍රිශාන්ති මීගහපොළ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වවලට පිටපත් සහිතව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ලිපිය යොමු කර තිබේ.
රාජ්‍ය ආයතනවල පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම සඳහා තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය මගින් සිදු කළ කාර්යභාරය සම්බන්ධයෙන් සහ කොමිසම ස්වාධීනව කටයුතු කිරීමේත්, එහි කාර්යභාරය නිවැරදිව ඉටුකිරීම සඳහා තවදුරටත් අවශ්‍ය සහාය දීමේ වැදගත්කම පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ලිපිය මගින් වගකිවයුතු පාර්ශ්වවලට පෙන්වා දී තිබේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ලිපිය යොමුකර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් සහ අධිකරණ අමාත්‍යංශයෙන් පනතේ සංශෝධන සිදුකිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීම්වලට ප්‍රතිචාර දක්වමිනි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ලෝකයේ හොඳ ම තුන්වැනි තොරතුරු නීතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි.
දෙවැනි වසර පහ
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට සාමාජිකයන් පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් ය. වසර 5ක් සඳහා එම පත්කිරීම සිදුකරනු ලබයි. කොමිසමේ මුල් වසර පහේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සහ කොමිසමට පත්කළ කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් තිබුණේ සාධනීය ප්‍රතිචාරයකි.
එහෙත් ඉන්පසු මේ වන විට ක්‍රියාත්මක වසර 5ක ධුර කාලය සඳහා කොමිසමේ සබාපතිවරයා වශයෙන් පත්කරන ලද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නට එම පාර්ශ්වවලින් දැඩි විරෝධයක් එල්ල විය. ඊට හේතු වූයේ ඔහු අධිකරණ සේවයේ සිටියදී එල්ල වූ චෝදනා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වූ ආකාරය ඇතුළු ඔහුගේ පක්ෂපාතී හැසිරීම පිළිබඳ කරුණු ය.
එම කොමිසම මගින් අධිකරණ කටයුතුවලට මැදිහත් වීම සහ එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පාර්ශ්ව 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබේ. එම පෙත්සම් විභාගයේදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය 15දා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ උපාලි අබේරත්න විසින් දරනු ලබන සියලු තනතුරුවලින් ඉවත් කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් මෙතෙක් අධිකරණය පාර්ශ්වයෙන් ඊට අදාළ නියෝගයක් ලබාදී නැත.
තවත් පාර්ශ්ව කිහිපයක් සඳහන් කරන්නේ අනෙක් චෝදනා එසේම තිබියදී උපාලි අබේරත්නගේ තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය සෑහීමකට පත්විය හැකි මට්ටමේ තිබෙන බවයි.
වගකීම
කෙසේ වෙතත් ජනතාව තමන් සතු බලය සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින තොරතුරු දැනගැනීමේ අයිතියට සීමා පැනවීමේ උත්සාහය දිගින් – දිගටම ක්‍රියාත්මක වෙමින් තිබේ. බලය අත්හදා බැලීම මෙන්ම තමන් සතු බලය ආරක්ෂා කරගැනීම සඳහා ද වගකිවයුත්තන් වෙත බලපෑම් කිරීමට ජනතාවට වගකීමක් තිබේ.