දරුවන්ගේ මනස ගොහොරුවක් බවට පත් කරනා සමාජ ක්‍රමයක වෙනස් මගත් යෝජනා කරන ‘චාරු චාරු අච්චාරු’

Share post:

ඇය තම නිර්මාණ දිවිය අරඹනුයේ සමූහ කාව්‍ය කෘතියකිනි. ඒ 2000 වසරේදීය. එහෙත් ඇය තමන්ගේම කාව්‍ය නිර්මාණ එකතුවක් පිණිස ඉන් වසර පහළොවක් ඉවසා අභ්‍යාසයෙහි යෙදෙන්නීය. යළි ඇය සිය සහෘද පාඨකයන් අතරට පිවිසෙන්නී තරු ඇස් රහස් නම් කවි එකතුවනි. ඒ 2015 වසරේදීය. මේ දිගු කාලය ඇය නිර්‍හව සිටියේ යයි යමෙකු හට සිතී යා හැකි වුවද ඒ කාලය යනු ඇය තම ජීවිතයේ සමාජ ක්‍රියාකාරිණියක ලෙස වන භූමිකාව වඩ වඩාත් දියුණු සහ තියුණු කරගන්නා අවදියයි. එහෙයින්ම ඇගේ නිහැඬියාව යනු අපතේ ගිය කාලයක් නොවේ. 2015 වසරින් පසු ඇය අප හමුවට එන්නී නවකතාවක් සමගින්. ඒ දේශද්‍රෝහියාගේ නිර්මල හෘද සාක්ෂිය සමගිනි. 2017 වසරේ ඒ නව කතාව එළි දක්වන ඇය යළි වසර පහක විරාමයකින් ජෙරුසලමේ දූවරුනි නම් නවකතාව එළි දක්වන්නීය.

ඇගේ නිර්මාණ දිවියෙහි සමෘද්ධිමත් අවධිය එලඹෙනුයේ නවකතාකාරියක ලෙස ඇය කරනා මැදිහත්වීමද සමගිනි. දිගු කාලීනව කාන්තාවන්, අවපීඩිත සමාජ ස්ථරයන් මෙන්ම වර්ගවාදී උන්මත්තකභාවය ඉතාම දරුණුවට පැවති සමයන්හී රටේ දමිළ ප්‍රජාව සමගින් ඇය පවත්වන සබඳතා මෙන්ම මනුෂ්‍යත්වය, මානව හිමිකම් වෙනුවෙන් මෙන්ම, වෙන්ව සැලකීමට එරෙහිව සහ ජාතිවාදී සහ ආගමික අන්තවාදී අගතීන්ට එරෙහිව ඇය විසින් කරනු ලබනා මැදිහත්වීම් අතරේ ලබනා පෝෂණය ඇයගේ කෘති වඩා සරු කරයි. නමුදු ඇගේ කෘති මේ වන තෙක්ම ප්‍රමාණවත් ලෙස විචාරක අවධානයට ලක්ව නැත.

ඇය තම පළමු යොවුන් නවකතාව එළි දක්වනුයේ මේ අතරය. ඒ චාරු චාරු අච්චාරු කෘතියයි. ඒ කතාව ප්‍රබන්ධය සහ සත්‍ය අත්දැකීම් අතරවන සීමාව ඉතා සියුම් වන නිර්මාණයකි. ඊට පදනම් වනුයේ ඇගේ සමාජ ක්‍රියාකාරී දිවියෙහි ප්‍රබල අත්දැකීමකි. කතෝලික ප්‍රජාවන් අතරේ ළමා සහ යෞවන පරම්පරාවන් වෙසෙසින්ම වඩා වැඩි අවධානයක් ඉල්වන, එමෙන්ම සමාජයේ අව වරප්‍රසාධිත සමාජ පංතියේ යෞවන පරම්පරාව මේ කෘතියෙහි ප්‍රධාන චරිතයන් බවට පත්ව තිබේ.

ඇය කතා කරනුයේ ළමා ක්‍රියාකාරී වීරයන් ගේ මැදිහත්වීම පිළිබඳවය. මේ ල ක්‍රි වී යනු ඇයද සිය දිවියෙහි බෙහෙවින් සක්‍රීයව මැදිහත්වන සමාජ ව්‍යාපාරයකි. සිය ආගමික සම්ප්‍රයන් තුළ කටයුතු කරමින් ඒ තුළ මානව ජීවිතයෙහි වෙසෙසින්ම පිහිට ලැබිය යුතු දරුවන් හට මග පෙන්වන්නට මැදිහත්වන පැවිදි පාර්ශවය සහ සම්බන්ධ වෙමින් ඇය ගේ මේ සැරිය එක් අතෙකින් ඇගේ ජීවිතය අත්දැකීමෙන් පුරවනා අතරම අනෙක් අතින් ඇය තුළ වන නිර්මාණකාරියට අවශ්‍ය පොහොරද සපයයි.

ඇගේ චාරු චාරු අච්චාරු කෘතිය ගැන ඇයම පවසනුයේ මෙවන් වදන් පෙලකි.
‘ළමා සහ නව යොවුන් දරුවන් වෙනුවෙන් මගේ හදවතේ සුවිශේෂී ඉඩක් වෙන්වන්නට මූලිකවම බලපෑවේ එකී ල ක්‍රි වී මෙහෙවර ය. ළමා සහ නව යොවුන් සාහිත්‍යය ඇසුරු කිරීම ජීවන හුරුවක් වූයේත් ඒ තුළින්ම ය. මගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂ්‍යක් ලෙස මා ල ක්‍රි වී ය දකින්නේ එබැවිනි. එතුළින් මා ලද පන්නරය සමග මෙම පරිකල්පනාත්මක නව යොවුන් ප්‍රබන්ධය ඔබ වෙත ගෙන එමි. මෙය අන්තර්ජාලය සමාජ මාධ්‍ය නවීන සන්නිවේදන පහසුකම් සුලබ නොවූ කාලයක කතාවකි. එ දවස දිවයින පුරා සංචාරය කරමින් අප කළ වැඩ කටයුතු බොහොමයක් අද ඉතිරිව ඇත්තේ අප ම.තයන් තුළ පමණි.’

අද අපේ ළමා සහ යෞවන පරම්පරාවන් සමාජ ස්ථරයන්හී වෙනස නොතකා තාක්ෂණ සුළියෙහි හසුව ගසා යන්නන් බවට පත්ව තිබේ. මේ එක් අතකින් වැඩිහිටි සමාජය විස්සෝපයට පත් කරනු ලබනා එසේම ඔවුන්ට විසඳුම් සොයාගත නොහැකි අවුලක්ව පවතිනා කලාපයකි. ඒ අතරම අප අමතක කරන තවත් කරුණක් වනුයේ මේ බාලයන් එලෙස තාක්ෂණයේ වහලුන් බවට පත්වීමට පෙරලා වගකිව යුත්තේද වැඩිහිටි සමාජයම බවයි. ඊට වැඩියෙන්ම බලපා ඇත්තේ ළමා සහ යෞවන පරම්පරාවන් සාමූහික ජීවිතයෙන් වෙන් කර හුදෙකලා ඉලක්ක හඹා යන දඩයම්කරුවන් බවට පත් කිරීමේ ඛේදයයි. අනෙක් අතින් ළමයා හට අවස්ථාව සහ මග පෙන්වීම ලැබෙන මොහොතේ ඔවුන් ඉහල නිර්මාණශීලීත්වයක් සහ මැදිහත්වීමක් දක්වන බව වැඩිහිටියෝ අමතක කරති. ඔවුන්‍ගේ එකම අරමුණ වනුයේ තමන් විසින් සිය දායකත්වයෙන් නැතිනම් නිහඬව ඉවසා සිටීම මගින් නිර්මාණය වන්නට ඉඩ හළ විෂකුරු සමාජයකින් දරුවා ගලවා ගැනීමෙහි අරමුණින් දරුවා සමාජයෙන් වෙන් කර කේවල චරිතයක් ලෙස අගතියෙන් ආරක්ෂිත ජීවියෙකු ලෙස සිය ඇල්ම බැල්මෙහි රඳවා ගැනීමටය. එහි පලය වී ඇත්තේ අනෙකා වෙත සහකම්පනය අහිමි ආත්මාර්ථකාමී පරපුරක් බිහි කිරීම උදෙසා පසුබිම සැකසීමය. අධ්‍යාපනයද හුදු තරගකාරී අනෙකා නොතකන ජීවියෙකු වෙනුවෙන් බර තබන අවධියක, ගුරු භූමිකාව මෙන්ම වැඩිහිටි භූමිකාවද අර්බුදයට ගිය රටක දරුවන්ගේ ඇස යොමුවන්නේම වෙරළින් එතෙරටය. තමන්ට කර ඇති අහිමි කිරීම් මෙන්ම වැඩිහිටි සමාජයේ දුර්වලත්වයද දකිනා ඊළඟ පරම්පරාව වඩ වඩ යොමු වන්නේ සිය පරිසරයෙන් වෙන්ව කේවල සමෘද්ධිය සොයා යන්නටය.

චාරු චාරු අච්චාරු යනු එවන් සමාජයකට විකල්ප පැවැත්මක් යෝජනා කරන්නකි. එසේම එය හුදු කල්පිතයක් නොව ප්‍රායෝගික මැදිහත්වීමක සඵලදායීත්වය සනාථ කරන්නකි. වැඩිහිටි ලෝකයේ දයාවත් මැදිහත්වීමත්, තමන්ගේ ලෝකය විසිතුරු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නට වෙර දරනා ළමා සහ යෞවනයන් පිරිසකගේ නිර්මාණශීලී කැපවීමත් පිලිබඳ ජීවමාන සාක්ෂි සපයන මේ කෘතිය අපේ දරුවන්ට හරවත් සමාජ ජීවිතයක් මෙන්ම පුද්ගල පෞරුෂ වර්ධනයට ඇවැසි මග පෙනවීමද සපයයි. එමගින් යෝජනා කරනුයේ කේවල වීරයකු තැනීම නොව සාමූහික පැවැත්මක් වෙනුවෙන් වෙහෙසෙන්නට සමත් සැබෑ මානවයකු බිහි කිරීම ය.

තරුරසි මෙහිදී යෞවනයන්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්වන ආකෘතියක් තුළ චමත්කාරජනක කතාවක් නිර්මාණය කරයි. ඒ කතාව යනු අභියෝග, දුෂ්කරතා, පීඩනය, වැටීම් සහ නැගිටීම් මැද ජීවිතය සහ නිර්මාණශීලීත්වය ‍සොයා යන පිරිසකගේ කතාවයි. එහිදී අපට හමුවන්නේ කේවල ඉලක්ක හඹා ගොස් ජය ලබන්නට තැත් දරනා යෞවන පරම්පරාවක් නොව අනෙකා වෙත බැඳුනු, අනෙකාද සමගින් නැගිටින්නට වෙර දරන පිරිසකි.
‘අපි හම්බෙගමුවෙ යද්දි දරුවො දෙමවුපියො හැමෝම පාර දිගේ වී වේලනවා. අපි පාරෙම ඉඳන් එයාලා එක්ක කතා කරලා ආවා. ඒ අයත් කිවුවෙ හැනැදෑ වෙන්න කලින් ආපහු යාගන්න කියලයි. අලි ගහලා ජීවිත නැතිවෙන සිද්දි නිසා ඒ මිනිස්සු හැන්දෑ වෙද්දි එළියට යන්නෙම නැතිලු. මිනිස්සු ජීවිතය වෙනුවෙන් ‍ගෙන යන අරගලය මොන තරම් දුෂ්කරද කියන එක මේ ගමන පුරාම මම හිතුවා.’
(පිටුව 101)

විමුත් නම් යෞවනයා විසින් එවනු ලබනා ලිපියක් ආකාරයෙන් එන පරිච්ඡේදයේ මේ කොටස අපේ ම රටෙහි කොළඹින් හෝරා කිහිපයක දිවියෙහි කටුකබව මෙන්ම යෞවන දැක්ම පන්නරය ලබනා ආකාරයද විදහයි. ඒ යෞවනයා අත් දකිනුයේ පාර අද්දර වන්දනා නඩ වලට හොඬ පානා කැමරාව හුරු අලි නොවේ. ඒ වෙනුවට ඔහු අලි මිනිස් ගැටුම මෙන්ම ජීවිතයෙහි අභියෝගාත්මක බවද අත් දකියි. පිනි බානවාට බියෙන් දරුවන්ට සඳ දසුන පවා අහිමි කරන්නට තරම් සැලකිලිමත් වැඩිහිටි ලෝකයක තරූගේ යෞවන වීරයෝ ජීවිතයෙහි සැබෑ පැහැය දකිති.

චාරු චාරු අච්චාරු කෘතිය යනු එක් අතකින් ළමා සහ යෞවන පරම්පරාවනට වෙනස් පැවැත්මක අසිරිය මෙන්ම මනුෂ්‍යත්වය උදෙසා වැඩ කිරීමෙහි සන්තුෂ්ටියද මතු කර දක්වන්නකි. එහෙයින්ම මෙය යෞවන මෙන්ම වැඩිහිට පරම්පරාවේද කියවීමට ලක් වීම වැදගත්ය. වෙසෙසින්ම එය වැඩිහිටි ලෝකයේ අවධානයට ලක්වීම අත්‍යවශ්‍ය වන්නේ වැඩිහිටියන් ‘බාලයන්’ වන වේගය ඉතා ඉහල බැවිනි.

චාරු චාරු අච්චාරු යනු අපේ දරුවන්ගේ මනස ගොහොරුවක් බවට පත් කරනා සමාජ ක්‍රමයක වෙනස් මගත් යෝජනා කරන්නකි. එහෙයින් එය කියවීමට කාලය වෙන් කිරීම යනු නාස්තියක් නොවේ.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...