අලුත් කවියක් හමුවීම
මෙකල ප්‍රතිලාභ ලෙස ලැබෙන දේවල් අතර අලුත් කවි ප්‍රමුඛ තලයේ වෙයි.එය භාවමය හා බුද්ධිමය ප්‍රාග්ධනය සරුවීම පිළිබඳ සන්තුෂ්ටිය දනවන්නකි.ගයාන් මුණසිංහ එසේ හමුවූ අලුත් කවියෙකි.කවියකි.ගයාන් අලුත් කවියකු ලෙස හමුවන්නේ “ගෙදරින් අහලා කියන්නම්” මැයෙන් යුත් ඔහුගේ කවි පොත නිසාය.කිසියම් අභ්‍යාස සමයකින් පසුව මෙය ජනගත වී ඇති බව කවි කියවන විට හැඟෙයි.
කවිය අභ්‍යාස කරන සමයෙහි කවිය සම්බන්ධයෙන් පවතින කථිකාව නිරායසයෙන් කවියෙහි හැඩරුව තීන්දු කිරීම කෙරෙහි බලපැවැත්වීම නොවැළැක්විය හැකිය.
කවිය මානව දයාවෙහි කැටපතක් ලෙස දැකීම ප්‍රමුඛ කරගත් අවස්ථාවල කවියෙහි සංරචනය පිළිබඳ අවධානය අඩුවී භාවාතිශය තැනකට කවිය තල්ලු විය හැකිය.ගයාන් මුණසිංහගේ කවි උපදින්නේ ද මානවදයාව පිළිබඳ හැඟීම් දහරාවෙන් බව පෙනේ.විවිධ ව්‍යසයනවලට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන විවිධ සමාජ තීරුවලට අයත් මිනිසුන්ගේ ජීවන අත්දැකීම් ඇසුරේ උපන් කවි මෙහි වෙයි.ඇතැම් අවස්ථාවල අත්දැකීම ඉක්මවා ගිය පරිකල්පනයක් වෙත කවිය ඔසවා තැබීමට ඔහු සමත්වෙයි.
“පොටෝවක් නෑ,වැඩක් නැති වෙයි “මැයෙන් යුත් කවිය උපුටමි.
සොඳුරු ඉරිමා උදෙත් ගිනියම්
මද්දහන රැස් හිත වෙලන්
දුරක හිඳ ළංවීම හින්දැති
හිතේ ඊයම් බරු ගොඩක්
එකට එක මග උදේ යන්නට
දෑත් බැම්මෙන් හිත් බැඳන්
බලන් හිටි හැටි ඔයා මතකය
ඔසරි නෙරියට රැළි නෙලන්
නොරිස්සුම්කම් නිසා වෙන්නැති
හිත් අහසෙ හෙණ විදුලි රැස්
දූගෙ හිත් බිම හලමු අදවත්
කළු වලාවෙන් අරන් පැන්
පළමු දින ඉස්කෝලෙ බිම මත
පිපෙයි වතු සුදු සුමුදු මල්
ඉඳිති මව්පියො තුටින් ළඟ ළඟ
නටුයි කොළ සේ පණයි මල්වල
මී අඹ නොවෙමු රස වෙන
තුඩින් පාරා සොයන අප ගැන
දූගෙ පොත් පිටු නොදෙමු පෙරළා
අකුරු බොඳ කර කුරුටු අඳිනට
රාමු වෙමු මේ දවසෙවත් අපි
දූගෙ හීනෙට යහනෙ සුව ලෙස
හිනා මූණක් පැළඳ නැත්නම්
ෆෝටෝවත් නෑ,වැඩක් නැති වෙයි
දියණිය පාසලට බාරදීමට පෙරදිනයෙහි පියාගේ හැඟීම් දැනවීමේ චින්තාවලිය ජීවන විත්තියෙහි බහුවිධ පැතිවලට කිරණ විහිදුවයි. විස්තර කථනයේ සීමාවෙන් ඔබ්බට ගොස් කාව්‍යොචිත පරිසරයක් ගොඩනැගීමට කවියා උත්සුක වෙයි.
‘හිතේ ඊයම් බරු, දෑත් බැම්මෙන්, හිත් අහසෙ හෙණ විදුලි රැස්,කළුවලාවෙන් අරන් පැන් යනාදී කාව්‍යොක්ති කවියාගේ දිශානතිය ගැන යහපත් බලාපොරොත්තු ඇති කරයි.
කාව්‍යාවසානය ප්‍රබලය. වෙහෙසකාරී නින්දකින් දුවගේ සොඳුරු උදානයට බාධාවක් බව කථකයා සිතයි. එනිසා ප්‍රමෝදය පතයි.
කවියා බස හැසිරවීමෙහිදී බහුවිධ අර්ථජනනයට ඉඩ සැලසීම යහපත් ලක්ෂණයකි.
තාත්තට තෙල් නැවක් කවියද කවියාගේ කුසලතාව සහ ජීවන දැක්ම කැටපත් කරයි.කවිය යනු ජීවිතයෙහි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන මිනිසුන්ගේ වේදනා පිටාර ගලන භාෂා වියනක් බවට පත් කිරීම කවිය වරදවා වටහා ගැනීමක් බවට මේ කවියා වටහාගෙන තිබේ.
ඔයා හිටියේ ගොඩක්
දුර ඈත බලාගෙන
රතු වෙච්ච ඇස්වලින්
එළුවාද පාවාඩ
සුදුම සුදු කිරිපාට
තෙල් ගේන බවුසරෙට
රතුම රතු රතු පාට
(කවිය මැදින් උපුටා ගත් කොටසකි)
ඉන්ධන පිරවුම්හලක කලබලකාරී පරිසරයෙහි මිනිස් බැඳීම් වර්ණ ගන්වනසුලු භාෂා චිත්‍රයක් ඇඳීමට කවියා සමත් වෙයි.
මෙබඳු අපූරු කාව්‍යොචිත අවස්ථා සමහර කවිවල හමුවේ.මේ ඇතැම් කවිවල පරිසමාප්තිය පිළිබඳ කවියා තව උනන්දු විය යුතු බව හැඟුණ ද කාව්‍යොචිත යෙදුම් අප සිත්ගනී.
මේ එබඳු තැන් කිහිපයකි.
“කොළාම්පුරය මව් ඇතින්න
ගිල බිම හෙලු දිවුල් ගෙඩිය”
“මසක් ඉබි යතුරු ලූ
ආයාස හීන ගොඩ”
“කැටි ගැසුණු අහසෙ මගෙ
එක ම එක රිදී ඉර”
“උරච්චි කර හදවත
කතරේ උලා මෘදු කොට”
ගත්වහර මෙන්ම කටවහර ද කවියෙහි ව්‍යාවහාර භාෂාව බවට පත්වීම නිරායාසයෙන් සිදුවන්නකට වඩා කවියා සවිඥානකව සිදුවන්නකි.ඖචිත්‍ය ගුණය යනුවෙන් පෙරදිග කාව්‍ය සම්ප්‍රදායෙහි ඇඟවෙන අදහස සිහිපත් වෙයි.
“ස්පා එකෙන් ඇහුණා” කවිය සම්බාහන ආයතනයක සේවය කරන්නියකගේ ආත්ම භාෂණයක ස්වරූපයෙන් ලියැවී ඇත.විවිධ වෘත්තීය ශ්‍රේණිවල කතුන්ගේ ආත්ම විලාප පිළිබඳ ලියැවෙන කවියක්ද පොතකට ඇතුළත් විය යුතුය යන හැඟීම නූතන කවියෙහි සදොස් ලක්ෂණයකි.කැරොකේ,ඇඟලුම් කම්හල් ආදී අත්දැකීම් ඇසුරු කරගෙන ලියැවෙන එබඳු කවි ඇත.මේ කවිවල එදිනෙදා විස්තරවලින් ඔබ්බට ගිය යමක් කියවා ගැනීම අසීරුය.මෙබඳු කවි ලිවීමේදී අත්දැකීමට වඩා එයින් උපන් කාව්‍යමය ගොඩනැගීම වැදගත් වෙයි.පරිකල්පනය යනු මෙයයි.
ගයාන් මුණසිංහගේ කවිය මීට වඩා ගැඹුරු කියවීමක් ඉල්ලයි.මේ එම කවි ඇසුරෙන් ඉපදුණු සිතුවිලි මාත්‍රයක් සටහන් කිරීමකි.