සෝමපාල ලීලානන්ද අතීතාවලෝකන සිනමා දැක්ම “යෞවන උයනේ”

Share post:

2024 පෙබරවාරි 21 සවස 5.00 ට සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශි ශාලාවේදී…

ප්‍රවීණ මාධ්‍යවේදීයෙක් , තිර රචකයෙක් , දෙබස් රචකයෙක් සේම ගීත රචකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල ලීලානන්ද යන් ඇගැයීමේ උපහාර උලෙළක් ලෙසින් මෙය සංවිධානය කර ඇත .එදින ඔහුගේ දායකත්වය ලද චිත්‍රපට ත්‍රිත්වයක් නොමිලේ ප්‍රදර්ශනය කිරීමටද සංවිධායකවරුන් සැලසුම් කර ඇත .

ඒ අනුව,

නිල්ල සොයා -උදැසන 10.30
සදහටම ඔබ මගේ – සවස 2.30
චණ්ඩි පුතා – සවස 6.30
ප්‍රදර්ශනය වන අතර , එතුමාට උපහාර පිදීම එදින සවස 5.00 සිදු කිරීමට නියමිතව ඇත්තේ එකල ප්‍රවිණ සිනමා තරු රැසක් හා විශේෂ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේය.

මේ ඔහු පිළිබඳව කෙටි සටහනක් !
70-80-90 දශකයන්හී දේශීය සිංහල සිනමාව ඔපවත් කල පහත සඳහන් ගීත ඔබට අමතකව නැතැයි සිතමි.

“අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා”
” බඹරා වගේ මට තවම විසේ”
” තනියේ ආවාරේ ඇසුනා ගී රාවේ”
” පාට පොදක් තිලකලා නළල් තලාවේ”
” මල් වයසේ මධු සිහිනේ”
“පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ”
“වාසනාව දොර ඇරලා බලනවා”
“කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා”
“පෙම්වතියන්නේ පෙම්වතියන්නෙ”
“බිළිදුනේ දරුවනේ පැලෙත් රජ මැදුරේ”
“මේ අහල්ලා අහල්ලා මගේ තාලේ”
“නිල්ල නඟන ස්වර්ණ කිකිනි රාවේ”
“සිටු මැදුරේ හෝ පුංචි පැලේ “
“යෞවන උයනේ “
එසේම එදා සිංහල චිත්‍රපට ප්‍රචාරණය සඳහා යෙදු රසවත් වදන් ද ඔබට මතක ඇතැයි සිතමි.
“සප්ත කන්‍යා කඳුයායේ රාව ප්‍රතිරාව නඟන හීන කුලයේ පෙම්වතියකගේ කඳුළු කතාව”( මධු සිහින)
“ලොව කිසිම ගැහැණියකට මෙවන් විපතක් නොවේවා”( මිහිදුම් සළු)
“සටන අයුක්තියට එරෙහිව නම්, ජය එතැන වනු ඇත”( සුර දූතියෝ)
“සටන් බිම මලින් සැරසු මල් කුමරියකගේ කතාව”(සසර චේතනා )
“ඔබේ නුවන් යුග නිවී ගියා යැයි නොහඬන් අයියන්ඩි, දිවි ඇති තුරා මා ඔබේ දෙනෙත වෙන්නම්”(චංචල රේඛා)

මේ සෑම නිර්මාණශීලි වදනකම අයිති කරුවා වෙනින් කවුරුත් නොවේ, සෝමපාල ලීලානන්ද යි.

1944 ජූලි 14 වන දින උපන් ඔහු පාසැල් අධ්‍යාපනයෙන් පසුව දවස පුවත් පතින් මාධ්‍යවේදියකු ලෙස වෘත්තිය දිවියට පිවිස පසුකාලීනව ගීත රචකයෙක් , චිත්‍රපට දෙබස් හා තිරනාටක රචකයෙක් ,ගුවන් විදුලි පිටපත් රචකයෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු දක්වා පුළුල් පරාසයකට ඔහුගේ සහජ හැකියාවන් පතුරවාලීය.

ඔහු ලියූ ප්‍රථම ගීතය ද චිත්‍රපටයක් සඳහාම විය . ඒ ” විශ්මය ” චිත්‍රපටය සඳහායි. සරත් දසනායකගේ කුළුදුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ද එයම විය. “හදට හදක සුවඳ නැතේ” ගීතය ගායනා කළේ ඩබ්ලිව්.ඩී අමරදේව ශූරින් සමඟ නන්දා මාලිනි යයි . එය පටිගත කලේ 1968 අගෝස්තු 12 වන දිනයි. නමුත් චිත්‍රපටය තිරගත වූයේ 1978 වසර තුලයි.

සෝමපාල ලීලානන්දයන් ගී ලියා තිරගතවූ ප්‍රථම චිත්‍රපටය වනුයේ ” සදහටම ඔබ මගේ ” චිත්‍රපටය යි. එහිදීත් සරත් දසනායකයන්ගේ මියුරු නාද රටාවන්ට අනුව ” පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ” සහ” ” වාසනාව දොර ඇරලා බලනවා” යන ගී යුගල බිහිවිය.
ඉන් අනතුරුව ” කස්තුරි සුවඳ”,” නිල්ල සොයා”,” චන්ඩි පුතා”,”මල් කැකුළු”,”චංචල රේකා”,”මිහිදුම් සිහින”,”ඈතින් ඈතට”,”මධු සිහින”,”සත්‍යා”,” ත්‍රි ශුලේ”, “යළි හමුවෙන්නයි”,”අහිංසා””පාරාදීසේ”,”ආත්මා”,”රජ දරුවෝ”,” සුසීමා” ඇතුලු චිත්‍රපට රැසකට ඔහු ගී නිර්මාණයෙන් දායකව ඇත.

” චන්ඩි පුතා” (1977 ) , “150 මුල්ලේරියාව”(1994), “ආත්මා”(1994) ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිරගත කරනු ලැබු චිත්‍රපට ත්‍රිත්වයයි.” යක්කල රොසලින් ” ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත .

එසේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කල චිත්‍රපට 16කම තිර රචනය සෝමපාල ලීලානන්දයන්ගේය. ඒ සෑම චිත්‍රපටයක් සඳහාම ගීත ප්‍රබන්ධයෙන්ද ඔහු දායකව ඇත.

අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ විජය කුමාරතුංගයන් සමඟින් චන්ද්‍රලේකා පෙරේරා ගායනා කල ” සැරයටියෙන් අපි යනෙන තුරා” ගීතයේ පද රචනයද මොහුගේමය.

සෝමපාලයන් හරිම රසවත් හදක් ඇති පුද්ගලයෙකි. ඔහු පිළිබඳව ලිපි කිහිපයක්ම මින් පෙර පුවත්පත් සඳහා මා ලියා ඇත්තෙමි.
මේ සටහන තැබීමට මා අදහස් කල මොහොතේ ඔහු දුරකථනයෙන් ඇමතුකල නොයෙක් දේ කතාකිරීමෙන් පසුව මගෙන් එක් ඉල්ලීමක් කලා ” ඇන්ටන් මල්ලී , මම මැරුණ දවසක උඹ පත්තරේට ලියපං” පෙම් රස වෑහෙන ගීත ලියන්නට යළි ඔබ ඉපදේවා ” කියලා. මම මැරෙන්න බය නැති මිනිහෙක්. මම දන්නවා , මම නැවත කොහේ හෝ ලෝකෙක උපදින්නේ ඒ රට නලවන්නයි කියලා “

ඔහු එසේ කීවත් මම නම් කියන්නේ, ” පෙම් රස වෑහෙන ගීත ලියන්නට තව තව හැකිවේවා “කියලයි.
ඔහු චන්ඩි පුතා චිත්‍රපටයට ලියු රසවත් දෙබසකින් මේ සටහන නිම කරමි.

” සැන්බැන්ඩික් එකේ කොල්ලෙක් නංගි
දෙමාපියන්ගේ නැති බැරිකම් හින්දා ගුබ්බෑයමට වැටුනට කමක් නෑ
ලයිෆ් එක ඔහොමයි
ෂේක්ස්පියර් කියලා තියෙනවා
මේ ලෝකේ ඉස්ටේජ් එකක් වගේ කියලා
උඹලා අපි ඒකේ ඇක්ටස්ලා
අපි අපේ පාට් එක ඉවර වුනාම
සීන් එකෙන් විසිවෙලා යන්න ඕනෑ.”

80 වන වියේ පසුවන මේ ආදරණීය රසවතාට අපි අපේ සුබ පැතුම් එක් කරමු .
මේ දිනවල මදක් අසනීපව සිටින ඔහුට එය සතුටක්ම වනු ඇත .

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු (fb)

සේන සමරසිංහට එයාගේම ටීම් එකක් හිටියා.

මට හිතෙන්නේ සේන සමරසිංහ වඩා පිළිවෙලකට කළමණාකරණය කර ගත්ත එකම ෆිල්ම් එක ‘චංචල රේඛා‘ කියලා. දිගින් දිගටම කෙරූ ප්‍රේම කතා අච්චුවට ඉස්පාසුවක් තියලා. අය්ය නගෝ සහෝදර ආදරයක්, පවුලේ කතාවක් විදියට ගේන සේන අභියෝගයක් බාර ගන්නවා. ප්‍රේක්ෂකයාට හුරු පුරුදු ජනප්‍රිය වට්ටෝරුගත සිනමාවට වඩා සේන ගේ සිනමා රෙසිපි එක අමුතු යි. මාකටින් සෙන්ස් එක තියුණු යි. අදට වුණත් ‘චංචල රේඛා‘ බලනකොට හිතෙන්නේ යකෝ මේක ඒ කාලේ ලාංකාවේ සමාජයට උගුර කට වේලන්න දැනෙන්න ඇති නේද කියලා. සේනට එයාගේම ටීම් එකක් හිටියා. ඒ තමයි ගාමිණි, සෝමපාල ලීලානන්ද, ඩැනී ඩබ් පතිරණ, සරත් දසනායක, මිල්ටන් වගේ අය. වීරයා දුෂ්ඨයා ප්‍රතිපක්ෂය සේන හදන්නේ අහෝසි වෙමින් යන රදළත්වය සහ ප්‍රවේණිදාසත්වය පසුබිමින් තියාගෙන. සුපුරුදු සිනමා සටන වෙනුවට බුලී කරලා උපහාසයක් හාස්‍යයක් මතු කරන්න තමයි සේන උත්සහ කරන්නේ. ඒත් ප්‍රධාන තේමාවට, චරිතවලට එයින් පීඩාවක් නොදී සෞන්දර්යාත්මක බරක් දීලා ඉමෝෂනලි හසුරුවනවා. ඒකට තමයි සංගීතය යි ගීතය යි සේන පාවිච්චි කරන්නේ. සරත් දසනායක සේන ගේ සිනමා ගීවලට තරම් සත්සර අතගාලා නැතුව ඇති වෙන කිසිම නිර්මාණයකට. ‘චංචල රේඛා‘ හි ‘කීන දම් මිටක්‘, ‘මී අඹ අත්තේ‘ ගීත දෙක අහපු නැති මේ පොළොවේ පය තියන් ඉන්න මිනිස්සු අඩු යි. මිල්ටන් ගේ නීලා ගේ සිනිද්ධ හඬ සේන මවන අය්යා නගෝ සෙනෙහසට, ගමට පරිසරයට නතු වෙනවා. ඒ ගීත පරිස්සමට මතක සැමරුමට සිනමා පොතක් ඇතුළේ හංගපු අක්කපාන කොළයක් වගේ හැමදාටම මුල් අදිනවා. ඒ මුල් නිසා සිනමා තිර ‘චංචල රේඛා‘ මැවෙනවා.

  • Shiranjith Nishantha Gammudhuwatta

සේන සමරසිංහට එයාගේම ටීම් එකක් හිටියා. ඒ තමයි ගාමිණි, සෝමපාල ලීලානන්ද, ඩැනී ඩබ් පතිරණ, සරත් දසනායක, මිල්ටන් වගේ අය

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...