සුදත් මහදිවුල්වැවගේ – MY RED COMRADE

680

සුදත් මහදිවුල්වැව සිනමාකරුවා දශක එකහමාරකට පමණ පස්සෙ සිය නිර්මාණයක් සමග ලාංකික ප්‍රේක්ෂකයා හමුවට පැමිණිලා. සතුට දනවන සිද්ධියක් .

මට මේ නිර්මාණය පසුගිය දිනක නරඹන්නට ලැබුණා. මම අපේක්ෂා කළාට වඩා තරමක වෙනස් අන්තර්ගතයක් සහිත නිර්මාණයක් මට දකින්නට ලැබුණේ…මම අපේක්ෂා කළේ , ලංකාවේ ප්‍රධාන වාම ධාරාව සමග විවේචනාත්මකව එනමුත් සාධනීය ආකාරයෙන් සම්මුඛ වන, මැදිහත් වෙන, විකල්ප ‘වාම’ දර්ශනයක් ගැන තියුණු සංවාදයක් මතුකරන වැඩක්. නමුත් මට හැඟෙන ආකාරයට සුදත් අරන් තියෙන්නේ වාම ( ජනප්‍රිය ) දේශපාලනයේ සුජාතත්වය මූලික වශයෙන් පිළිගන්නා අතරේම ඊට අහිමි වුනු miss වුනු දෙයක් ගැන ටිකක් රොමැන්‍තික ප්‍රවේශයකින් මතුකරන්න උත්සාහ කරන චිත්‍රපටයක් . ඒකත් ඉතින් යම් ආකර්ෂණීය වැඩක් ලෙස යහපත් සමාජයක් ගැන හිතන ඉතා පුලුල් ප්‍රේක්ෂකයාට බාරගන්න පුළුවන් වේවි කියා හිතෙනවා .

මෙහි එන චරිත දෙක වෙනස් පාරවල් වල යනවා වගේ පෙනුනත් , ඔවුන් එකම අරමුණට දෙවිධියකින් උර දෙන බවයි චිත්‍රපටය කියන්නෙ . ඒ නිසා ඇත්තටම ඔවුන් අතර විවාදාත්මක සංවාදයක් වෙනුවට තම තමන්ගේ ලෝක අනෙකා සමග බෙදා ගන්නා දෙබස් ආකෘතියක් පේන්නෙ. නමුත් , ප්‍රේක්ෂකයා දිගටම ග්‍රහණය කර තබා ගැනීමේ ශක්තිය චිත්‍රපටයට තියෙනවා.

මුළු සමාජයම විකල්ප සමාජ -දේශපාලන මාවතක් ඉල්ලා සිටින මොහොතක අපි ඉන්න නිසාත් බහුතර ප්‍රේක්ෂක ජනතාවගේ අවධානයට මේ නිර්මාණය යොමුවේවි, – එසේ වේවා ! කියා ප්‍රාර්ථනා කරනවා . විශේෂයෙන් රටේ අනාගතය උදෙසා ගැඹුරු විකල්ප මාවතක් ගැන හිතන දියුණු ප්‍රේක්ෂකයන් ට මේ චිත්‍රපටය වම පිළිබඳ වඩා බරපතළ ප්‍රශ්න ගැන සංවාද මතුකරගැනීමට කිසියම් නිමිත්තක් කරගන්න හොඳ ඉඩක් තියෙනවා .
සුදත් මහදිවුල්වැව සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් !

සුනිල් විජේසිරිවර්ධන