ඕනෙ ම පුද්ගලයෙක් එක් ක්ෂේත්‍රයකට වැඩිපුර දස්කම් දක්වනකොට, ඔහුව හෝ ඇයව ඒ කුලකයේ ම රාමුගත කර, ඒ මතම අර්ථ දක්වන්න යන එක ඒ පුද්ගලයාගේ වෙනත් හැකියාවන්ට කරන එක්තරා අගෞරවයක් කියලයි මට හිතෙන්නෙ. මායා ඇන්ජලෝව අපි දන්නෙ සහ ඉතිහාසයෙ වරනගලා තියෙන්නෙ, කළුජාතික මිනිසුන්ගෙ වරප්‍රසාද වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරිනියක් – කිවිඳියක් ලෙසට යි. එතනින් එහාට ඈ සතු හැකියා හෝ ඇගේ කවිවලින් මතුවන කෙනාව දකින්න තරම් අපි අපේ හිත් විවෘත කරගෙන නැහැ. ඇය කවියක් ලිව්වත්, අපිට පේන්නෙ අපි දකින අර සීමිත කෝණෙන්.
ලක්ෂාන්ත ලියූ මේ පොතෙන් වෙන වැදගත්ම දේ තමයි, මායා ඇන්ජලෝව අර කී ‘සටන්කාරිනි/ ක්‍රියාකාරිනි’ කියන රාමුවෙන් මුදවලා අරගෙන, පොදුවේ කාන්තාවක ලෙස, ඇයව කියවන්නට ඉඩ ලබාදීම. ඇයව වෙනත් විවිධ කෝණවලිනුත් කියවාගැනීම. ඇන්ජලෝ කියන්නෙ ඇන්ජලෝ මිස, අපි හිතාගන්න කැමති අපි රාමුකරලා තියාගන්න කැමති, පොදු සමාජය වරනගන්න කැමති විදියේ අයෙකු නොවන බව දැනගන්න ලැබීම. ඇයව කාන්තාවක ලෙස කියවාගැනීම අවශ්‍යයි, සෙසු කෝණවලින් ඇයව දකින්න කලින්.
“ගැහැනු හදක් ගැහෙන හඬක්”, ඇන්ජලෝ ගැන මේතාක් සිංහලෙන් ලියැවුණු සෑහෙන complete package එකක් කියලා මට හිතෙන්නෙ. ඇන්ජලෝගේ කවි පොත් පහක තෝරාගත් කවි ඇතුළත්. මේ පොත කියවන්න, ඇන්ජලෝ ගැන දැනගෙන ඉන්න වුවමනා නැහැ. මොකද කිසිවක්ම නොදැන කියවන කෙනෙක්ට වුණත්, මේ පොතේ පෙරවදන සහ දීර්ඝ මුල් ලිපිය ඇති. සමහර පොත්වල පෙරවදන් – හැඳින්වීම් අපිට මතකයි. මේකත් එහෙමයි. ලක්ෂාන්ත පිළිවෙළට පොතේ පඩි ටික නගින්න සලස්වලයි කවි ටික ගේන්නෙ.
මේ පොතේ කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් සියල්ලෙන් අපි දැනන් හිටි ඇන්ජලෝව සහ සැබෑ ඇන්ජලෝ අතර තිබූ රික්තකය පුරවනවා.
- පෙරවදන
- ඇගේ ජීවිතය සහ අත්දැකීම් විවරණය
- පරිවර්තිත කවි
- කවි විමසුම්
ලක්ෂාන්ත, මේ පොතේ දි ආකාර තුනකින් පෙනී ඉන්නවා. එක, ඔහු පරිවර්තකයෙක් ලෙස කවි පෙරළනවා. දෙක, ඔහු විචාරකයෙක් හෝ ශාස්ත්‍රීය රචකයෙක් ලෙස මායාගේ කවි විශ්ලේෂණය කරනවා. තුන, සාහිත්‍යකරුවෙකුගේ භූමිකාව ද ඉටුකරනවා. මේ ආකාර තුනට අමතරව, ඔහු කවියෙකුත් වීම අන්‍යාකාරයෙන් ඒ සියල්ලට ම බලපා තිබෙනවා. ඒනිසා මේ පොතෙන් අපිට ඇන්ජලෝ තරමට ම ලක්ෂාන්තවත් විදාරණය වෙනවායි කියන්න පුළුවන්.
මං හිතනවා පොතේ මේ පිදුම ම ඒබව සනාථ කරවාවි කියලා.
“එක ගැහැනු හදක් එය ගැහෙන හඬක්
ලොව පැමිණ දුරක් හිත තබත බරක්
යට ගැසුණු සඳක් බඳු කඳුළු පොදක්
දැක මෙගත කවක් තුළ අඳුරු ලොවක්
ලැබ රිදෙන වරම් දිවි සැලෙන තරම්
නව තරඟ නගද්දෙන් බිඳැර යදම්
ලොව ගැහැනුකමට මේ කුසුම පුදම්!”
ලක්ෂාන්තගෙ අතට එන ඕනෙම වචනයක් සුමට වෙලා නැමිලා ලස්සන වෙලයි අතින් පිටවෙන්නෙ. කවිය එතෙනවා ලතාවක් වගේ. ඒකට හේතුව ඔහු වචනවලට ආදරය කරනවා, වචන හොයන් යනවා, හොඳ ම වචනය තෝරනවා, වැඩිපුර භාවිතයේ නැති නමුත් සිංහලවල කෝමල වචන ඔහු රැස්කරගන්නවා. ඔහු විසල් පරාසයක පොත් කියවලා උකහාගත් වචන, සූක්ෂම රන්කරුවෙක් ස්වර්ණාභරණයක් තනන්නා සේ හරිම තැනට පාවිච්චි කරනවා. මේ වචනවලට සමාන බවක් පෙනුණු වචන මට මෑතක දි හමුවුණේ ප්‍රගීතිකා ජයසේකරගේ කවි පොතෙන්. භාෂාව කියන්නෙ ලක්ෂාන්තට ආභරණයක් වගේ ම ලක්ෂාන්ත කියන්නෙ සාහිත්‍යයටත් ආභරණයක් කියලා හිතෙන්නෙ මේ වගේ පොත් කියවනකොට.
මම ඇන්ජලෝගෙ කවි සංග්‍රයක් ලෙස කියවා තිබුණේ, “Just give me a cool drink of water before I die’ පොත පමණයි. ඒ පොතේ කවිත් මෙහි තිබෙනවා. ඔහු පරිවර්තනය කරන කවි, එක්ක ඉංග්‍රීසි කවිය අරගෙන විමසුවොත් පෙනේවි ඔහු හරිම තේරුම අරගන්නත්, කවි බසට අවනත වෙන්නත්, පොදුවේ පොතටත් දැරූ වෙහෙස.
පොත කියවද්දි ඇන්ජලෝ විසූ යුගයට සාපේක්ෂව බොහොම නූතන සහ දියුණු අදහස් දැරූ කාන්තාවක් බව ඔබට වැටහේවි. ඒ ඇතැම් අදහස් ගැන අපි පවා පුදුම වෙන තරම්.
මා කැමති ම කවියක කොටසක් මේ. “ගැහැනු හද – ගැහෙන හඬ” ඔබට මට අපට පොදු බව මේ කව කියා දේවි.
“තිබිය යුතුය ගැහැනියකට
සෑහීමකට පත්ව තබා යා හැකි යොවුන් වියක්,
මහලු වියේ විස්තර කරන්නට කැමති
ඉස්ම සහිත අතීතයක්,
ඉස්කුරුප්පු නියනක්,
රැහැන් රහිත සිදුරු විදිනයක් සහ කළු පාට ලේස් තනපටකුත්
සෑමවිට ම තමාව හිනස්සන මිත්‍රත්වයක් වගේ ම ඕනැ ම විටෙක තමන්ට
හඬන්නට උරහිස දෙන මිත්‍රත්වයක්…”
(184 පිට)