පරිපූර්ණ නොම්මර හතර පිතිකරුවා

Share post:

ක්‍රිකට් ක්‍රීඩාවේ එක්තරා පිතිකරුවන් කොටසක් ඉන්නවා.
ඔවුන් හැඳින්වීමට සුදුසුම නම නිහඬ විනාශකාරයෝ (Silent destroyers).
මේ පිතිකරුවන් බොහෝ සංසුන්.
ප්‍රථම පන්දුවේ ඉඳලම කලබලයෙන්, විශාල පහරවල් කරා යන්න උත්සාහ කරන්නේ නැහැ.
එම නිසාම ඔවුන් පිටියේ ඉඳිද්දී ප්‍රතිවාදීන්ට එතරම් දැනෙන්නෙත් නැහැ.
කෙටි ලකුණු ලබා ගනිමින්, ඉඩක් ලැබුණු මොහොතක පහරකට යමින් ඔවුන් ක්‍රීඩා කරනවා.
බොහෝ වෙලාවට ඔවුන් දැවී යද්දි ඔවුන්ගේ පුද්ගලික ලකුණු ගණන විශාල එකක් වෙන්නෙත් නැහැ.
නමුත් කණ්ඩායමේ ලකුණු පුවරුව හාත්පසින්ම වෙනස් වෙලා.
මෙවැනි පිතිකරුවො ක්‍රීඩා කරද්දී කණ්ඩායමේ ලකුණු පුවරුව නිතරම කැරකෙනවා.
මේ කුලකයේ පිතිකරුවන්, අනෙක් අන්තයේ පිතිකරුවාගෙන් ලකුණු ලබා ගැනීමට දක්ෂයි.
ප්‍රතිවාදීන්ට නොදැනෙන ලෙසින් පීඩනය යළි හැරවීමට තරම් සූක්ෂමයි.
ඉතා කලාතුරකින් දක්නට ලැබෙන එවැනි පිතිකරුවෙකුට හොඳම උදාහරණය මිස්බා උල් හක්.
පකිස්තානය දණින් වැටී සිටිනා මොහොතක පිටියට පැමිණෙන ඔහු නැවත දැවී යද්දී, කණ්ඩායම් ලකුණු පුවරුව හාත්පසින්ම වෙනස්.
මිස්බා ට කලබලයක් නැහැ. හයේ හතරේ පහර වල් පසුපස එලවන්නේත් නැහැ.
කෙටි ලකුණු වලින් සෑහීමකට පත් වෙනවා.
ඒ සියල්ලටම වඩා ඔහු අනෙක් අන්තයේ පිතිකරුවාගෙන් ද ලකුණු ලබා ගන්නවා.
අවසානයේ ප්‍රතිවාදීන්ට නොදැනෙන්න පකිස්තාන ඉනිම ගොඩනැගෙනවා.
උපුල් තරංගත් මෙවැනි පිතිකරුවෙක්.
ජාත්‍යන්තර විස්තර විචාරකයන් ඔහුට නිහඬ ඝාතකයා (Silent Killer) කිව්වෙත් ඒකයි.
ඔහු ඉතා හොඳ සබදතා ගොඩනංවන්නෙක්.
මීට කෙටි කලකට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට මැද පෙළ පිතිකරුවන්ගේ ගැටලුවක් තිබුණා.
මුල් පෙළ කඩුලු දෙකක් දැවී ගිය මොහොතක, මැද පෙළ පිතිකරුවන් හිර වුණා.
ඔවුන්ට තිබූ විශාලතම ගැටලුව වුණේ කෙටි ලකුණු ලබා ගැනීමට නොහැකි වීම.
පන්දු 300 ක ක්‍රීඩාව තුල ශ්‍රී ලංකාව පන්දුව 150කට වඩා ලකුණු ලබා නොගත් පන්දු පැවැති තරග තිබුණා.
එක ලකුණ, දෙක ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වුණා.
ඔවුන්ගේ කඩුලු අතර දිව යාමත්, පන්දු ස්ථානගත කිරීමත් තිබුණේ දුර්වල තැනක.
අවසානයේ පීඩනය නිසා මැද පෙළ පිතිකරුවන් ද දැවී ගියා.
ශ්‍රී ලංකාව තරග පැරදුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් නොම්මර හතර පිතිකරු සදීර සමරවික්‍රම අවසන් ඉනිම් 15 තුල දී ලකුණු 529ක් ලබා ගෙන තියෙනවා.
ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 44.8ක්. ප්‍රහාරාත්මක වේගය 102.72 යි.
සදීර සමරවික්‍රම ගේ පිතිකරණයේ ඇති විශේෂත්වය මේ සාර්ථක දත්ත වාර්තාව විතරක් නොවෙයි.
ඔහුගේ අවසන් ඉනිම් බලද්දී ඔහුගෙන් ද මේ නිහඬ විනාශකාරයෙකුගේ ලක්ෂණ පෙනෙනවා.
සදීර ලකුණු ගනිද්දී දැනෙන්නේ නැහැ.
ඔහු ඉතාම දක්ෂ ලෙසින් කෙටි ලකුණු ලබා ගන්නවා.
අනෙක් අන්තයේ පිතිකරුවාගෙන් ද ලකුණු ලබා ගැනීමට ඔහු දක්ෂයි.
පීඩන අවස්තාවක, ප්‍රතිවාදීන්ටත් නොදැනෙන්න ලකුණු පුවරුව කරකැවීමට ඔහු සූක්ෂමයි.
කාලයක් පුරා ශ්‍රී ලංකා මැද පෙළට තිබූ කෙටි ලකුණු ලබා ගැනීමට අසමත් වීමේ ගැටලුව සදීරගෙන් බොහෝ දුරට විසඳී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ ස්ථාවරත්වය, තාක්ෂණය සහ දරාගැනීම දිහා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබූ, නූතන නොම්මර හතර පිතිකරුවාගේ රික්තකය ද ඔහුගෙන් සම්පූර්ණ වී තිබෙන බව පෙනෙනවා.
සදීර කණ්ඩායමට ආවේ පිතිකරුවෙක් ලෙසම නොවෙයි.
කඩුලු රකින්නාගේ හිස්තැන පිරවීමටයි.
ලැබුණු අවස්තා කිහිපයෙන් ස්ථාවර වී, ස්ථිර පිතිකරණ ස්ථානයක් දිනා ගැනීමට ඔහුට හැකි වුණා.
කුමන හෝ ගැටලුවක් නිසා ඇතැම් කඩුලු රකින්නන් කණ්ඩායමෙන් ඉවත් නොවුනා නම්, සදීර තවමත් මෙරට පළමු පෙළ පිතිකරුවෙක් පමණයි.
නමුත් අද ඔහු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ටත් වඩා හොඳින් ක්‍රීඩා කරනවා.
මෙරට පළමු පෙළ ක්‍රීඩාවේ සැඟවුණු තවත් සදීර ලා ඇති. අවශ්‍ය වන්නේ එවන් ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ට අවස්තාවන් ලබා දීම පමණයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...