කෙහෙළිය !

Share post:

අලව්ව – යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී 2005 අප්‍රේල් 27දා සිදුවූ දුම්රිය – බස් අනතුරෙන් බස් රථයේ සිටි මගීන් 41 දෙනෙක් මියගියහ. මගීන් 35 දෙනෙක් බරපතළ තුවාල ලදහ.

රිය අනතුරකදී රියදුරුට නඩු පවරන මූලික චෝදනාව වන්නේ නොසැලකිලිමත් රිය ධාවනයයි. එහෙත් මෙහිදී රියදුරුට සහ ඔහුගේ සහායකයාට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනුකරන ලදි. රියදුරුගේ පාර්ශ්වය, එනම් විත්ති පාර්ශ්වය නියෝජනය කළ නීතිඥ නලින් එදිරිසිංහ කුරුණෑගල මහාධිකරණයට පෙන්වා දුන්නේ රියදුරුට මගීන් මරාදැමීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවයි. පැමිණිලි පාර්ශ්වය නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චේතිය ගුණසේකර අවධාරණය කළේ මගීන්ගේ ජීවිත විනාශ කිරීමේ චේතනාවක් නොතිබුණද, දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථය දුම්රිය මාර්ගයට නොදමන ලෙස ජනතාව කෑගසද්දී එසේ කිරීම බරපතළ කරුණක් බවයි.

තමන් සිදු කරන ක්‍රියාව මගින් බරපතළ ජීවිත විනාශයක් සිදු විය හැකි බව ඔහු දැන සිටියේ යැයි රජයේ නීතිඥවරයා තර්ක කළේය. එම තර්කය පිළිගනිමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන්ට ලබාදිය හැකි උපරිම දඬුවම ලෙස මරණ දඬුවම නියම කළේය.

සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ජනතාවට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සහ එම ඖෂධ රට තුළ තිබියදී ලියාපදිංචියකින් තොරව මෙරටට ගෙන්වීමට අවසර ලබාදීම (Wave of Registration – WOR) යන චෝදනා යටතේ පොදු දේපොළ පනතට අනුව කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇමතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට පෙන්වා දුන්නේ හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් කුප්පි 56,000ක් තිබියදීත්, සැකකරුවන් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැයකරමින් ලියාපදිංචියකින් තොරව එන්නත් ගෙන්වා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඇමතිවරයා පොදු දේපොළ පනත යටතේ වරදක් කර ඇති බව දිගින්-දිගටම ඉස්මතු කෙරුණද, මෙම නඩුවට පාර්ශ්වයක් ලෙස සහභාගී වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරන ලද්දේ මෙහි චෝදනාව පොදු දේපොළ පනතට පමණක් සීමා කළ නොහැකි බවයි. ඖෂධ නොවන යමක් රෝගියෙකුගේ හෝ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු කිරීමෙන් අනිවාර්ය හානියක් වන බව ඔහු දැනසිටියේ යැයි යාන්ගල්මෝදර නඩු තීන්දුව උපුටා දක්වමින් නීතිඥවරයා සඳහන් කළේය.

එය පිළිගත් මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මෙම ඖෂධ භාවිතය නිසා ජීවිත හානි වූ හෝ වෙනත් අතුරු ආබාධ ඇති වූ පුද්ගලයන් පිළිබඳ කඩිනම් විමර්ශනයක් කර, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය

ඒ, එක් කොටසකි.

අනෙක් කොටස වන්නේ සුප්‍රකට වෝටර්ස් ඒජ් නඩුවේදී දැඩි කතාබහට ලක්වූ මහජන විශ්වාසය පිළිබඳ සිද්ධාන්තයයි. එම නඩු තීන්දුවේදී අවධාරණය කරන ලද්දේ මහජන විශ්වාසය බිඳවැටීම යනු නීතියේ පාලනය බිඳවැටීම බවයි. එනම්, මෙහිදී විධායකයට ජනතාව වෙනුවෙන් ඇති වගකීම සහ වගවීම කඩකර තිබේ. ජනතාවට තවදුරටත් විශ්වාසයකින් ඖෂධ භාවිත කළ හැකිද?

නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් පැහැදිලිව සඳහන් කරන්නේ මෙම ප්‍රතිදේහ ඖෂධවල ඇල්වතුර ඇති බවකි. එහෙත් මෙතෙක් මූලික රසායනාගාර වාර්තාවක් හැර, සම්පූර්ණ රස පරීක්ෂක වාර්තාවක් එම ඖෂධ සම්බන්ධයෙන් කර නැත. අදාළ ඖෂධ භාවිතය නිසා සෞඛ්‍යයට හානිවූ පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමුකර නැත. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුමගේ කරුණු දැක්වීමෙන් පසු එම කරුණු පිළිබඳව සෙවීමට දැන් අධිකරණ නියෝගයක් තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණද, දැනට ඖෂධ ගැටලුව ඉදිරියට පවත්වාගෙන යන ආකාරය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මහාධිකරණයේදී නඩුවක් ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසයි. ඖෂධ 182ක් වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එක් ඖෂධයක් පමණක් ගැටළු සහගත වීම, ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වගකිව යුත්තේ විෂය බාර ඇමතිවරයා නොව අමාත්‍යංශ ලේකම්වරයා වීම වැනි කරුණු ඊට අදාළ ව ඉදිරිපත් වනු ඇතැයි යන්න ඔවුන්ගේ අදහසයි.

එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පැවති හදිසි මිලදී ගැනීම් පිළිබඳ වගකීම හදිසියේ ම අමාත්‍යංශ ලේකම්වරයා යටතට පවරා ගත්තේ ඇයි යන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු කරුණු සහිතව ඉදිරිපත් කළ යුතුය.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ තම සේවාදායකයා කෙහෙළිය රඹුක්වැල්ලගේ නම සඳහන් කිරීමට උත්සාහ දැරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය වළක්වා ඇති බවයි. එසේ ම කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට මුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ නිවසට යෑම ද අනෙකුත් සැකකරුවන්ගේ දෝෂදර්ශනයට හේතු වී තිබේ.

දිගින්-දිගටම ප්‍රමිතියෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කරන බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරන ලද්දේ 2015 වසරේදී ය. ප්‍රමිතියෙන් බාල ඖෂධ වර්ග 24ක් රජයේ රෝහල්වල භාවිත කෙරෙන බව එවකට එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මාධ්‍ය වෙත පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ මෙරටට ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සහ ප්‍රමිතියෙන් අඩු ඖෂධ හඳුනාගැනීමේ ක්‍රියාවලිය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි. ප්‍රතිජීවක ඖෂධ,  දියවැඩියා රෝගය සඳහා ලබාදෙන ඖෂධ, කුඩා ළමුන් සඳහා වන ඖෂධ මෙන්ම ඇදුම හා හතිය වැනි රෝගවලට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ මෙම ප්‍රමිතියෙන් බාල ඖෂධ අතර ඇති බව එවකට මාධ්‍ය වාර්තා කළේය.

මෙම කාලයේදී ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිත කිරීම නිසා ඇති වූ ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ප්‍රධාන රෝහල්වලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයට ද ලැබී ඇත. එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති සහ වෛද්‍යවරුන් අවධාරණය කළේ රටට ගෙන්වන සියලු ඖෂධ පරීක්ෂාවට විධිමත් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය බවයි. වසර කීපයකට පෙර එවැනි කතාබහක් ඇති වුවද, ජනතාවට දිගටම සිදු වූයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගිලින්නට ය.

ඖෂධ ගැන කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යයට පළකළ සාරගර්භ අදහසක් මෙසේ පෙළගැස්විය යුතු ම ය.

‘අපේ ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මුලින්ම පිළිගන්න ඕනෙ. හැබැයි මට එක කාරණයක් පැහැදිලිව කියන්න පුළුවන්, කවුරුවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ. අපි අසීරු තත්ත්වයකට ගන්න වෙනම බෙහෙත් වෙන්කරලා තියෙනවා. අපේ බෙහෙත්වලින් සියයට හැත්තෑ පහක් විතර ඉන්දියාවෙන් ගේන ඒවා තියෙන්නෙ. එතකොට ඉන්දියානු ණයෙන් ඊළඟ මාස හයට අපිට එහෙන් ගන්න පුළුවන් බෙහෙත් ටික මම ලිස්ට් කළා. ඒකට ඩොලර් මිලියන අසූවක් විතර ඕනෙ. ඒකෙ ගැටලුවක් නෑ. මම ඉන්දීය මහ කොමසාරිස්තුමා එක්කත් කතා කළා. විශේෂම හේතුවක් තමයි ඉන්දියාව දෙන ඩොලර් බිලියනයට අදාළව පැහැදිලිවම තියෙන කාරණයක් තමයි, බෙහෙත්වලට ප්‍රමුඛත්වය දෙන එක. මුදල් ඇමැතිතුමත්, ජනාධිපතිතුමත් ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා ලිස්ට් එක හැදුවා.’

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පවසන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ බවයි.

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබාදුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි.’

  • ශාලික විමලසේන

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...