‘කට වහගෙන’ ජනඝාතක බර අවි සමග ‘නිදහස’ සමරන ‘සාගිනි සිංහයා’ !

Share post:

හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද (පෙබරවාරි 04) පැවැත්විණි.. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලැබුවේ වෙනදාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයකයි. එම සංකීර්ණ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට කලින් පසුගිය නිදහස් උළෙලවල් 75 සේම මෙවරත් නිදහස් උළෙල යැයි ඔවුන් විසින් පැවැත්වූ උත්සවය, පෙනුමෙන් සහ අර්ථයෙන් එතරම් වෙනසක් නොවීය.

සෑම ‘උළෙලකදීම’ මෙන් ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ‘උත්තමාචාර පෙළපාලි’ ඔවුන්ගේ ප්‍රධානම අංගයකි. එම පෙළපාලිවල හැමදාම මෙන්, අපේම මිනිසුන් ඝාතනය කළ ‘බර අවි’ ආඩම්බරයෙන් රැගෙන යනු ලබයි. අපේම මිනිසුන් ඝාතනය කළ ‘බර අවි’ රැගෙන යන විට බොහෝ මිනිසුන් හුනස්නෙන් නැගිට ආචාර කරනු පෙනෙයි. ඒ අපේම මිනිසුන් ඝාතනය කිරීමට යොදා ගත් අවි ආයුද බව මොහොතකටවත් ඔවුන්ට මතක් නොවෙයි. ඒ මාරක බරඅවි ලංකාවේ සියලුම මාධ්‍ය නාලිකා විසින් සිය කැමරාවලට හසු කරගනිමින්, ‘ආඩම්බර දේශනා’ සමග ඔබේත්, මගේත් ආලින්දයට පැමිණෙයි. අපිට මහා අඩම්බරයක් දැනෙයි! අපේම ජනයා ඝාතනයට ලක් කළ මාරක අවි පිළිබද අපිටම ආඩම්බරයක් දැනීම ම මනුස්සයෙක් ට කළ හැකි දෙයක්ද? නමුන් අදටත් සිදුවන්නේ එයයි. යුද්ධයෙන් වසර 15ක් සම්පූර්ණ වන මේ වසරේ, පීඩිත දෙමළ ජනයා, සත්‍ය සහ යුක්තිය ඉල්ලා කෑ ගසන මොහොතක ඒ පිළිබද නෑසුනා සේ සිටින රාජ්‍ය, ඔවුන්ගේ සමීපතමයින් ඝාතනය කළ අවි ආයුධත් රැගෙන ‘ජාතික නිදහස’ සමරයි. එහි ඇති ම්ලේච්ඡත්වය බොහෝ දෙනෙක් අදටත් ප්‍රශ්න නොකරනු ඇත.

විශේෂයෙන්ම වෙනදාට වැඩියෙන් මෙම වසරේ ඔවුන් විසින් ‘නිදහස සමරන’ විට ලංකාවේ සමාජයේ බරපතල මෙන්ම ආන්දෝලනාත්මක තත්ත්වයන් 2ක් සාකච්ඡා වෙමින් පවතී. පළමු තත්ත්වය නම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මර්දනය කිරීමට මග පාදන, විසම්මුතික අදහස්වලට කිසිදු ඉඩක් නොතබන තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාවක් ඇති, කුරිරු පනතක් වන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත‘ නමින් නම් කර ඇති පනත, ජනඝාතක අවි ආයුද මෙන් මෙවර ‘නිදහස’ සමරන පෙළපාලියත් සමගම ගමන් ගනී. දෙවැන්න වන්නේ, වසර 43ක් තිස්සේ දූපතේ බොහෝ මිනිසුන් පීඩාවට පත්කළ කුරිරු පනතක් වන ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විදිවිධාන පනත’ වෙනුවට ගෙන එනවා යැයි කියමින් මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටින ‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතයි’. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා භයානක ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබද වෙනම ම සාකච්ඡා කිරීමට ඉඩතබමින්, පසුගිය පෙබරවාවාරි 2දා සිට නීතියක් බවට පත් කර ඇති ආන්දෝලනාත්මක ‘මාර්ගගත සුරක්ෂිත තාවය පිළිබද පනත’ පිළිබදව සාකච්ඡා කරමු.

දැන් අද(පෙබරවාරි 4) ‘නිදහස්’ දිනයේදී මෙම පනත භෞතිකවම පෙළපාලියේ ගමන් ගන්නේ නැති වුවත් පනතේ ඇදුරු, බියකරු සෙවනැලි පෙළපාලිවල යන මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේද, එම පෙළපාලිවලට ගෞරවය සදහා සිය අසුන්වලින් නෑගී සිටින සියලු දෙනාද, නිවසේ ආලින්දයේ සිට ඒ දෙස බලා සිටින සියලු දෙනා ඇතුලු සමස්ත මහජනයා දක්වාම ගමන් කිරීම වළක්වන්නට ඒ බර අවිවලටවත් නොහැකි වනු ඇත. එබැවින් සත්‍ය ලෙසම ශබ්ද නගාගෙන ඔවුන් ‘නිදහස සැමරුවත්’ කටවහන නීතියක් වන මෙම නීතිය දැන් අපි සහ ඔවුන් සියලු දෙනා හරහා ගමන් කිරීමට නියමිතව ඇත. නමුත් නීතියට අනුවම කටවහන තැන නිදහසක් කොහේද යැයි පාර්ලිමේන්තුවේ බහුතරයක්ද ජනතාවගෙන් බහුතරයක් ද අසන්නේ නැත. නමුත්, ‘අසත්‍ය’ යැයි ඔවුන් (අදාළ නීතියට අනුව ජනාධිපතිවරයා විසින් සභාපතිවරයා නම් කරන කොමිසමේ 5 දෙනෙක්) විසින් තීරණය කරන, කුඩා සමාජ මාධ්‍ය පෝස්ටුවක් නිසා, එම නීතිය යම් කෙනෙක්ගේ හිස මතට පාත් වූ විට, මිනිසුන්ගේ කට වැහීම හෙවත් විවිධ අර්තකතන ඉදිරිපත් කරමින් සාධාරණීය කිරීමට උත්සහ කරන එම නීතිය මතින් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීම යනු ‘නිදහස’ අහිමි වන පළමු මොහොත බව එවිට ඔවුන්ට අවබෝධ වනු ඇත. එවිට ඔවුන් ප්‍රමාද වැඩි වනු ඇත.

එතෙක් අද ද, හෙට ද විනෝද වන්න.

‘මිනිසුන්ගේ මානව හිමිකම් ප්‍රතික්ෂේප කිරීම යනු,
ඔවුන්ගේ මනුෂ්‍යභාවයට,
අභියෝග කිරීමයි.’

ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයෙක් වූ නෙල්සන් මැන්ඩෙලා වරෙක කීවේය.

  • සම්පත් සමරකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...