ත්‍රස්ත පනත අවභාවිතය හිතලුවක් නෙමෙයි : සැබෑ අවදානමක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

Share post:

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වූ පසුබිමක, යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අවභාවිත කිරීමට ඇති අවකාශය හිතලුවක් නොවන බවත්, එය යථාර්තවාදී සැකයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේය.

ජනවාරි 31 සහ පෙබරවාරි 01 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදු කළ සිය දීර්ඝ ඉදිරිපත් කිරීමේදී ඔහු මෙම කරුණු පෙන්වා දුන්නේය. මේ ඔහුගේ ඉදිරිපත් කිරීමෙහි සංක්ෂිප්ත පරිවර්තිත සටහනකි.

‘මම ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් මෙහි පෙනී සිටිනවා. මා මුලින්ම පෙන්වා දෙන්නේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමස්ථයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්, මෙය අඩුම තරමේ විශේෂ බහුතරයකට (තුනෙන් දෙකක්) යටත් වීමත්, ඊටත් එහා ගොස් ජනමත විචාරණයකට යා යුතු බවත්.

මෙම පනත අපි වත්මන් ලාංකික සන්දර්භය තුල හදුනාගත යුතුයි. මෙය අවුරුදු 40ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත, අහෝසි කරන බව සදහන් කළ නමුත් අහෝසි නොකළ පසුබිමක අලුතින් හදුන්වාදෙන පනතක්. රජයට හෝ අධිකරණයට යම් පනතක් සම්මත වූ පසු විමර්ශනයට ලක් කිරීමේ හැකියාවක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත 1979 දී හදුන්වා දුන්නේ හදිසි අවශ්‍යතාව මත වගේම ජාතික වැදගත්කමකින් යුක්ත පනතක් ලෙස.

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් නිගමනය කළා, මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව, ඒ අනුව එම පනත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු බව ලිඛිතව කැබිනට් මණ්ඩලය එදා අධිකරණයට යොමු කිරීමට පෙරම තීන්දු කළා. ඒ අනුව, එදා එම පනත සම්මත වූ මොහොතේ අධිකරණය විමසා බැලුවේ, එයට ජනමත විචාරණයක් අවශ්‍යයද නැතිද යන පැනය පමණයි.

අද මෙම පනත් කෙටුම්පත හදුන්වා දෙන්නේ රික්තයක් තුළ නෙවෙයි. සන්දර්භයක් තුළ. මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත මෙන්ම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත පවා රාජ්‍යය විසින් අවභාවිත කර තිබෙනවා.

මෙම පනත යටතේ සිදු වීමට ඉඩ තිබෙන හැකි දේවල් පිළිබද අවධානය යොමු කිරීමේදී නීතිමය චින්තන පර්ෂද දෙකකින් අපට කරුණු ලබාගත හැකියි. එකක් වන්නේ 1997 ශ්‍රී ලංකා විකාශන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

‘යම් දේවල් සිදු නොවිය හැකියි, එහෙත් සිදු වීමටත් ඉඩ තිබෙනවා මන්ද යත්, ඒ ක්‍රියාවන් සදහා අනුමැතිය (පනත් කෙටුම්පතෙන්) සපයා ඇති බැවින්. නැවැත්විය යුතු වරද වන්නේ, එසේ සිදු වීමට ඉඩ තිබෙන දේවල්ය.‘ යන අදහස එම තීන්දුවේ සදහන් වෙනවා.

එහෙත් එම තීන්දුවට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වෙනස් වූ ස්ථාවරයන් ගෙන තිබෙනවා.

‘පැහැදිලි වෙනසක් සිහිතබාගත යුතුය. එනම්, නීතිය සහ නීතිය ක්‍රියාවට නැංවීම අතර වෙනසය. අසාධාරණ ලෙස ක්‍රියාවට නංවනු ඇතැයි බියක් පවතින නිසා, නීතියක් අසාධාරණ ලෙස සදහන් කරමින් ඉවත් කර නොහැක. එම නීතියෙන් ලැබෙන බලය අවභාවිත කිරීමට ඇති හුදු ඉඩකඩක් පමණක් යම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කිරීමට ප්‍රමාණවත් නොවේ‘ යන අදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධනය පිළිබද ලබා දුන් තීන්දුවේ සදහන් වෙනවා.

යම් නීතියකින් ලැබෙන බලය අවභාවිත කිරීමට ඇති ඉඩකඩ පරීක්ෂාවට ලක් කිරිමේදී, අපි එම තීන්දු දෙකෙන් කුමක් අනුව සලකා බැලුවත්, මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත බලය අවභාවිත කිරීමට යොදාගත හැකි බව පෙන්වාදිය හැකියි. මෙරට මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක්, තව බොහෝ නඩු අයදුම්පත් ගණනාවක් විසින් ත්‍රස්ත විරෝධී පනත තුළින් බලය අවභාවිත කිරීමේ හැකියාව ගැන මනාව තහවුරු කරනවා. එය බලය අවභාවිත කරන්නට ඇති හුදු ඉඩකඩක් පමණක් නොව, සැබෑ ලෙසම සිදුවිය හැකි අවභාවිතයක් බව මනාව තහවුරු කරන්නට කරුණු තිබෙනවා.

සුභසාධක ප්‍රතිලාභ පනත් කෙටුම්පතේ සදහන් වෙනවා යම් පනතකින් බලය අවභාවිත වීමට ඇති ඉඩකඩ පිළිබද ආරක්ෂණයන් තිබීමේ වැදගත්කම. මා කියා සිටින්නේ, මෙම පනත තුළ එවැනි ආරක්ෂණයන් නොමැති බව.

මෙය මනාව හදුනාගත හැක්කේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත මෙරටදී අවභාවිත වුණේ කොහොමද කියන එක මත.

අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මීට පෙර ලබා දුන් තීන්දුවක සදහන් වෙනවා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක හතරක් තිස්සේ එහි අරමුණ අභියෝගයට ලක් කරමින් ක්‍රියාත්මක වූ බව.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නොයෙකුත් සැරසිලිවලින් සරසා තිබුණත්, එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තරම්ම නරක බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය බව මා ප්‍රකාශ කර සිටිනවා. මෙම සැරසිලි සමාන කළ හැක්කේ, බන්ධනාගාරය ඉදිරිපිට ‘සිරකරුවෝ මනුෂ්‍යයෝය‘ කියා තිබුණත්, බන්ධනාගාරය තුළ තිබෙන තත්වයට.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දැන් ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතටත් වඩා භයානක බව මගේ මතය.

ඉතා මෑත කාලයේ 2023 නොවැම්බර් 14 වැනිදා රම්සි රාසික් පිළිබද නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඔහු ෆේස්බුක් පෝස්ටුවක් පළ කිරීමට අදාලව අත්අඩංගුවට ගත්තා. ඔහු ඉතා පැහැදිලිවම සදහස් කර තිබුණා ‘කීබෝඩ් එක හරහා ජිහාදයක්‘ කළ යුතු බව. ඔහු ඉතා ප්‍රවේශමෙන්, එම පෝස්ටුවෙන්ම පෙන්වා දී තිබුණා ඔහු කිසිදු හිංසනයක් ප්‍රවර්ධනය නොකරන බව. එසේ තිබියදීත් ඔහුව රදවා තබා ගත්තා.

මෙවැනි නීති ජනවර්ග ඉලක්ක කරමින් ක්‍රියාත්මක කළ ආකාරය පැහැදිලිව දක්නට තිබෙනවා. ඊට අමතරව දේශපාලන ප්‍රතිවාදීන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පීඩාවට පත් කරලා තියෙනවා. කාන්තාවකගේ දේපළකට හානි කළ බව කියමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවභාවිත කළ අවස්ථා පවා තියෙනවා.

ඒ අනුව අවභාවිතයන්ට අදාලව පනත් කෙටුම්පත තුළම ආරක්ෂණයන් තිබිය යුතුයි.

පනතේ 3 වගන්තිය ‘ත්‍රස්තවාදය පිළිබද වරද‘ නිර්වචනය කරනවා.

3.1 අනුව,

‘මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව

යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට හ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීතිවිරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව හෝ

යුද්ධය ව්‍යාප්ත කිරීමේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමේ හෝ එහි ස්වෛරී බව කඩ කිරීමේ අරමුණින් යුතුව

සිදු කරනු ලබන යම් තැනැත්තෙකු ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කරනු ලබන්නේය.‘ යනුවෙන් සදහන් වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් කියන තුනටම බලපෑම් කරන ක්‍රියාවන් ඇතුළත්. මොනවාද මේ ක්‍රියාවන්.

පනතේ 3.2 වගන්තිය අනුව ‘මිනීමැරීම, තුවාල කිරීම, ප්‍රාණ ඇපයට ගැනීම, පැහැරගැනීම හෝ අපහරණය කිරීම, යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුව් පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතළ අලාභ හානි සිදුකිරීම‘ ආදී ලෙස ක්‍රියාවන් සදහන් වෙනවා.

ඒ අනුව හුදු ‘තුවාල කිරීම‘ පවා සුළු තුවාල කිරීමක් පවා 3.1 වගන්තිය සමග එකට යෙදුණහොත් ත්‍රස්තවාදි වරදකරුවෙකු වෙනවා. ඒ වගේම ‘සංඥා සම්ප්‍රේෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික, ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතියකට බරපතළ බාධා ඇති කිරීම හෝ අලාභහානි සිදු කිරීම හෝ ඒ සදහා මැදිහත් වීම‘ ත්‍රස්තවාදී වරදකට හේතු වේවි.

මෙය උදාහරණයක් ඇසුරෙන් පෙන්වා දෙන්නම්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් විරෝධයක යෙදෙන්නට ඉඩ තිබෙනවා, සාධාරණ හේතු මත. එවැනි විරෝධයකදී විකාශනයට බලපෑමක් එල්ල වුණොත්, ඒක පවා ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කරන්නට පුළුවන්.

ගාසා තීරයේ සිදුවන දෙයට එරෙහි විරෝධතාවයකටදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගාසාහි මානව හිමිකම් කඩකිරීම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියා කීමේදී පවා ත්‍රස්ත චෝදනා ගොනු කරන්නට ඉඩකඩ සැලසෙන්න පුළුවන්.

පසුගිය වසරේ අග විරෝධතාවකදී අත්අඩංගුවට ගත් පිරිසක් අතරින් විරෝධතාකරුවන් තුන්දෙනෙක්ව පමණක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කළා. අනෙක් සියලුදෙනා සාමාන්‍ය නීතිය යටතේ ඉදිරිපත් කළා. මේ ආකාරයට තෝරාගෙන කැමති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි.

ඒ අනුව මෙම පනතෙන් සැබෑ ත්‍රස්තවාදය පමණක් ආවරණය කරන්නට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ආරක්ෂණයන් ඇතුළත් කරලා නෑ. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අප දුටු දේවල් ඉදිරියේදී සිදුවීමේ අවදානම මෙහි තිබෙනවා.

මහජන භාවිත ස්ථානයකට බරපතල අලාභහානී සිදු කිරීම පිළිබද උදාහරණයක් පෙන්වා දෙන්නම්. පසුගිය වසරේ විරෝධතාවකදී විරෝධතාකරුවන් විසින් කලාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ අනුව තාර පාරේ තීන්තවලින් අත් ලකුණු තබමින්, ඔවුන් ඉදිරිපත් කිරීමක් කළා. තාර පාරේ තීන්ත ලකුණු ටිකක් විතරයි. ඒත් එය පාරට හානි කිරීමක් ලෙස සලකමින්, පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත්තා. ඒ අනුව, මෙවැනි පුංචි දෙයක් පවා ඉදිරියේදී ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථකතනය කළ හැකිද? මෙහි තිබෙන වැරදිවල බරපතලකම කවුද මනින්නේ.

මෙහි ‘සොරකම් කිරිමේ වරද‘ සදහන් වෙනවා. හොරකමක බරපතලකම කවුද මනින්නේ.

මේ හොරකම, තුවාල කිරීම, දේපළවලට හානි කිරීම සදහා සාමාන්‍ය නීතිය යටතේ ආවරණයන් තියෙනවා. එවැනි වැරදි යටතේ සුළු ක්‍රියාවක් කළත් ත්‍රස්තවාදය ලෙස සැලකිය හැකිද?

ඒ අනුව පනතේ නොපැහිදිලිතාව බරපතල ගැටලුවක් ලෙස පවතිනවා. ආණ්ඩුවට එරෙහි අයට එරෙහිව පාවිච්චි කළ හැකියි. මෙය වත්මන් ආණ්ඩුවට පමණක් නොව, ඉදිරියේදී එන ආණ්ඩුවකට පවා පාවිච්චි කළ හැකියි. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ අයට එරෙහිව වුව පාවිච්චි කළ හැකියි. ඒ නිසා, අපට අවශ්‍ය වන්නේ කිසිදු ආණ්ඩුවක් මෙය අවභාවිත නොකිරීමයි. වත්මන් ආණ්ඩුව හැමදාම බලයේ ඉන්නේ නෑ.

පනතේ 9 වැනි වගන්තියේ සදහන් වන්නේ ත්‍රස්තවාදය ආශ්‍රිත ක්‍රියා.

‘වෙනත් තැනැත්තෙකු විසින් රහස්‍ය තොරතුරු මේ පනත යටතේ වන වරදක් සිදු කිරීම සදහා කුමන්ත්‍රණය කිරීමට, අනුබල දීමට, තැත් කිරීමට හෝ වරද සිදු කිරීමට භාවිත කරනු ලබන බව දනිමින්ම හෝ ඒ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබියදී,

එම තොරතුරු එකී වෙනත් තැනැත්තා වෙත සැපයීමේ අදහසින් යම් රහස්‍ය තොරතුරු රැස් කරන හෝ

එකී වෙනත් තැනැත්තා වෙත යම් රහස්‍ය තොරතුරු සපයන.

යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය.‘

කියලා සදහන් වෙනවා. මෙහි රහසිගත කියන්නේ මොනවාද? පොදුජන අවකාශයේ නොමැති තොරතුරු රහසිගත තොරතුරු ලෙස සැලකිය හැකියි.

මා උදාහරණයක් ගෙන එන්නම්. ශ්‍රී ලංකාව අතුරුදන්වූවන් ගැන ඉතිහාසයක් තිබෙන රටක්. අද රටේ ඉහළ දේශපාලන තනතුරුවල සිටිනවා අතුරුදන්වූවන් පිළිබද ක්‍රියාකාරීව කටයුතු කළ අය. අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවමින් එම කාරණය රජය අනුදැක තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබද තොරතුරු එකතු කරන කෙනෙකු පවා මෙම පනත යටතේ ත්‍රස්ත ක්‍රියාවකට වරදකරුවන් විය හැකියි.

ඒ අනුව ත්‍රස්ත විරෝධී පනත ත්‍රස්තවාදයේ විෂය පථය සීමාව ඉක්මවමින් පුළුල් කර තිබෙනවා. ඒ නිසා මම අවධාරණය කර සිටිනවා, මෙම අර්ථකතනය නොපැහිදිලි වැඩියි. මීට වඩා පැහැදිලි අර්ථකතනයක් අවශයයි.

මෙම පනත යටතේ වැරදි නිර්මාණය කරනවා. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය දිරිගන්වනවා කියන එක වරදක් ලෙස සලකනවා. පනතේ 10 වැනි වගන්තිය ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම‘ පිළිබද සදහන් කරනවා.

‘ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඒ සදහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ වෙැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ දෘෂ්‍ය නිරූපණය සිදු කරන්නා වූ සහ,

එමගින් ත්‍රස්තවාදය පිලිබද වරද සිදු කිරීමට ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ජනතාව ඍජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඹවීමට අරමුණු කරන්නා වූ හෝ,

ඒ ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ඍජුව හෝ වක්‍රව දිරිගැන්වන්නේද, නැතහොත් පෙළඹවන්නේද යන්න පිළිබද අනවධානීව සිටින්නා වූ තැනැත්තෙකු මෙම පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය.‘

ඒ අනුව ‘අනවධානීව සිටීම‘ පවා, යම් ප්‍රකාශයකින් මෙම පනතේ ත්‍රස්තවාදය කියා සදහන් කරන ක්‍රියාවකට දිරි ගැන්වීම පමණක් නෙවෙයි, ඒ ගැන අනවධානීව ක්‍රියා කිරීම (නොසැලකිල්ලෙන් සිටීම) පවා ත්‍රස්ත වරදක් වෙනවා. ඒ අනුව ත්‍රස්ත ක්‍රියාවක් නොව, ප්‍රකාශනයක් කළත් ත්‍රස්තවාදියෙකු විය හැකියි.

දැනට පවතින ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ පනත තුළ ත්‍රස්තවාදය යන්න අර්ථකතනය කරලා තියෙනවා. මීට වඩා නිශ්චිත විදියට.

‘සන්නද්ධ ගැටුම් පවතින තත්වයකදී හෝ වෙනත් අවස්ථාවකදී එම එදිරිවාදීකම්වලදී ක්‍රියාකාරීව සහභාගී නොවන සිවිල් වැසියන්ට හෝ වෙනත් යම් තැනැත්තෙකුට මරණය සිදු කිරීමේ හෝ බරපතල ශාරීරික පීඩා ඇති කිරීමේ හෝ අදහසින් කරන ලද සහ එහි ස්වභාවය සහ අන්තර්ගතය මගින් යම් කිරීමක් කිරීම සදහා හෝ එවැනි යම් ක්‍රියාවක් කිරීමෙන් වැළැක්වීම සදහා ජනතාවට තර්ජනය කරනු ලබන හෝ ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර ආයතනයකට බලපෑම් කිරීම අරමුණු කරන ලද වෙනත් යම් ක්‍රියාවක් හෝ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක්‘ ත්‍රස්තවාදය ලෙස අර්ථකතනය කර තිබෙනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යටතේ රදවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කළොත් එය සමාලෝචනය කිරීමේ අවකාශය සීමිතයි. එවැනි පසුබිමක මම සිහිපත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුවක් දුන්නා, 36/2022 මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන්. පොලිස් නිලධාරියෙකු වෙත මිලියන 2ක් වන්දි ගෙවන්න කියලා. ඒ තමන්ගේ රාජකාරියට පිටින් කටයුතු සිදු කිරීමට බලපෑම් කිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩ වීමක් ගැන.

දිනපතා අපට අහන්න ලැබෙනවා විවිධ හේතු මත ආරක්ෂක අංශවල සාමාජිකයන් තමන්ගේ බලය අවභාවිතා කිරීම ගැන. බුවනෙක අලුවිහාරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුවක තිබෙනවා පොලීසිය ගැන මහජන විශ්වාසයක් නොමැති බව.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබද නඩු තීන්දුවේ සදහන් වෙනවා, පනතක සමස්තය හෝ අන්තර්ගතය මත සැබෑ අවදානමක් තිබෙනවා නම් අවභාවිතය ගැන, එය ව්‍යවස්ථා විරෝධී බව. මෙහි අප කතා කරන්නේ හිතලු, මනස්කල්පිත උපකල්පන ගැන නෙවෙයි. සැබෑ ජීවිතයේදී අප දකින අවදානමක් ගැන.

පෙර නඩු තීන්දු අනුව සැබෑ අවදානමක් තිබෙන පසුබිමක, අධිකරණය පූර්ව ක්‍රියාකාරී වීම වැදගත් වන්නේ මෙරට නීතියක් සම්මත වූ පසුව, නැවත සමාලෝචනය කරන්නට ක්‍රමයක් නොමැති නිසා. අපට අද සැබෑ අවදානම හදුනාගැනීම සදහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ ආකාරය දෙස හැරී බැලිය හැකියි.

ඒ වගේම මා කෙටියෙන් සදහන් කරනවා, 16 වැනි වගන්තිය වෙත. ‘නිත්‍යානුකූල නියම නොපිළිපැදීම වරදක්‘ ලෙස එහි හදුන්වා තිබෙනවා. මේ පනත ප්‍රකාර කරන ලද විධානයකට අනුකූලව ක්‍රියා කිරිම සිතාමතා පැහැර හැරීම, විධානයක් ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැරහරින අය වරදක් කරන බව පනතේ සදහන් වෙනවා.

මම ඊළගට අවධානය යොමු කරනවා, ඉතා වැදගත් තවත් කාරණයකට, පනත් කෙටුම්පතේ 19 වැනි වගන්තියට. එහි සදහන් වන්නේ ‘පොලිස් නිලධරයෙකු සහ වෙනත් නිලධරයන් විසින් සිරභාරයට ගැනීම‘ පිළිබද.

‘මේ පනත යටතේ වන වරදක් කර ඇති බවට හෝ වරදක් සිදු කිරීමට සම්බන්ධ වී ඇති බවට ඔහු විශ්වාස කරන පරිදි විශ්වසනීය වන තොරතුරක් හෝ පැමිණිල්ලක් ඒ පොලිස් නිලධරයා, සන්නද්ධ හමුදා සාමාජිකයා හෝ වෙරළ ආරක්ෂක නිලධරයා වෙත ලැබෙන්නේ කවර තැනැත්තෙකු සම්බන්ධයෙන් ද, එවැනි යම් තැනැත්තෙකු.

වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගත හැකිය.‘

දැනට මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන නියෝග මත පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට ලබා දී තිබෙනවා. පනතේ 12 වගන්තිය අනුව සම්පූර්ණ හමුදාව හෝ කොටසක් කැදවිය හැකියි. දැනටමත් ජනාධිපතිවරුන් හමුදාව මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් කැදවීම සදහා නියෝග නිකුත් කරනවා. ඒවා මාසිකව අලුත් කරනවා.

පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම යන පොලිස් කාර්යභාරයන් හමුදා නිලධාරීන් සතු කිරීමට හැකියාව ඇතත්, එයට මහජන ආරක්ෂක පනතේ සීමා පවතිනවා. උදාහරණයක් ලෙස එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා මහජන ආරක්පෂක නතේ 21 වගන්තිය අනුව යොමු කළ යුතුයි.

එහෙත්, එම පනත යටතේ හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම ව්‍යතිරේඛයක්. එදිනෙදා සාමාන්‍ය තත්වය නෙවෙයි. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අනුව එලෙස හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.

අපි දන්නවා යම්කිසි හදිසි කැරළි තත්වයකදී, පොලීසියට පාලනය කළ නොහැකි තැනකදී මහජන ආරක්ෂක පනත යටතේ හමුදාව කැදවීම සිදු කළ හැකි ව්‍යතිරේඛ තත්වයක්. ඒ වගේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අවසන් වූ විගස, සහරාන් කල්ලියේ අත්අඩංගුවට ගැනීම් සදහා හමුදාව යොදාගැනීම අපි විරුද්ධ වූ තත්වයක් නෙවෙයි.

එහෙත්, පොලීසියට යම් පුහුණුවක් තිබෙනවා අත්අඩංගුවට ගත හැක්කේ කාවද, නොහැක්කේ කාවද කියා. පුහුණුව තිබියදී තමයි පොලිස් අත්අඩංගුවට ගැනීම් පිළිබද ගැටලු පවතින්නේ. එහෙත්, මෙම පනත අනුව හමුදා සෙබලුන් සිවිල් කටයුත්තක් වන අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල යෙදීම සාමාන්‍ය තත්වයක් බවට පත් වේවි.

හමුදාව මේ වෙද්දීත් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදියෙහි යෙදෙනවා. මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී එදිනෙදා සිවිල් කටයුත්තක් වූ පොලිස් රාජකාරියේත් නිරත වේවි.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර ගණනාවක් තිස්සේ, බ්‍රේස්ගර්ඩල් සිදුවීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, ආර්ථික අපරාධ ආදී නඩු තීන්දු ගණනාවක් තුළින් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් තීන්දු ලබා දුන්නා. එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන විශ්වාසය පිළිබද සංකල්පය (Doctrine of public trust) හදුන්වා දුන්නා.

මහජන විශ්වාසය පිළිබද සංකල්පය අධිකරණයටත් අදාල වෙනවා.

තවත් අවුරුදු 40කට පසු ත්‍රස්ත විරෝධී පනත අවභාවිත කළ බව ප්‍රකාශ කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නීතිඥ සංගමයේ හිටපු සභාපති HW Jayawardene විශ්‍රාම යන මොහොතේ, හිටපු අගවිනිසුරු වික්ටර් තෙන්නකෝන් ප්‍රකාශ කළා, අධිකරණය සතු වගකීම ගැන.

හිටපු අගවිනිසුරු වික්ටර් තෙන්නකෝන් විශ්‍රාම ගිය මොහොතේ කළ කතාවේදී 1977 වර්ෂයේ, නීතිඥ සංගමයේ හිටපු සභාපති එච්.ඩබ්ලිව්. ජයවර්ධන අධිකරණය සතු වගකීම ගැන ප්‍රකාශ කළා. ‘කුමන ජාතියකට, කුමන ලබ්ධියකට කුමන දෘෂ්ඨියකට අයත් වුණත්, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල වන සියලු මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා මේ රටේ සවිඥාණිකව සැලසුම් කර, බිහි කර තිබෙන ආරක්ෂණය වන්නේ අධිකරණයයි. එය සජීවී නීතියක් බවට පරිවර්තනය කිරීමත්, මානව නිදහස පිළිබද විශිෂ්ඨ වූ සහතිකයක් පවත්වාගෙන යෑමත් තරම් වැදගත් වූ අන් කිසිදු රාජකාරියක් හෝ වගකීමක් විනිසුරුවරයෙකු මත රදා පවතින්නේ නැහැ.‘ යනුවෙන් ඔහු සදහන් කළා.

පසුව වැරදි නිවැරදි කිරීමට නොව, මේ මොහොතේ තීන්දු ගැනීමට සිදු වෙනවා.‘

(මූලාශ්‍රය : www.whatnews.lk)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...