‘මහත්වරු සිසිර නින්දක’- රංජිත් මල්ලියාවඩු
කවිය උපදිනුයේ ඉහලම සන්තුෂ්ටිය හෝ ගැඹුරුතම ශෝකය හේතුවෙනැයි හිටපු ඉන්දීය ජනපති ඒ පී ජේ අබ්දුල් කලාම් වරෙක පවසා සිටියේය. කෙනකු තුල උපදින ශෝකය හෝ සතුට යන දෙකටම හේතු වනුයේ ඔහුගේ ජීවිතයේ දෛනික පැවැත්මෙහි ඇති සාධකයන්ය. කෙනකු හට තම මනාපය පරිදි ජීවත්වන්ට එය විඳින්නට අවසර ඇත්නම් ඔහු හට සතුටින් යුතු පැවැත්මක් උරුම වන සේම ඔහුගේ ජීවන කොන්දේසි ඔහු පාගා දමන්නේ නම් ඔහුට අත් විඳින්නට වනුයේ වේදනාවේ කටුක රසය පමණි. මෙසේ ඔහුගේ ජීවන පැවැත්ම තීරණය කිරීමේ ලා තමන් ජීවත්වන අවධියෙහි දේශපාලන, සංස්කෘතික, ආර්ථික මෙන්ම සමාජීය පරිසරය ඉඳුරාම බලපානු ලබයි. මිනිස් පැවැත්මෙහි ඇති අවාසනාවන්තම තත්වය වනුයේ මෙකී පරිසරය බොහෝ විට මිනිස් පැවැත්මට අහිතකර මට්ටමකින් පැවතීම මෙන්ම ඒ වෙනස් කිරීමට මිනිසා දරනා උත්සාහයන් බොහෝ විට අසාර්ථකත්වයෙන් කෙලවර වීමයි. අද අපි පුරවැසියන් ලෙස අත්විඳිමින් ඉන්නේ මේ අසාර්ථකත්වයේ දිගු ඉතිහාසයක පලයන්මය.
මෙවන් සමාජයක වසනා නිර්මාණකරුවා තම පීඩනය මුදා හැරීම පිණිස නිර්මාණකරනයේදී විවිධ මං පෙත් විවර කරගැනීමට අරගලයක නිරත වෙයි. එය එක්තරා ආකාරයකින් ස්වයං විමුක්තියක් සොයන්නට දරනා නැතිනම් සිය වේදනාව උස් හඬින් පවසා යම් සහනයක් ලැබීමට දරනා උත්සාහයකි. වෙසෙසින්ම මෙහිදී කවිය මිනිසා හට මහෝපකාරී වන මාර්ගයක් සේ සම්මුඛ වෙයි. කවිය බොහෝ විට සමාජ විචාරයේ ලා භාවිත මාධ්‍යයක් බවට පත් වන්නේ මෙලෙසිනි.
රංජිත් මල්ලියාවඩු කවියා යනු දීර්ඝ කාලයක් තිස්සේ ඉවසිලිවන්තව නිර්මාණකරනයේ යෙදෙන්නෙකි. 1989 වසරේදී ඇස් ලැබීම නම් කාව්‍ය සංග්‍රහයෙන් ඇරඹූ ගමනෙහි ඔහු දක්වා ඇති දක්ෂතා බෙහෙවින් කැපී පෙනෙයි. විශේෂයෙන්ම ඔහු සිය ගමන් මගෙහි කවි බස පොහොසත් කරගැනීමට දැරූ උත්සාහය දගින් දිගටම ඔහුගේ කවිය ඔසවා තබන්නට සමත්ව තිබේ. එහෙයින් අපට හමුවන්නේ පියෙන් පිය ඉහලට එසවෙන කවියෙකි. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය ඒ සනාථ කරනා මහඟු අවස්ථාවක් බව කිව යුතුය.
මල්ලියාවඩුගේ අලුත් කාව්‍ය සංග්‍රහය යනු වර්තමාන සමාජය විනිවිද දකින්නට දැරූ සියුම් තැතක් ලෙස හැඳින්විය යුතය. ඔහු තම කවිය හරහා අප අත් විඳිනා ඛේදජනක යුගය විවරණය කරයි. ඔහු විෂය කරගන්නා සාධක යනු අප නොදන්නා හෝ අපට ආගන්තුක දේ නෙවේ. එහෙත් ඔහු අප වෙත ඒ ඉදිරිපත් කරනා සියුම් විලාශය සහ එහිදී ඔහු විසින් උපයුක්ත බස් වහර ඔහුගේ කවිය ඉහලට ඔසවා තබයි.
ඔහු සිය කාව්යි එකතුව අරඹනුයේ රට වටේ යන කවියකින. ඒ කවිය යනු පේලි කිහිපයක් අතරෙහි මුළු රටක ඛේදය ගැබ් කිරීමකි. ඔහු පාඨකයා කැටුව සංචාරයක යෙදෙයි. ඒ සංචාරයෙහිදී අපට අතීතය වර්තමානය මුණලස්වා ඔහු අප වසනා වර්තමානයේ බියකරු සිතුවම ගෙනහැර පායි. මේ ඔහු අපේ වර්තමාන පරිවහන රටාවේ ඛේදය ගෙනහැරපාන ආකාරයයි.
ජාඩි දමන හන්දා සැලසුම් සියලූ
සාඩින් නිපදවති බස් රථවල සරුලූ
පරම්පරා ගණනක් යනතුරු ඉසිලූ
දොඩම්දූවට අහිමිලු සිය නම දිදුලූ
විටෙක ඔහුගේ කවිය උපහාසයෙන් අනූනය.
රූකඩ අම්බලන්ගොඩටම හිනා වෙවී
නටා ගයා ගෙවුවෙමු අපි එදා දිවි
කුමට ඉතින් නොබලා තාවරව දැවී
සිටිති මෙදා කවුරුත් නූලෙන් නැටවී
අප ප්‍රදර්ශනකාමී බොදුනුවන් වීමේ මාර්ගය තෝරා ගත් දින පටන් අපූරු සත්ව කොට්ඨාශයක් සේ වෙස් ගනිමින් සිටිම. දැන් එහි උච්ඡස්ථානය හමුව ඇත්තේ දිනපතා බෝසතුන් හමුවන යථාර්තයකිනි. අපේ දවස දැන් ගෙවෙනුයේ නෙක බෝසතුන් උසාවි දක්කමින් ඒ බෝ සතුන්ගේ සිහි බුද්ධිය පිරික්සමිනි. මේ වේගී ගමන ඇරඹීමට අපේ සාසානයෙන් ලැබුන තල්ලුව ඉතා බලවත්ය. එය කෙතරම්ද යත් අපි අද මාර්ග තදබදය ඇති වන අයුරින් ඊට බාධා පමුනුවන බෝ ගස් රකිමින් සිටිමු. කවියා වඳිමුව වඳිමුව වඩවා ප්රේගමය යනුවෙන් කවියක් නිමවයි.
බෝධිය බෝධිය දසතම බෝධිය
කිසිවෙකු මෙකලෙහි නොලද සමාධිය
සඟමිත් තෙරණිය දන්නේ නම් මෙය
මේ සා කුමකට දැයි විමසාවිය
මේ වත්මනෙහි බෝධියේ තතු ය.
රෝපිත මිනිසුන් අමතක කළ සෙය
සෙලුව වසා ඒ ඇන්දූ සේලය
ධජයැයි කීවට බැතිනි සමාජය
ඇන්දු පිජාමා සරමක් ගානය
සමිඳුන් පිට දුන් එකමයි ජීවය
නොවන්න එලෙසින් එ දවස ඒ දෙය
ගෑස් ගණන් කාලේ මේ උදවිය
දරට කපනවා නියතයි බෝධිය
මල්ලියාවඩු කවියා සිය කවියෙහිදී ක්‍රෙඩිට් කාඩ ප්‍රවර්ධක නම් ඉසවුවකට අත ගසයි. ඒ සියුම් සංවේදනා දනවන කවියකි. ඊට විෂය වනුයේ ගෙන් ගෙට දුවමින් තම ආයතනයේ ඉලක්ක සපුරන්නට දහදිය හෙලනා මානවකයෙකු හමුවන වැඩිහිටියකුගේ අත්දැකීමය. එය එක් අතකින් සමාජ විචාරයකි. අනෙක් අතින් දයාර්ද්රු වැඩිහිටියෙකු තම අනාගත පරපුර වහලුන් සේ විකිනෙන අයුරු දැක කම්පාවන ආකාරය විදහන්නකි. ඔහු ඒ මානවක අපට හඳුන්වා දෙන්නේ මෙලෙසිනි
පහන් දොර
මාණවකයෙකි දොරකඩ
ගිරා ඉස්කෝලෙකින් තටු ලද
සැබැවි, අද අපේ අධ්‍යාපනයම ගිරා පොතකයන් තනනා කම්හලකි. එයින් පටවෙනුයේ තාර්කික බුද්ධිය වෙනුවට වහල් බවෙහි අඩයාලම දරනා යොවුනන් අහිනකි. මේ යොවුනන් එසැණ විකිණෙනුයේ වහලුන් ලෙස ප්රාහග්ධන හිමියන්ගේ වැඩ බිමටය.
නූතන යයි කියනා සමාජය අපේ සියළු සම්බන්ධතාවන් බිඳ දමා අප හරසුන් සැකිලි බවට පිරි හෙලයි. ඒපරිහාණිය තුළ අපට සියල්ලටම පලමුව අප අහිමිය. ඒ සමගින්ම අපට අපේ සමීපතමයන්ද අහිමිය. ජීවිතය යනු මුදල් උපයා තුන් වේල කෑම බවට පිරිහෙලී ගිය පසුව කුටුම්භගත ජීවිතයද ඒකීය රටාකට ගෙවෙනා ඒකාකාරී සෙක්කුවක්ම පමණි. ඉතින් දුක නැද්ද යනුවෙන් කවියා රචනා කරන කවියෙහි ඉදිරිපත් කෙරෙනා පවුල් ඒකකයේ ඛේදය සිත පාරවන සුළු අන්දමට සිත්තම්ව තිබේ. වර්ණභේදවාදය රජකල සමයේ දකුණු අප්රිලකාවේ මෙන් මේ කවියේ එක සැමියා සහ බිරිඳටද එකිනෙකා හමුවන අවස්ථා විරලය. එහෙයින් ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ට අහිමි ජීවිතය දෙස බලමින් විඳවන්නට පමණි. කවියා මේ ඉරණමට පත් ජීවිත දෙස සිය කවි සිත විවර කරයි.
කදෝපැණි වල්ලභ
රාත්රිියෙ පමණක් ඇවිත් යයි
ඉතින් දුක නැද්ද නුඹහට
රෑ බදුල්ලෝ රෑ ම තනිවන
මේ පවුලෙහි පති පතිනි දෙපලට ජීවිතය අහිමිය. ඔවුන්ට එකිනෙකා හමුවීමට සිදුව ඇත්තේ කලාතුරකින් එන රැයෙක කෙටි කලෙකටය. එය හරියට අනියම් සබඳ.ාවක් සිහි ගන්වන්නකි. නූතන ආර්ථික තරගයෙහි තුරගුන් බවට පත් කර ඇති අපේ ජීවිත අඩුවැඩි වශයෙන් මීට සමානය. එක ගෙදරම වසමින් වුව එකිනෙකාට ආගන්තුක පැවැත්මක් අද අපට උරුම වෙමින් තිබේ.
රංජිත් මල්ලියාවඩු කවියාගේ නව කාව්‍ය එකතුව අගනා කවි සමුච්ඡයකින් පොහොසත්ය. ඔහු සිය බස මනාව හික්මවමින් සියුම් යෙදුම් හරහා තමන් වසනා වර්තමානය සළකුණු කරයි. එහිදී ඔහුගේ කවියෙහි දක්නට ලැබෙනා උපහාසය සහ ව්‍යංගාර්ථවත්බව කවියට ගෙන එන ආලෝකය විශාලය. ඉදින් විවේකීව කෙසේ වෙතත් ඉවසිලිවන්තව ඔහුගේ කවි කියවන්නට ඔබට හැකි නම් අභ්යාෝසවෘද්ධ කවියෙකුගේ අගනා මැදිහත්වීමක් ඔබට දකින්නට හැකි වනු ඇත.
මේ ඔහු ගේ රූකඩ නම් කවි පෙලෙහි අවසානයයි.
පරම්පරාවක් රැකුණත් කලක ඉඳන්
පුරවා සාක්කුද නටවන අයගෙ නිතින්
බඳවා රඟහලම රැඟුවත් අරුම ලෙසින්
රූකඩ කපන්නැහැ කළුවර බුරුත කඳින්