දශක හතරකට පස්සෙ මං ආයෙම ඉංගිරියෙන් හල්වතුර පරණ තොටුපල පාර දිගේ ඇවිදගෙන යනවා. මේ යන්නෙ පොතක් එළිදක්වන උත්සවයකට. මීට කලින් වතාවෙ මං ඒ පාරෙ ගියෙ අනුරාගයෙන් මත්වෙච්ච පෙම්වතෙක් පෙම්වතිය මුණගැහෙන්න දෙමවුපියන්ට හොරෙන් ඇගේ නිවෙසට ගිය ගමනක අපාය සහායක මිත්‍රයා හැටියට. ඒ ලෙවල් කාලෙ. ඒත් එදා වැඩේ ගැස්සුනා. අපිට නිකංම ආපහු හැරිලා එන්න වුනා. ගෙදර පරිසරය අවුල් හින්දා පෙම්වතිය ලියුං කෑල්ලක් ගෙදර ආවතේවෙට හිටපු කොල්ලට දීලා මාරුවෙලා ගිහිං.
දැන් පලාත අඳුන ගන්නත් බැරි තරං. උත්සවේ තිබ්බ ශාලාව මනරම් පරිසරයක ඉදිකරලා තිබ්බා. පොතේ නම මතක හෙල්මළු. මං කතෘව අඳුනගන්නෙ හැබැයි ලේඛකයෙක් හැටියට නෙවෙයි. මීට සෑහෙන කාලෙකට ඉස්සර රබර් සංවර්ධන නිලධාරී කෙනෙක් හැටියට. ඒ දවස්වල මට ඔහු ගැන අපේ ඥාතියෙක් කිවුවෙ පට්ට සැර මහත්තෙක් කියලා. නීතියට වැඩ කරන එහෙම නොවුනම මල පනින මහත්තෙක් හැටියට. ඒක මට නං අල්ලා ගියා. මොකද ඔට්ටපාලු, පොල්කටු පාලු වගේ මෙලෝ වගේ විත්තියක් නැති පාන්කඩ රජයේ නිලධාරි දැකල ඇති වෙලා ඉන්නමට එහෙම කෙනෙක් දකින එකත් සතුටක් වුනා. කේන්ති යන කතාව තීරණය වුනේ තම සේවාලාභියගේ ස්වභාවය අනුව. තමන්ව අන්දන්න එන මිනිහට මෙයා අමුඩෙම ඇන්දුවා. වැඩේ හරියට කරන කෙනාට ටක්කෙටම වැඩේ කරලා දුන්නා.
ඉතිං ඔහු ආයෙම මට කාලෙකට පස්සෙ හමුවෙන්නෙ තමන් ලියපු තීරු ලිපි පොතක් හැටියට පල කරන්න තීරණය කළාට පස්සෙ. මට ඒකට පසු වදනක් ලියන්න කිවුවහම මං ඉතා සතුටෙන් එය කළා. ඊයෙ තමයි පොත නිකුත් වෙන දවස. පොතට පෙරවදන වගේම එදින දේශනයක් කළෙත් වර්තමාන පරම්පරාවෙ බලාපොරොත්තු සහගත තරුණයෙක් වෙන නිමේෂ් නිරංජන්. එහෙත් ඔහුට තවමත් තම දැනුමින් වැඩ ගන්න පරිසරයක් ලැබිලා නෑ.
පොතටත් වඩා මට ඊයේ හිතට දැනුනෙ සුසිල් පොත එළිදක්වපු ආකාරය. ඔහු ඒ සඳහා ඇරයුම් කරලා තිබුණෙ සීමිත එහෙත් තමන්ට සමීපතම සහ පොත කියවන පිරිසකට. ඒ පිරිස අතරෙ ඔහුගෙ සමකාලීන පාසල් වෘත්තීය සහ ව්‍යාපාරික සගයන් එක්ක ඥාති පිරිසකුත් හිටියා. වඩාම සංවේදී මොහොත පොතේ පිදුම. එය මගේ ඇස් දෙක දවාලූ මොහොතක්.
සුසිල් ඒ ගැන සංවේදී පැහැදිලි කිරීමක් කළා. ඉකි බිඳිමින්. ඔහු මේ පොත පිදුවෙ සමන් කුමාර නම් කෙනකුට. ඒත් ඔහු සභාවෙ නෑ. ඔහුගේ සමකාලීන සගයෙක් වන වෛද්‍යවරයෙක් හිටියා. ඔහු දැන් මැදිවිය කරා පිය මනින කෙනෙක්. සුසිල් කියන ආකාරයට පාසැල නිමා කළාට පස්සෙ රස්සාවක් ලැබෙන තුරු ඔහු තමන්ගෙ ගමේ ඒ කියන්නෙ බලංගොඩ ඇල්ලෙපොල පාසලේ ගණිතය උගන්වන්න යනවා. එවක එහි විදුහල්පති එල්ලාවල මේධානන්ද හිමි. ඔහුට පඩිය හැටියට ලැබෙන්නෙ රුපියල් එකසිය පණහක්. ඒ මේධානන්ද හිමිගෙ පොකට්ටුවෙන්. සුසිල්ගෙ පංතියෙ ගණිතයට දක්ෂ තිදෙනෙක් ඉන්නවා. ඒ අතරිනුත් දක්ෂතම ශිෂ්‍යයා සමන්. නමුත් අසූව දශකයේ අග සමන් ගෙ පියාත් එක්ක සමන්ව මරා දානවා. දහඅට හැවිරිදි දක්ෂතම යෞවනයෙකුට ජීවිතය අහිමි කෙරෙනවා. සුසිල්ගෙ දක්ෂතම සිසුන් තිදෙනා අතරින් කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා. තවෙකෙක් මතට ලොල් වෙලා අනාගතය අහිමි කරගන්නවා. දක්ෂතම සිසුවට ජීවිතය අහිමි කරනු ලබනවා. වර්තමානයේ අප පත්ව ඉන්න ඛේදවාචකය වටහා ගන්න මේක හිත කීරි ගස්වන සාම්පලයක්. සුසිල් තමන්ගෙ ඒ දක්ෂතම සිසුවාගෙ ඡායාරූපයකට පොත පිලිගන්වන්නෙ ඉකිබිඳ වැලපෙමින්.
සුසිල්ගෙ කතාව සහ කඳුළු දකින මට මතක් වුනේ වෙනුර එදිරිසිංහ සහෝදරයා. තමන්ගෙ අවධියේ රාජකීය විදුහලේ සියළුම සම්මාන කුසලතා දිනපු වෙනුර අපිට අහිමි කෙරෙන්නෙත් අසූනමයෙ අන්තිම හරියෙ. අදටත් අපි ඔහු ඝාතනය කළ ආකාරය හරියටම දන්නෙ නෑ. ඒත් මට මගේ තෙවන වධ සමයෙ ඔහුගේ ඡායාරූපයක් වධකයන් අත දකින්න ලැබෙනවා. ඒ ඡායාරූපයේ ඉන්න වෙනුර අන්තයටම වධයට පත් කරලා ගෙල වටා කඹයක් ගැට ගහපු වෙනුර කෙනෙක්. මගෙ ජීවිතේ අවසාන මොහොත දක්වාම මේ ඡායාරූපය වගේම ඒක මහා ආහ්ලාදයකින් මට පෙන්වපු වධකයව අමතක වෙන්නෙ නෑ.
සුසිල්ගෙ මතක හෙල්මළු අපූර්ව ලිපි සරණියක්. එය අපේ මෑත අතීතයේ විවිධ පිය සටහන් මනාව පෙලගස්වන ලද සංවේදීබව, උපහාසය, උත්ප්‍රාසය වගේම හාස්‍ය ප්‍රිය බවත් කැටි වුන ලිපි පෙලක්. ඒ ලිපි පෙල හරහා සුසිල් නම් චරිතයේ හැඩගැස්ම වගේම ඔහුගේ දිවි සැරියට අදාල යුගයේ පරිවර්තනයද අපට කියවගන්න ඉඩ ලැබෙනවා. ගැමි දිවියෙහි විවිධ මානයන්, පරිසරය හා බැඳුනු මිනිස් ජීවිත, විවිධ ආකල්ප, ගොවිතැන ආශ්‍රිත අත්දැකීම්, පරිසරය, මනුෂ්‍ය දිවියේ නෙක අහුමුළු, රටෙහි පැවති සමාජ සංස්කෘතික දේශපාලන සහ ආර්ථික පසුබිමෙහි විවිධ පාර්ශව ඔහුගේ ලිපි අතර වරින් වර අපට කියවන්න ලැබෙනවා. මේ සියල්ල අතරෙ ගැමි දරුවෙකු ලෙස සිය ජීවිතයට බසින සුසිල් ගෙ ජීවන අන්දරයේ විවිධ පියවරත් අපට දකින්නට පටන් ගන්නවා. තීරු ලිපියක සීමාවන් වගේම එවැන්නක අඩංගු විය යුතු ලකෂණයන්ද සහිතව ආධුනික බවකින් තොරව නිරායාස ගුණයෙන් යුතුව ඔහු කරන මේ රචනාවන් පාඨකයා කෘතිය වෙත වඩාත් සමීප කරවනවා.
මේ ඔහු ගණිත පාඩමක් ගැන කියන උපහාස රචනා කොටසක්.
තම දකුණු අත කෙලින්ම ඉහලට එසවූ ඇය කිහිල්ල ප්‍රදේශය ආශ්‍රිතව චාපයක් වම් අතින් සටහන් කර මේ තමයි සරළ කෝණය අංශක 180යි. ඒ අයුරින්ම මහා, සෘජු, සුළු කෝණ තම අත භාවිතයෙන් නිරූපණය කළා. අනතුරුව ඇය මේ සෑම කෝණයකටම පොදු ලක්ෂණයක් තියෙනවා දන්න අය අත ඔසවන්න යැයි කීවා. හැමෝම කල්පනා කළා. ඇය දිහා ඇස් නොහෙලා බලා සිටි සිරිපාල පමණක් අත් එසෙවුවා. වෙනදා උත්තර නොදෙන සිරිපාල දෙස කවුරුත් බැලුවා. සිරිපාල මොකක්ද පොදු ලක්ෂණය? ගුරුතුමිය ඇසුවා. මිස් හැම කෝණයක් මුලම කෙස් ටිකක් තියෙනවා. සිරිපාල කිවුවා. අපිට බකස් ගා සිනහ ගියා. ගුරුතුමිය ලැජ්ජාවෙන් රතුවී මුහුණ මේසය මත ඔබා ගත්තා. තවදුරටත් කල්පනා කිරීමේදී සිරිපාල කියපු දේ බොරු නොවන බවත් ඕනෑම දෙයක් දිහා විවිධ කෝණ වලින් බැලිය යුතු බවත් මට පසු කාලයකදී හොඳින් අවබෝධ වුනා.
පිටුව 121
සුසිල් තම තීරු ලිපි වලට යොදන මාතෘකාවන් ඒ ලිපිය කෙරේ අවධානය කැඳවන්න සමත් ආකර්ශණීය බවින් යුක්තයි. මද කිපීම නමින් වන ලිපිය එවක ගැමි දිවියෙහි අංගයක්ව පැවති ගව පාලනයේ එක් අංශයක් ගැන කෙරෙන සිත්ගන්නා සුළු විස්තරයක් මෙන්ම අධ්‍යාපනික පිවිසුමක්ද වෙයි. ඔහුගේ ලිපි එක් අතකින් දශක කිහිපයකට පෙර අපේ ගැමි ජීවන රටාවන්හී නෙක අංශයන් හෙල් මළු මෙන් සිත්ගන්නා සුළු ආකාරයකට ඉදිරිපත් කිරීමට ගත් වෑයමකි. එසේම ඔහු ගේ ලිපි කියවන විට සුසිල් තුළ ඉන්නා යමක් දෙස විවෘතව බැලීමට සමත් ජාතිවාදය සහ ආගමික අන්තවාදයේ විස තවරා නොගත් දැක්මක් සහිත ලේඛකයාද අපට හඳුනාගත හැකිය.
සුසිල්ගේ උත්සවයෙහිදී කතා කළ ඔහුගේ ගණිත ගුරුවරියගේ වදන්ද මෙහිලා සඳහන් කල යුතුය. මනා ව්‍යක්ත බවකින් කතා කල ඇය කියා සිටියේ තමන් ගෙන් උගන්නට එනවිට සුසිල් ගණිතය කෙරෙහි කිසිදු ඇල්මක් නැති සිසුවෙකු බවයි. එහෙත් ඇය කී පැරිදි කුප්පි ලාම්පුව මැදි කරගෙන කරන ලද පාඩම් හී පලය වනුයේ සුසිල් දක්ෂ ගණංකාරයෙකු වීම සහ අවසන කෙටි කලකට සමන් වැනි දක්ෂ සිසුන් තනනා ගුරුවරයකුද වීමය. එසේම මේ ගුරුතුමියගේ කතාව සැබෑ ගුරු භූමිකාව කවරක්ද යන්න අපට සිහිපත් කල කතාවක් බවද කිව යුතුය.
සුසිල් හට කෘතියෙහි නම තබන්නට හෙල්මළු යන යෙදුම එන්නේ තම ගම වූ බලංගොඩ ඇල්ලෙපොල ගොවි බිම් වලිනි. ඉදින් ඔහු ඒ හෙල්මළු මත තම ජීවිත අත්දැකීම් වපුරා ලයි. සැබැවින්ම ඒ හෙල්මළු මත පූදින අස්වැන්න යනු කියවන්නට ආසා හිතෙන ලියවිලි සමූහයකි.