ජනාධිපති සමාව අත්හිටුවා රිමාන්ඩ් කිරීමෙන් පසු මාස 20ක් ජ’පුර රෝහලේ සිටින දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අදාළ ද ?

Share post:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අත්තනෝමතික බවත්, නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිපදිමින්, දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මේ අතර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට ද නියෝග කළේය.

2011 ඔක්තෝබර් 08දා හෝ ඊට ආසන්න දිනකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 04 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්, 2016 සැප්තැම්බර් 08දා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.

දුමින්ද සිල්වාට 2021 වසරේදී ජනාධිපති සමාව ලබාදීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අද සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. ඉන්පසු ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කෙරිණි.

මෙම ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම 2022 මැයි 31දා විභාගයට ගැනුණු අතර, එහිදී දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.

2022 ජුනි 01 දින ඔහු හදිසි රෝගී තත්ත්වයක් බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු විය.

ඉන්පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම දැරූ විශේෂඥ වෛද්‍යවරයා එයින් තමන් ඉවත් කරන ලෙස ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව දෙවනුව ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී ඇති හර්ද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ද පෙර අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බවයි.

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මෙවැනි විත්තිකරුවෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දිගටම අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය. මේ හේතුව නිසා මෙසේ වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කිරීමෙන් ඉවත් වන බව රෝහල් ආරංචි මාර්ග එවකට සඳහන් කළේය.
එසේ ම එය වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ සැකයක් ද මතුකරන්නකි.

ජුනි 01 දින සිට ඔහු ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 03 – පළමු පන්තියේ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටියේය. මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාර නිලධාරීන්ට අමතරව ඔහු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද මෙහි තබාගෙන සිටින බවයි.

අධිකරණ නියෝගයෙන් පසු ඔහුගේ වගකීම දරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. එහි කොමසාරිස් චන්දන එකනායකගෙන් thetime.lk මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු මීට පෙර සඳහන් කළේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කටයුතු කිරීම තම දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.

‘අනිද්දා’ පුවත්පත වරක් සඳහන් කළේ දුමින්ද සිල්වා මෙසේ දීර්ඝ කාලයක් රෝහලේ රැඳී සිටීම සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොමසාරිස්වරයා සඳහන් කළේ වෛද්‍ය නිර්දේශ බන්ධනාගාරය හරහා අධිකරණයට දිගටම දැනුම් දෙන බවයි.

ඔහු බන්ධනාගාර රෝහලේ හෝ ජාතික රෝහලේ ප්‍රතිකාර නොලබා, ගෙවීමේ පදනම මත ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ එය වෛද්‍යවරුන් තීරණය කළ යුතු කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ මෙය බරපතළ කරුණක් බවයි. වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වීමෙන් පසු, අධිකරණ නියෝගයක් මගින් එය වලක්වා එම රැඳවියා ජාතික රෝහලට ඇතුළත් කළ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

එවැනි නීතිමය තත්ත්වයන් තිබුණද, එස්.බී.දිසානායක, ප්‍රේමලාල් ජයසේකර වැනි රැඳවියන් ද මෙසේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගත් බව ඔහු සිහිපත් කළේය.

මෙමගින් සිරකරුවන්ට සමානව සැලකුම් ලැබීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වුවද, මෙහිදී වෛද්‍ය වෘත්තිකයන්ට ඇති අභිමත බලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය රැඳවියන් සිය ගණනක් පෙනඩෝල් පෙත්තක් හෝ නොලබමින් බරපතළ ලෙස පීඩා විඳින තත්ත්වයක මෙවැනි කරුණු අසන්නට ලැබීම අතිශය කණගාටුවට කරුණක් බව ද ඔහු අවධාරණය කළේය. මෙහිදී දුමින්ද සිල්වා සම්බන්ධ තනි සම්පුර්ණ වගකීම දරනු ලබන්නේ ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී තිබෙන වෛද්‍යවරයා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...