හෙතෙම මේ බිමේ ජීවත්ව සිටි යුගය ශ්‍රී ලාංකේය ගීත කලාවේ සශ්‍රීකතම යුගයයි. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නිහාල් නෙල්සන් නැත්නම් ජෝතිපාල දක්වා වූ සකලවිධ ශෛලීන්වල ගායක ගායිකාවන් අතර ‘පියසිරි විජේරත්න’ නම් ඔහු ස්වකීය අනන්‍යතාව තහවුරු කරගත්තේ මනා හඬ පෞර්ෂයෙන් යුතු ජන ගී ගායකයකු ලෙසය.
අමිතා වැදිසිංහ නම් ගායිකාව සමඟ ඔහු ගැයූ ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි’ නම් ගීතය පමණක් සැලකුවත් ඔහුගේ විශිෂ්ටත්වය අප කාටත් තහවුරු කරගත හැකිය.
එතෙකුදු වුවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ඔහු ගායනා කළ අනෙකුත් ගීත අතළොස්ස පවා සිංහල ගුවන්විදුලි ගීත අතර විශේෂ අනන්‍යතාවක් සහිත බව මගේ කල්පනාවයි.
‘රටක් වටින කොමළ සිනාවෙන් මා හා සිනාසුණා, ඔබෙ මුහුණ පුරා දිලි සීදේවිකම හින්දයි හිත බැඳුණේ, දිසාපාමොක් ඇදුරුතුමනේ, තුංමංහන්දියෙන් හැරී හැන්දෑවට ගෙදර එන්න, මහියංගනේ රන් කොත වාසනාවන්’ ආදී අති විශිෂ්ට හඬ පෞර්ෂයක් සහිත ගීත ඛණ්ඩ මේ කෙටි සටහන ලියන මේ මොහොතේ මගේ දෙසවනේ රැව් පිළිරැව් නඟමින් ඔහු පිළිබඳ මගේ මතකය අවදි කරවයි.
ජාතික ඇඳුමෙන් සැරසී නිතර සිනා මුසු මුහුණින් කා සමඟත් සුහදව පයුරුපාසානම් පැවැත්වූ පියසිරි විජේරත්න නමැති මහා ගායකයා, සංගීතඥයා, අප්‍රමාණ දරු පරපුරක් බිහි කළ සංගීත ගුරුතුමා, ඒ සියල්ලටත් වඩා මනුෂත්වය පෙරටුකොට ගත් ‘අප්‍රමාණ මනුෂ්‍යයා’ අපෙන් සමුගෙන ගොස් විසි වසරක් ගතව ඇතත් ‘මහියංගනේ රන් කොත’ සේ අදත් ඔහු අප අතර සිටින බව මගේ විශ්වාසයයි.
කුමාර අලගියවන්න
2024.01.12