ගීත රචකාවියක ලෙස සාහිත්‍යයට අත්පොත් තබන සමුද්‍රා දිල්රුක්ෂි තම ප්‍රථම කාව්‍ය සරණිය වර්ෂ 2023 දී ජනගත කරන ලදී. “මගේ හද වුව ඔතැන බිම වැටී තිබිය හැක” හිසින් රචිත කෘතිය කාව්‍ය නිර්මාණ හතළියකින් සමන්විත ය. ප්‍රේමයේ විවිධ ඉම්පෙත් හරහා කිවිඳියගේ කවි සිත විකසිතව පවතින බව මෙය පරිශීලනයේ දී දක්නට ලැබෙන මුඛ්‍ය කාරණය වේ.
දාරක සෙනෙහස අරමුණු කරගනිමින් “ඇස්” කව රචිත ය. දෛනික රාජකාරිය නිමකර තම නිවසට ඉක්මන් ගමනින් යන කථකයාට බන්ධනාගාර බසයේ දැල් කවුළුවෙන් දරු සෙනෙහස උතුරා යන නෙත් යුගළක් දක්නට ලැබේ.
“දුටුවෙමි….
දුක්බර දෙනෙත්…
බන්ධනාගාර බසයේ
දැල් ගැසූ
කවුළුවෙන්…
හනික හවස
කැදැල්ලට දුවන …
මා දෙසම
නෙත් අයා…..
සිහි වෙන්නැති
කිචිබිචිය…
කුරුලු පැටවුන්ගේ
ඔහුගේ කැදැල්ලෙත්…”
කුරුලු පැටවුන් අවිහිංසක ය; සුරතල් ය; උන් මවුපියන්ගේ උණුසුමෙහි වෙළෙන්නට, කුරුලු මවුපියන් කැදැල්ලට එනතුරු මග බලයි; නාද කරයි. කුටුම්බය ද එලෙසම ය. තම මව හෝ පියා රැකියාවට ගොස් නිවසට එනතුරු දරුවෝ මග බලති. සිරකරුවාගේ හදවත කම්පනයට පත්වන්නේ මේ දරු සෙනෙහසිනි. කිවිඳියගේ චිත්ත රූපිත බැසිවහර සාර්ථක ය.
කවියක් ලෙස මෙහි අන්තර්ගත “නුඹ නළවන්නෙමි මගේ දූ සිඹ සනසන්නමි” පද්‍ය පෙළ මනරම් ළමා ගේය පද රචනයක් ලෙස පුද්ගලිකව මම විඳිමි.
“පුන්සඳ පායාපු රෑට
හොරෙන් වැටෙන තරු කැට පොඩි
බිම වැටෙන්න කලින් හනික
අරන් තියන්නම්….
නිලට නිලේ නිලම්බරේ
පුලුන් වලා යහන් ගැබේ
දේදුන්නක පරිස්සමට
නුඹ නලවන්නමි
මගේ දූ සිඹ සනසන්නමි…”
මවකගේ හදවතෙහි තම දියණිය පිළිබඳ උපන් ප්‍රේමය සමුද්‍රා කාව්‍යාලංකාරවත් භාෂාවක් උපයෝගී කරගනිමින් රචිත ය. මේ සුගායනීය පද වැල් කියවීමේ දී පාඨක හදවතෙහි මැවෙන්නේ සෞන්දර්යාත්මක රූප පෙළහරකි.
ප්‍රේමයෙහි හුදෙකලාව පිළිබඳව “දැන්ම එන්න” පද්‍ය පෙළෙහි නිර්මිත ය. දුරු පෙදෙසක සිටිනා තම ප්‍රේමවන්තයා වෙත පෙම්වතියගෙන් ලැබෙන පෙම් හසුනක් ලෙසින් කිවිඳිය මෙය නිර්මාණයෙහි පෙළ ගස්වයි.
“අදම මේ දැන්ම ගෙදර එන්න
කවුළුවෙන් එපිට නීලාකාසයේ
වලාවන් අත වනයි….
සිහින වල ඇවිදින්න එන්න
මද සුළං ගතු කියයි….
මාලතී සුවඳ
නාස් පුඩු කිති කවයි
දොරගුලු නෑරියෙමි”
ප්‍රේමවන්තිය සුන්දරැත්තියකි. ඒ නිසා ම අවට පරිසරයෙන් නැගෙන්නේ අනුරාගික ආරාධනාවන් ය. ‘වලාවන් අත වනයි’, ‘මද සුළං ගතු කියයි’, ‘නාස් පුඩු කිති කවයි’ යන පද්‍ය පාදවලින් එය මැනවින් නිරූපණය වේ. ඇගේ සිත ද ඒ කෙරෙහි වශී කෘත වන්නේ ඇයට නොදැනී ම ය. ‘දොරගුලු නෑරියෙමි’ දෙපදයෙන් ඇයගේ වැසුණු රාගී චිත්ත සන්තානය මනාව විශද වේ. ඒ හේතුවෙන් ම ඇය තම පෙම්බරාට ‘අදම’ එන්නට යැයි ලියා යවන්නී ය. ‘ඊළඟ රේල්ලුවෙන් වහාම එන්න’ යන පැදි පාදයෙන් එය වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. කාව්‍යාත්මක සරල පද බැඳුම එහි සාර්ථකත්වය වඩාත් තීව්‍ර කරයි.
ප්‍රේමයේ විප්‍රයෝගය අරමුණු කරගනිමින් “එනුවර” කාව්‍ය පන්තිය විරචිත ය. කථකාව පරාජිත පෙම්වතියකි. ඇය තම ප්‍රේමණීය නටබුන් සමඟින් ජීවත්වන්නී ය.
“හැර දමා ඇති මාවතක්
ඇත එනුවර
ඇතුළු වීම තහනම් නම් ලැබ,
විටෙකදී, වියපත් කෙවිළියක
ශෝකී නාදයෙන් ගීයක් ගයනු
පමණක්ම ඇසෙන….”
හුදෙකලාවේ ජීවත්වන මහලු කථකාව ප්‍රේමය වෙනුවෙන් ම ජීවත්වන්නී ය. ඇයට මොන යම් හෝ සමාජ, පුද්ගල කාරණයක් හේතුවෙන් තම ආදරය අහිමිව ඇත. ඒ කෙසේ වුව තවමත් ඇය තම ප්‍රේමයට ප්‍රේම කරන්නී ය. ඒ බැව් වඩාත් සංනිදර්ශනය වන්නේ පහත දෙපදයෙනි.
“රකිනවා එහි ඇති
ප්‍රේමයේ දෙවඟනක පිළිරුව”
ඉහත කවිය පිළිබඳ තවත් විවේකී ලෙස සිතමින් සංස්කරණය කළේ නම් මෙම කාව්‍ය නිර්මාණය වඩාත් සුපෝෂිත නිර්මාණයක් වනු නොඅනුමාන ය.
සරල කටවහරක් භාවිත කරමින් නිර්මාණය කරන “නිර්මලා + ජානක” කවි පන්තිය ද මෙහි සංගෘහිත සාර්ථක නිර්මාණයකි.
“මේ ළඟදි දවසක හවසක
නිර්මලා පැන්නා කහ ඉර
පුංචි බබෙක් වඩාගෙන
අතීතෙ දවස් වල
හරියටම උදේ හයට ආව ලංගමට
මම නගින කොටත්
ජානක ඔයා නිර්මලා එක්ක එක අසුනක”
කථකාව ප්‍රේමය අහිමි යෞවනියකි. ඇයට වත්මනෙහි පවා තම යටි සිතෙහි ජන්ම ලත් ප්‍රථම ප්‍රේමය සිහිවන්නී ය. කිවිඳිය එය ටෙලි පෙරහැරක කාව්‍ය රූපාවලියක් සේ එකිනෙක පාඨක මනසෙහි චිත්‍රණය කරයි. අතීතයේ ඇය සතු ආර්ථික දරිද්‍රතාව මෙන් ම වර්තමානයේ ඇය සතු සමාජ ගෞරවය සමුද්‍රා පසුව රූපණය කරන්නී ය.
“මැඩම් මේක අත්සන් කරලා දෙනවද
ඇහුන බැගෑපත් කටහඩක
දැනුන හුරු පුරුදට බැලුවම
බොකුටු කෙස්, තවමත් නලියන ඇස්
ඒ උනත් බොහෝ වියපත්
ජානක ඇත්තටම මේ ඔයාමද?”
නිර්මාණයේ කූටප්‍රාප්තිය කාව්‍යාත්මක බවින් ගිලිහී වාර්තාරූපී ලෙසින් රචනා වී ඇති බැව් කිව මනා ය.
ප්‍රේමයට කෙරෙන ඉසියුම් ආරාධනාවක් වන් “හද පත්” පද්‍ය පන්තිය ද කෘතියේ ප්‍රේමාන්විත නිර්මාණවලට තවත් නිදසුනකි.
“මේපල් පත්ද, ඕක් පත්ද
නම නොදන්නා
පත්‍ර රාශියකි.
පවනට නතුව විසුල…
සුපෙම්වත් වැස්සක
මේ වගේ වෙලාවක
පත්‍ර නොපාගා
ඇවිදින්න….
මගේ හද වුව ඔතැන
බිම වැටී තිබිය හැක…..”
කිවිඳිය විටෙක දේශප්‍රේමී වීරත්වයෙන් පිරිපුන් ස්ත්‍රියක බැව් ප්‍රත්‍යක්ෂ වන්නේ “උඩු ගං බලා” වැනි නිර්මාණ නිරීක්ෂණයේ දී ය. මෙය තම උපන් බිම වෙනුවෙන් ඇයගේ හදවතෙහි දැල්වෙන කවිය යි. එය පාඨක සමාජය ලෙස අප අගය කළ යුතු ය.
“ගලායාම දෙස බලා නොඉඳ
මතු උපදින උන් සඳහා හෝ
අරගල කරන්නෝ
දිනති…… දිනවති……”
ලිංගික ශ්‍රමිකාවක පාදක කරගනිමින් “සුළඟකට ඉඩ නොතබා” පද්‍ය පෙළ රචිත ය. මෙම නිර්මාණ සමුච්චයේ මා විඳි සාර්ථක ම කාව්‍ය නිර්මාණය ලෙස මෙය හඳුන්වනු ලබන්නේ මාගේ පුද්ගලික රසවිඳුම මත යි. එය පාඨකයාගෙන් පාඨකයාට වෙනස් විය හැකි ය.
“අවසන් බසයත් පිටව ගිය පසු
නැවතුමේ තනිවූ වැසිය
මෙය දුෂ්කර පෙදෙසකි
යළිත් හෙට බසයක් ඒවි
නවතින්න මේ නැවතුමෙහි….”
කථකාව ගනුදෙනුකරුවකුට තමා සමඟ මොහොතක් ලැඟුම් ගන්නට ආරාධනා කරන්නී ය. එහෙත් ඔහු තම කුටුම්බය වෙත ඉක්මන් ගමනින් යාමට සැරසෙයි. එවිට කථකාව තම අතීතයට දිව යන්නේ සමාජය විසින් ම තම ඉරණම වෙනස් කළ ඒ මොහොත සිහිපත් කරමිනි.
“මමත් මගියෙකි එකල
අහේතුක දිනක් එළඹුණි
කැදැල්ල බිඳී විසිරුණ”
කිවිඳිය නිර්මාණයේ කථකාව පිළිබඳ ඍජුව ප්‍රකාශ නොකරයි. වක්‍රෝක්ති ලෙසින් ඇයගේ චරිතය පාඨක හදවතට සමීප කරවයි. එය සූක්ෂම කාව්‍ය ප්‍රයෝගයකි.
“බිරිඳ”, “මන්ද මාරුතය”, “මහද දුම්රිය මැදිරිය”, “ඉනාවක් සිනාවක්”, “අහස් පාලම්” මෙහි අන්තර්ගත මා රසවිඳි තවත් සාර්ථක කාව්‍ය නිර්මාණ කිහිපයකි. කාව්‍ය කෘතිය පරිශීලනයේ දී කිවිඳියගේ භාෂා භාවිතය යම් පටු සීමාවක රැඳී පවතින බව පසක් වෙයි. එබැවින් ඇය වඩවඩාත් ව්‍යුත්පත්තිය පෝෂණය කරගනිමින් සතතාභ්‍යාසයේ නිරත විය යුතු බව මගේ හැඟීම යි. තව ද බොහෝ නිර්මාණ සංක්ෂිප්ත නොකිරීම නිසා ඒවා කාව්‍යාත්මක බවින් සහ ගුණාත්මක බවින් ගිලිහී ඇති බව සඳහන් කළ යුතු ය. කෘතියේ අක්ෂර දෝෂ ද ඊට සමාන්තරව නිවැරදි විය යුතු වේ. සමුද්‍රා දිල්රුක්ෂිගේ කවි මං පෙතෙහි ප්‍රරාරම්භය මෙය බැවින් ඇයගේ අනාගත කවිය වඩාත් සුපෝෂිත වන්නට සුබාසිංසන එක්කරමි.
අශෝක කුලතුංග.