‘මං කැමති නිල් අහසට’ – අමාලී ඇහැලියගොඩ
අමාලි සිය පළමු කාව්‍ය එකතුව ගෙන එන්නී බොහෝ ඉවසිලිවන්තව දරන ලද උත්සාහයන් ගැන ස්වයං තෘප්ත බවක් දැනුන පසුවය. කවි 50කින් සමන්විත ඇගේ කවි එකතුව තේමාත්මක වශයෙන් ආදරය යනු ලොව ලොව සොඳුරුතම විඳුම බව පවසන්නකි. වෙසෙසින්ම ස්ත්‍රී පුරුෂ ස්නේහයේ විවිධ ඉම් විමසන්නට උත්සුක වන ඇය සිය කවියෙහි ආදරයේ ඉසියුම් විඳුම් කැටි කරන්නීය. ඇගේ කවියෙහි අපට හමුවනුයේ කතක ලෙස ඇය අනෙකාගේ ආදරය වෙත ආශක්ත වන අයුරයි. එය බෙහෙවින් සංවේදී පිවිසුමකි. ඇගේ පළමු කවියම ඊට මනා උදාහරණයක් සේ ගත හැකිය.
නූපන්න හැඟුම් මල්
පූදින්න කියාදී
වසන්තය මෙන් පිපී
ජීවිතේ නවතින්න
දිගු දිනෙක-කෙටි රැයක
උණුහුමක් වී ඉන්න
වියළි හදවතක් වී
එපා මා හැර යන්න
සියල්ල වාණිජකරනයට යටව ඇති යුගයක ආදරයද එවන් වෙළඳ භාණ්ඩයක්ව ඇති පසුබිමක ඇය ඉල්ලා සිටින්නී භෞතික කාරණා ඉක්මවා යන හද බැඳෙන ආදරයකි. එසේම ඇය ඉල්ලනුයේ බිඳෙනසුළු බැඳුම් අස නොබිඳෙන ස්නේහයකි. ඇගේ කවි බොහොමයක මේ ස්නේහවන්ත ඇරයුමෙහි විවිධ පැහැයන් දැකිය හැකිය. ඉදින් ඇය පෙමෙහි අසිරියම පත්නී නම් අපට ඇය ඉන් වලකා ලිය හැකිද?
මං කැමති නිල් අහසට
පුරවගත් හුස්ම ගැඹුරට
නිදහසේ පපුව මැද
පාවෙන වළාකුලකට
ඇය සිරවීමට එරෙහිය. ඒ වෙනුවට ඇය ඉල්ලන්නී නිදහසේ පියාසලත හැකි විවෘත අවකාශයක වන මානව බැඳුම්හී අසිරියමය. ජීවිතය යනු සීමාකාරී වීමට වඩා විවෘතව ගැටෙන්නට වෙලෙන්නට ඇති අවකාශයක් සේ දකින්නට ඇය මනාපය.
ඇගේ මං කැමති නිල් අහසට මැයෙන් වන කවියද කතක තම පෙම නිර්වචනය කරන්නට දරනා තැතකි. ඇය මෙහිදී නිමිත්ත කර ගන්නේ පෙම්වතකු/සැමියකු තම සහකාරියට කුඩයක් අරගෙන දෙන අවස්ථාවකි. අපට මග හැරෙන බොහෝ කුඩා නැතිනම් නොවැදගත් සේ පෙනෙන අවස්ථාවක් ඇය වහා අල්ලා ගන්නී ඉන් කතක තුළ රළ නගන පෙම සිත්තම් කරන්නට බුහුටි වන්නීය. ඇගේ කවිය දිගු කතාවක සංක්ෂිප්තයකි. එසේම එය ස්නේහය වෙනුවෙන් පිදෙන මල් මිටකි.
මහා සෙනගක් මැද
අතරමං වී ගසාගෙන යද්දී
සුළඟට
පවුරු පදනම් බැඳ
නුඹයි රැකගත්තේ
යා නොදී හිත
අහකට
පරෙස්සම් කරගෙන
හිරිකඩවත් නොවදින්න
මහ වැස්සට
කළු වළාකුළු සැඟවූ
නුඹ විසල් අහසක්
කුඩයකට වඩා
මං කැමති
නිල් අහසට
මේ ඇය තමන් අභිමත ස්නේහය අපට පෙන්වන ආකාරයයි.
තදින් වැළඳගන්නකොට
නොරිදුනා වගෙ ඉන්න
ගෑනු අපි කැමතිම
රිදී-නොරිදී දරාගන්නා
පපුවට
ඇය ඉන් නතර නොවන්නීය. සිය පෙම වර්ණවත් කිරීමට ඇය විවිධ රූපක කැඳවන්නීය.
විසල් නුග ගස වේය නුඹ මට
බෙදා අතු ඉති සෙවණ සදනා
වෙහෙසකර මුත් දරාගෙන කඳ
නිහඩවම සිසිලසින් පිරෙනා
මේ ඇය මගෙ වෙන්න යනුවෙන් ලියනා කවියයි.
එකම තාලෙට ගන්න
එකම තාලෙට හෙලන
මං කැමති ඔය හුස්මෙ
හරි මැද මගෙ වෙන්න
මෙසේ ආදරය කණින්නට වෙහෙසෙන කිවිඳිය ඒ අතරම වෙනත් මානයන් ද සිය කවියට ගැබ් කරන්නට වෙර දරන්නීය. ඒ මමමයි යනුවෙන් වන කවිය ඊට මනා උදාහරණයකි. එහිදී ඇය වැඩිහිටි කතකගේ වගකීම්සහගතබව, බැඳුම්, ආකල්ප, යන මේ සියල්ලෙහිම සිරව සිටිනාතර මහ මගදී හමුවන කුඩා දැරියකගේ නිදහස් හැසිරීම දැක ඒ තුළින් තම ළමාවිය දකින්නීය. මවක ලෙස දැරිය වැස්සේ තෙමෙමින් කරන දැඟලීම නතර කළ යුතුය යන ආරක්ෂාව වෙත ඇලුණු හැඟෟම මදකට යටපත් කරන ඇය තමන්ට අහිමිව ගිය සුන්දර ලෝකයක සරන්නට යුහුසුළු වෙයි.
මොර සූරන වැස්සෙ
කහ පාට ටයි එක
තුරුළු කරන් බෑග් එක
අතට ගත්තු සපත්තු දෙක
තෙමිච්ච කිකිළියක්
තව
අයිස් පැකට් එකකුත් කටේ
දඩස් ගාලා පැනපි මඩ වලකට
වීසි කරන්නමයි හිතුනෙ
මට කුඩේ….
හිර කරන් කුඩයකට
පොඩි එවුන් ගෙනියන්න
අපරාදෙ මං අම්මා කෙනෙක් වුනේ
අපේ ජීවිත යනු නිදහස වෙනුවට විවිධ සිරකුටි තැනුමට කැපවූවකි. ඒ සමහර සිර කුටි සංස්කෘතික වන විට තවත් ඒවා ආගමික වෙයි. නිදහස් මනුෂ්‍ය හැසිරීම් යනු පිටු දැකිය යුතු දේ ලෙස සලකන්නටත් කෝටුවලින් තලා හෝ හික්මවීම කළ යුතුය යන්නත් පාසලේ සිට අනුගමනය කරනා සමාජයක සියල්ලටම වඩා සිරකාර චරිතයට කොටු වන්නේ දරුවාමය. තමන් සඳේ අසිරිය මැනවින් වින්දේ යයි ඔජ වඩනා වැඩිහිටියන් බොහොමයක් තම දරුවන්ට සඳ බලන්නට නිවෙසින් පිට වන්නට ඉඩ නොදෙති. පීනස හැදෙයි. ඒ අලේ සෞඛ්‍ය සිර ගෙයයි. අමාලී ඒ සිපිර ගෙදර බිඳ අනන්ත නිදහසක් විඳිනා දැරියකගේ ඒ තහනම් නිමේෂය තමන් වෙතම හැරෙන්නට උපකාරී කර ගනියි.
අද වන විට අපේ ජීවිත යනු ඒකාකාරී එමෙන්ස අප්‍රසන්න රටාවකට අනුව කෙරෙනා චලනයක් පමණි. ඒ ආතතිය, කලකිරීම, ඉන් ගැලවෙන්නද දරන අසාර්ථක උත්සාහය මෙන්ම අසරණකමද මනාව දකින්නට හැකි ස්ථානය මුහුණු පොතයි. අප දිනපතා මුහුණු පොතේ පල කරනා පෝස්ට් බොහොමයක ඇත්තේ අපේ ගැලවීම පතා කරනා නෙක දේවල්හී දෝංකාරයයි. නිර්මාණා.ත්මක ලෙස භාවිතා කළ හැකි අවකාශයක් හුදෙක් අපේ පුද්ගලික දිවිය සහ එහි විවිධ අහුමුලු අලවනා දැන්වීම් පුවරුවක් කරගැනීම හරහා පලවෙන අපේ ඛේදය අපටම නොවැටහෙයි.
අමාලි ගේ මූසික වත කවිය එවන් ඒකාකාරී දිවියක තිත්ත නිරූපණය කරන්නකි. කිසිදු හැලහොල්මනක් නැතිව එකතැන පල්වෙන දිවියකට අහම්බෙන් කඩා වදින මීයෙක්. ඉන්පසුව ඇතිවන අලකලංචි. මේ සියල්ල දෙස සරදම්කාරී බැල්මක් හෙලන අමාලි කවිය අවසන් කරන්නේ අපේ දිවිය මොන තරම් ඛේදයක් බවට පත්ව තිබෙන්නේදැයි ඉඟි කරමිනි.
මොක උනත් ඌ ඉද්දි
මේ ගේ පිරිලා තිබුණා
ගේ පුරා දුවන්නට
කෑ ගහන් පුටු උඩ නගින්නට
අපිට හේතුත් හැදිලා තිබුණා
ඌ නැතුවමත් පාළුයි
ඇගේ ඇතැම් කවියක කුටුම්භගත දිවියේ සරතැස සියුම්ව ගැබ්වෙයි. එහෙත් එහිදී පවා ඇය තැත් දරන්නී ඒ සරතැස මැඩ ස්නේහයම මතුකරගන්නටය. ආර්ථික විය ගසත්, ජීවිතය පැයෙන් පැය ගෙවා ගන්නට දරන වෙහෙසත් මැද ජීවිතය මිය යා නොදී පවත්වා ගන්නට කල යුතු අරගලයකට ඇවැසි සෙනෙහස ගැන ඇය සිය කවියෙන් විමසයි. එදයි අදයි යන කවිය මේ මැදිහත්වීමට කදිම උදාහරණයකි.
මේ සියල්ල මැද ඇයට සම්මුඛ වනුයේ අප ඉදිරියේ ළඹ දෙන සමකාලීන ජීවිතයයි. අමාලි මං කැමතියි යන කවියෙහිදී සාමූහිකත්වය වෙනුවට බෙදා වෙන්කරගත් වැඩ මත හැපෙන, ගෑනු පිරිමි වැඩ වෙන් වෙන්ව සීමා ඉරි ඇඳ ලකුණු කරන වටපිටාවක යන්ත්‍රයක් බවට හරවන ලද කතකගේ සිතුවිළි සියුම්ව පෙල ගස්වයි. එහෙත් එහිදීද අපට දැනෙුයේ තරහව, නොරිස්සුම නොව යටින්ම ගලා යන ආදරයක සිහිලමය.
මට හිතෙනවා සති දෙකකට
අතුරුදහන් වෙලා ඉන්න
මට පුළුවන් කියලා කියන
හින්දම හැංගිලා ඉන්න
ඇය දිගු ලැයිස්තුවකට පසු මෙසේ කියන්නීය.
රෑ හීනෙන් මං හොයද්දි
නෑ කියලා තනි දැනෙන්
හොඳම වැඩේ කොට්ට බදන්
හූල්ලමින් නිදාගන්න
මං ආසම මේ ඔක්කොම
කෙරෙන විධිහ බලාගන්න
සති දෙකකට හිටපු ගමන්
අතුරුදහන් වෙලා ඉන්න
අමාලි ආදරය අහිමි වෙමින් යන ලොවකට ආදරයේ පැහැය තවරන්නට කවි ලියන්නීය. ඇගේ ස්නේහ චාරිකාව හමුවේ අපට සැබෑ ලොවෙහි හමුවනුයේ එහි මලගමමය. ඒ මලගමෙහි මල බෙර නද මැද අමාලි වදන් පේලි මත ගොඩ නගන ස්නේහයේ අත්තිවාරම කැපී පෙනෙන්ට ගන්නේ ආදරය යනු ජීවිතයට අනුපානයක් නොව අත්‍යවශ්‍යම කලාපයක් බව වටහා ගත යුතු බව සිහිපත් කරන්නටය.