“හේමසිරි ලියනගේ චරිතයක් නිරූපණය කිරීමේදී සීමාරහිත නළුවෙක්”

Share post:

හේමසිරි ලියනගේ රංගධරයාගේ කලා දිවිය අගයමින් පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට නොලැබීම පිළිබඳව මම අතිශය කනගාටුවට පත් වෙනවා. මේ උත්සවයට මා සහභාගී විය යුතුම වන්නේ මගේ නිර්මාණ ජීවිතයේ සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකටම හේමසිරි අයියා සිය රංගනයෙන් දායකත්වය සපයා ඇති නිසාම නොවේ. ඒ නැති වුවත් ඔහු සිය රංගනයන්ගෙන් ජීවත් කළ භූමිකාවන් අපට තවමත් රසිකයින් ලෙස මතක නිසා.

හේමසිරි ලියනගේ මට මුලින්ම මුණගැසෙන්නේ මගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන චන්ද කින්නරී චිත්‍රපටයේදී. එදා පටන් මං තාමත් ඔහුට කතා කරන්නේ හේමසිරි අයියා කියායි. හේමසිරි අයියා “චන්ද කින්නරී සහ “මේ මගේ සඳයි”චිත්‍රපටවලත්, “දිය කැට පහන” සහ “සින්තටික් සිහින” ටෙලිනාට්‍යවලත් වැදගත්, ප්‍රධාන භූමිකාවන් රඟ පෑවා. ඔහු රඟපෑම විද්‍යාත්මකව හදාරා තිබෙනවා දැයි මා දන්නේ නෑ. එහෙත් ඔහු ජීවිතය ඉගෙනගෙන තිබෙනවා. සිය ජීවන අත්දැකීම් වලින් උගත් රඟපෑමේ කලාව වැඩමුළු සියගණනකට සහභාගි වුණත් උගත හැකි දැයි සැක සහිතයි.

හොඳම රඟපෑම ඉබේ කෙරෙන දෙයක්. එය හිතලා මතලා කරන දෙයක් නෙවෙයි. යාන්ත්‍රික ්‍රියාකාරකමුකුත් නෙවෙයි. සහජයෙන් පැන නගින්නක්.
චන්ද කින්නරී චිත්‍රපටියේ නිධාන භූමිකාව වන නන්දා ලෙස රඟපානුයේ ස්වර්ණා මල්ලවආරච්චි යි. ස්වර්ණා එවකට සම්මානනීය නිළියක්. සිනමා භාෂාවෙන් කියනවා නම් ‘තාරකාවක්’. නන්දාගේ ස්වාමිපුරුෂයා, Dharme ගේ චරිතයට පණපොවන්නේ හේමසිරි ලියනගේ යි. සාමාන්‍යයෙන් තරුවක් සමග එකට පිහිටන්නේ තවත් තරුවක්. මාලනී ෆොන්සේකා සමග ගාමිණී හෝ විජය. මෙහි ස්වර්ණා තරුවක් උනාට චිත්‍රපටයේ අනිත් අය තරු නෙවෙයි. W. ජයසිරි සහෝදරයා කියනවා වගේ අපි වගේ නිකම්ම නිකං වල්ගා තරු. සිනමා අඹරට පිවිසෙන්න තරුවක ගේ සරණ උවමනා උනාට සාමාන්‍ය මිනිහෙක්ගේ ජීවිතයේ ඛේදනීය අත්දැකීමක් සිනමාවට නඟන්න තරුවකගේ දිස්නය ඕනෑ නැහැ. ඒ උනාට සිනමාව කියන්නේ තරුපිරි අඹරක්. විශේෂයෙන් 90 දශකයේ ආරම්භයේදී ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇදී ගියේ තරු නරඹන්න.

චන්ද කින්නරී චිත්‍රපටියේ එක් ජවනිකාවක දිවි නසාගන්නා Dharme ගෙ දේහය නිවසට ගෙන එනවා. එය නිවසේ සාලයේ තැන්පත් කරන්න සූදානම් වන පිරිසට නන්දා අණ කර සිටින්නේ එය කාමරේ තැන්පත් කරන ලෙසයි. එහි එක් ජවනිකාවක නන්දාගේ මනසේ මැවෙන සිදුවීමක් ලෙස මිනී පෙට්ටියෙන් Dharme බිමට බසිනවා. එ සේ බැස මෘත ශරීරය වසා තිබුන ඇඳුම ගලවා තමා එදින උදයේ රැකියාවට යාමට ඇඳගෙන සිටි ඇඳුම් ඇඟලා ගන්නවා. එහිදී Dharme සම්පූර්ණයෙන්ම නන්දා ඉදිරිපිට නිරුවත් වෙනවා. මෙම දර්ශනය පිටපතේ ලියැවී තිබෙනවා. ඊට අමතරව මම අධ්‍යක්ෂක හැටියට වෙන කිසිදු රංග විධානයක් නළුවාට හෝ නිළියට දුන්නේ නැහැ. නවක අධ්‍යක්ෂක වරයෙක් හැටියට සිය පළමු චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන මොහොතේ මට වඩා පළපුරුදු ඔවුන්ට එවැන්නක් පැවසීමට තරම් ආත්ම ශක්තියක් තිබුණේ ද නැහැ. දර්ශනයට අවශ්‍ය කැමරා කෝණය සකසා එය රඟදැක්වීමට අවශ්‍ය action යන්න පැවසූවා පමණයි. Dharme ලෙස රඟපාන හේමසිරි අයියා කිසිදු පැකිලීමකින් තොරව පිටපතේ ඇති ලෙස කැමරාව ඉදිරියේ (මෘත ශරීරය වසා තිබුණු ) ඇඳුම් ගලවා අනෙක් ඇඳුම් ඇඳ ගත්තා.

මෙම ජවනිකාව සාමාන්‍ය දර්ශනයක් ලෙස අද පෙනුනත් එවකට සිනමාවට තරමක් සංවේදී දර්ශනයක්.
රඟපෑම කියන්නේ කාල්පනික අවස්ථාවක් තුළ විශ්වාසනීය ලෙස හැසිරීමයි. එම හැසිරීමට සීමා මායිම් තිබිය යුතු නැහැ.
හේමසිරි ලියනගේ චරිතයක් නිරූපණය කිරීමේදී සීමාරහිත නළුවෙක්. චරිතය ගොඩ නැංවීමට අවශ්‍ය සියලු දේ දීමට සූදානම් අයෙක්. ජීවිතය වුවත්. චන්ද කින්නරී චිත්රපටියෙහි Dharme සියදිවි නසාගන්නේ වැඩපොලේ ඇති උස වතුර ටැංකියක ට නැග තම ඉල්ලීම් ජීවිතයට හිලව් කර ඉල්ලා සිටීමෙන්. මෙය තරමක් උස වතුර ටැංකියක්. එයට ගොඩවෙන ඉණිමග පවා අබලන්. ජීවිත රක්ෂණ උපකරණ පවා නොමැති තත්ත්වයක් තුළ නොබියව වතුර ටැංකියට ගොඩවී කෑගසා තම ඉල්ලීම් ඉදිරිපත් කළ හැටි චිත්‍රපටය නැරඹූ ඔබ දකින්නට ඇති. එම දර්ශනය රඟපෑමෙන් පසු සෑහෙන දවසක් යන තුරු ඔහුට ඇවිද ගැනීමට පවා නොහැකි වූ බව මට තාම මතකයි.

අද රඟපෑමේදී එවැනි අනවශ්‍යය අවදානම් ගතයුතු නැහැ. එහෙත් හේමසිරි ලියනගේ රඟපෑමේ භාරදූර ත්වය , වගකීම් සහගත බව හඳුනාගත් පරපුරක රංගධරයෙක්. ඔහුගෙන් නව පරම්පරාවට උගත යුතු දෑ බොහෝයි. අද බොහෝ තරුණ නළු නිළියන් රඟපෑම එතරම් බරපතල විදිහට ගන්නවා දැයි සැක සහිතයි. ආශාවට කරන රඟපෑම ජීවත් වෙන්න කරන්න ගියාම අපි වගේ දුප්පත් රටක නළු නිළියන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒක ඒ අයගේ ප්‍රශ්නයක්ම නෙවෙයි.
ඒ ගැන කතා කිරීමට මෙය අවස්ථාව නෙවෙයි. එම නිසා අද ඇගයීමට ලක් වෙන හේමසිරි ලියනගේ කලා කරුවාට, රංගධරයාට දීර්ඝායුෂ පතනවා.

අශෝක හඳගම (fb)

සිනමා වේදිකා ටෙලියේ නම් දරන
දෙටුවෙකි කලා ලෝකය තුළ සැරිසරන
දවසින් දවස මොඩ් වෙන ඔහු නැත පරණ
ආඩම්බරත් ඇති ගම්මුන් හට හොරණ

ඇත වේදිකාවේ ඔහු කළ කල්කිරියා
ඔහුගෙම වැඩවලින් එහි තිරයද ඇරියා
නරඹපු අයට මත’කැති ඒවයි සිරියා
කොහොමද කේජු සමගින් ආ හැටි නරියා

දැනගෙන හතර මුල්ලම ඔහු රඟපෑමේ
කළ වැඩ ටිකට ඇත අපෙ ඉහළම ප්‍රේමේ
නෑ පුදුමයක් මේ හැටි ගමනක් ඒමේ
ඒ ගමනටයි මේ සැලියුට් එක හේමේ

ඔහු කළ චරිත එකිනෙක මතකෙට ඒය
අයි නෝ පුතා කිය කිය රඟ දුන් ලෝය
වැඩිවුණ විටදි මිනිහට රංඟන ගාය
රඟබිම ලියනගේ නොව නලියනගේය

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...