මහේල නිර්මාණය කළ මුම්බායි ඉන්ඩියන්ස් අර්බුදය

Share post:

ඉන්දීය ප්‍රීමියර් ලීග් කාලෙට ලංකාවේ වැඩිම පිරිසක් තෝරාගන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම.
ඉන්දීය ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් දහය අතරින් වැඩිම ශ්‍රී ලාංකික රසිකයන් ගණනක් ඉන්නේත් මුම්බායි කණ්ඩායමට.

එයට ප්‍රධානතම හේතුව සනත් ජයසූරිය.
පළමු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ පටන් ශ්‍රී ලාංකීකයො හදවතින් මුම්බායි කණ්ඩායමට සපෝර්ට් කළේ සනත් නිසා.

තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙනත් කණ්ඩායම් වලට ක්‍රීඩා කළත්, සනත් ගහනවා නම් ලංකාවේ මිනිස්සු හැමදාම හිටියේ සනත් ඉන්න තැන.
ඒ ලාංකිකයොන්ගේ හැටි.

ඉන්පසුව මාලිංග නිසා මුම්බායි ඉන්ඩියන්ස් ශ්‍රී ලංකා රසිකත්වය පැවතුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටීම ආරම්භ වූ 2014 න් පසු කාලයේ, IPL ක්‍රීඩා කළ එකම ස්ථිර ශ්‍රී ලාංකිකයා වුණේ මුම්බායි කණ්ඩායම නියෝජනය කළ මාලිංග.

මුම්බායි කණ්ඩායම කවදත් ශ්‍රී ලාංකිකයන්ට විවෘත වූ තැනක්.

IPL පුහුණුකාරීත්වයකට මුල්ම වරට ශ්‍රී ලාංකිකයෙකුට අවස්තාවක් ලබා දෙමින් මහේල ජයවර්ධන බඳවා ගත්තේත් මුම්බායි කණ්ඩායම.
මහේලගේ ආගමනයෙන් පසුව මුම්බායි කණ්ඩායමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු ඉඩ තරමක් අඩු වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම අයි.පී.එල් කණ්ඩායම වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ මොහොතේ පවතින්නේ දරුණු අර්බුධයක.
අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම.
කෙසේ වෙතත් සනත් ජයසූරිය, සචින් තෙන්දුල්කාර් වැනි ප්‍රබලයන් ක්‍රීඩා කළ පළමු IPL තරගාවලි පහ තුලම ඔවුන්ට ශූරතාවයක් ජය ගැනීමට හැකි වුණේ නැහැ.

2013 IPL තරගාවලියේ ඔවුන් නායකත්වයට රිකී පොංටින් ගෙන ආවා.

ක්‍රිකට් ලෝකයේ විශිෂ්ඨතම නායකයා ඔහු.

නමුත් එවකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටි පොංටින් පිතිකරුවෙකු ලෙස මුල් තරග කිහිපයේම අසාර්ථකයි.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ඔහු ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
ඔවුන් පොංටින් කණ්ඩායමෙන් ඉවත් කළා.

ඔහුගෙන් හිස් වූ නායකත්වය හිමි වුණේ, 25 හැවිරිදි තරුණ රෝහිත් ෂර්මා ට.
ඔහු ඉන්දීය කණ්ඩායමේ හෝ නායකත්වය සඳහා සුදානම් කළ ක්‍රීඩකයෙක් නොවෙයි.

නමුත් මුම්බායි කණ්ඩායම ඔහුට අවස්තාවක් ලබා දුන්නා.
එතැන් පටන් මුම්බායි ඉතිහාසය අලුතෙන් ලියවුණා.

තරුණ රෝහිත් යටතේ ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම 2013 වසරේ IPL ශූරතාවය ජයගත්තා.
ඒ මුම්බායි හි පළමු අයි.පී.එල් කිරුළ.
රෝහිත් ෂර්මාට මුම්බායි කණ්ඩායමේ ස්ථිර නායකත්වයත් හිමි වුණා.

ඉන්පසුව 2015 IPL ශූරතාවයත් ජය ගත්තේ රෝහිත් ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමමයි.
2020 වසරේ දී ඔවුන් ජය ගත්තේ සිය පස්වන ශූරතාවය.

නායකයෙකු ලෙස රෝහිත් වසර අටක් තුල IPL ශූරතා පහක් ජය ගත්තා.
පළමු IPL තරගාවලි පහේදීම අසාර්ථක වූ මුම්බායි කණ්ඩායම, රෝහිත් ගේ ආගමනයෙන් පසු සාර්ථකම කණ්ඩායම බවට පත් වුණා.

මහේල ජයවර්ධන මුම්බායි කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත්වන්නේ 2017 වසරේදී.
එවකටත් මුම්බායි ප්‍රබල කණ්ඩායමක්.

සාමාන්‍යයෙන් මුම්බායි කණ්ඩායම කෘතගුණ සැලකීමෙහි ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක්.

වසර ගණනාවක් පුරා ඔවුන්ට සේවය කළ ලසිත් මාලිංග ඔවුන් රැකබලා ගත් අයුරු ඊට හොඳ නිදසුනක්.
මෙවර IPL තරගාවලියේ සිට යළිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස කණ්ඩායමට බඳවා ගැනීමටත් ඔවුන් තීරණය කරලා.

එවැනි මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරීත්වය පසුගියදා ගත්තේ ඇදහිය නොහැකි තීරණයක්.

රෝහිත් ෂර්මා මුම්බායි නායකත්වයෙන් ඉවත් කරන බව පසුගියදා මහේල ජයවර්ධන දැනුම් දුන්නා.
ගුජ්රාත් කණ්ඩායමෙන් යළි මිලට ගත්, හිටපු මුම්බායි ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්‍යා මුම්බායි නායකත්වයට පත් කළා.

එය මුම්බායි රසිකයන් බලාපොරොත්තු නොවූ තීරණයක්.

තවමත් ඔවුන් ආදරය කරන, ඔවුන්ගේ නායකයා රෝහිත්.

යම්කිසි මොහොතක ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූවා නම්, එය කළ යුතු පිළිවෙලක් තිබුණා.
රෝහිත් මුම්බායි කණ්ඩායමේ පුරාවෘත්තයක්.
මුම්බායි කණ්ඩායම ගොඩනැගූ නායකයා.

අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම නායකයාත් රෝහිත් ෂර්මා.

ඔහුට මීට වඩා ගෞරවයක් ලබා දී නායකත්වයෙන් ඉවත් කිරීමට තිබුණා.
මේ තීරණයෙන් පසුව මුම්බායි කණ්ඩායමේ සමාජ ජාලා ගිණුම් වලින් රසිකයන් ලක්ෂ ගණනක් ඉවත් වූයේ ඒ නිසා වන්නට ඇති.
තමන් නායකත්වයෙන් ඉවත් කරන බව තමන්ට දැනුම් නොදුන් බව දැන් රෝහිත් කියනවා.

තමන් මේ තීරණය පිළිබඳ දැනුවත් වූවේ ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් එකකින් බවත්, එය ඉතා වේදනාකාරී වූ බවත් ඔහු ඉන්දීය මාධ්‍යයට කියා තිබෙනවා.
මුම්බායි ඉහළ හිමිකාරීත්වයට අනුව කණ්ඩායමේ අනාගතය සහ උපක්‍රම ගොඩනැගීම ඉහළ පුහුණුකරු මහේල ජයවර්ධනගේ වගකීමක්.
මුම්බායි හිමිකාරීත්වය යටතේ ඇති ලොව පුරා සෑම කණ්ඩායමකම වැදගත් තීරණ සියල්ල ලබා ගන්නේ මහේල ජයවර්ධන.
මහේල මුම්බායි හි ඉහළතම විධායක නිළධාරියා.

රෝහිත් නායකත්වයෙන් ඉවත් කිරීමත්, හාර්ඩික් නායකත්වයට පත් කිරීමත් ඔහුගේ තීරණයක්.
කෙසේ වෙතත් මේ තීරණයෙන් මුම්බායි කණ්ඩායමේ බරපතල අර්බුධයක් නිර්මාණය වන බව පැහැදිලියි.
කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහ නවකයන්ගේ ප්‍රියතම නායකයා රෝහිත්.
රසිකයන්ගේ නායකයා රෝහිත්.

වෙනත් කණ්ඩායමක සිට පැමිණි වහා නායකත්වය හිමි වූ පාන්ඩ්‍යාට ඔවුන් එතරම් ප්‍රිය කරන්නේ නැහැ.
මහේලටත් ඔහුගේ තීරණය සාධාරනීකරණය කිරීමට හේතු ඇති.
මුම්බායි අනාගතය පිළිබඳව ඔහුටත් ඔහුගේම සැලසුමක් ඇති.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකාරීත්වයත් දරනා මහේල ජයවර්ධන විශිෂ්ඨ පුහුණුකරුවෙකු සහ සැලසුම්කරුවෙකු විය හැකියි.
නමුත් ඇතැම් සුවිශේෂි සිදුවීම් කළමනාකරනයෙහි ඔහු දක්ෂ නොවන බව මේ සිදුවීමෙන් පැහැදිලියි.
ඉතා සුමටව කළමනාකරනය කළ හැකිව තිබූ තත්ත්වයක් අර්බුධයක් කරා ගියේ ඒකයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...