දිලිත්ලාගේ සම්මාන උළෙලේ කන්‍යාවී ඉහළට එසවූයේ ඇයි ?

Share post:

ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමටත්, කප්පම් ලබාගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටත්, වැලිකඩ සැලසුම් කරන ලද සමූහ ඝාතනයටත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයටත් ආදී වශයෙන් ලංකාව නම් අපරාධ රාජ්‍යයේ තීරණාත්මක තැන්වලදී ඝාතකයන් කිසිවකු හිරගෙදර ගියේ නැත. ඒ වෙනුවට කොන්ත්‍රාත්කරුවෝ, නැතහොත් නමට විත්තිකරුවෝ කිහිපදෙනෙක් හිරේ ගොස් ආපහු ආහ.

දේශබන්දු තෙන්නකෝන් ජාතියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරන ලද වධකයකු පොලිස්පති වී පෙන්වන්නේ යුක්තියේ, ඒ නිරුවතේ තරමයි.

ඇස් බැඳුනු – සළු පැළඳු කන්‍යාවියට මේ අපරාධ රාජ්‍යයේ කළ හැකි දෙයක් නැත. නීතියේ දෙවඟන හෙවත් තරාදිය අතින් ගත් මේ කන්‍යාවියගේ ඇස් බැඳ ඇත්තේ කිසිවකු විශේෂිත ලෙස නොදැක, තීන්දු-තීරණ ගැනීමට ය. සමාන ලෙස සැලකීමට ය.
තරාදිය හැමවිටම දෙපැත්ත බැලන්ස් විය යුතුය.

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත, මිහිඳු ආරියරත්නගේ ‘කන්‍යාවී’ ගීතයේ පද පෙළේ ඇති තීරණාත්මක ම වචනය කන්‍යාවී යන්නයි.
‘නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි’
මැරී – නොමැරී – නෑ නොමැරී … ඇය මැරිලා ය. කන්‍යාවිය පණපිටින් මැරිලා ය. තීරණාත්මක ලෙස ඇයගේ ස්වාධීනත්වය අහිමි කර ඇත. එහෙත් සළු පළඳා තිබේ. පිටතට පේන්නට, ඇඟ බේරාගන්නට සළු පළඳා තිබේ.

ඇස් බැඳ, සළු පළඳා තිබේ. කන්‍යාවියට පමණක් නොවේ. ජනතාවට ද කර ඇත්තේ මේක ය. බලය ලබාගැනීම සහ බලය පවත්වාගැනීම වෙනුවෙන් තමන් කරන අපරාධ දකින නිසා ඔවුහු ජනතාවගේ ඇස් බැන්දාහ. එහෙත්, ජනතාව සතු බලය පිළිබඳ දැනුවත් ඔවුහු අන්තවාදී මතවාද ඇතුළු සළු පිළි යැයි මවා පෑ විස කටු ඇතිරූහ.

චින්තක ගීතදේව ‘දවසක් මම පාර දිගේ’ ගීතයේ කිව්වේ ‘වැල්ලවත්තෙ කුණු කාණු දිගේ – පිච්ච මලක් පාවෙලා ගියා’ කියලා ය. වැල්ලවත්ත, පිච්ච මල තීරණාත්මක සංකේත ලෙස යොදාගනිමින් ඔහු කී දේ, මිහිඳු ආරියරත්න – කසුන් පුස්සෙවෙල ‘පිලී ගඳයි, රතු රුධිරෙයි – කාණු දිගේ… වීදි පුරා…’ යනුවෙන් තවත් තීව්‍ර කරති.

71දී, 88-89දී, 2009දී තවත් කොච්චරක් නම් වීදි පුරා, කාණු දිගේ රුධිරය ගලාගියේ ද? ඒ පිලී ගඳ ගිලගත් මේ පොළොව සුවඳවත් කරන්නට අඩු තරමේ පියවරක් හෝ ඉදිරියට තබන්නට හැකි වී තිබේද? ඒ වෙනුවට කාණු දිගේ රුධිරය ගලායන්නට සැලසුම් හැදූ, වීදි පුරා ලේ හැලූ පිරිස් යළිත් – යළි යළිත් බලය අත්පත් කර ගනිමින්, අත්පත් කරගන්නට සැලසුම් හදමින් සිටී.

තවදුරටත් කළු සපත්තු හඬ දොරට එපිටින් ඇසෙමින් තිබේ.
‘මහ පාරේ සෝපාකලා…
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..’

කනත්තක තනි කර දැමූ සෝපාක මෙන් හඬන්නට සූදානම් නැති, තොරතුරුවලින් සන්නද්ධ පරපුරක් සමග පවා බලය ගනුදෙනු කරන්නේ පරණ තියරියෙන්ම ය. බෙදා වෙන් කොට, පාලකයාගේ නීතියෙන් ඔවුන් මර්දනය කරන්නට සූදානම් වුවද, ඔවුන් සෝපාකලා මෙන් අසරණ නැත. එහෙත් ඝාතකයන්ට ඇති බලය, එනම් ඇතුළේ සහ එළියේ හයිය ඔවුන්ට නැත.

මල්වතු – අස්ගිරි විහාරවල නායක හිමිවරුන් මැති-ඇමැතිවරුන්ට එන්නට එපා යැයි කී අවස්ථාවේ, උන්වහන්සේලා මුරුංගා අත්තේ තැබිණි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගැසූ ගැටය ගැන අවබෝධයෙන් දෝ – අනවබෝධයෙන් දෝ, පෝලිමේ ගොස් දුක කියන්නට සෝපාකලා ද සිටියහ. එහෙත් දැන් නැවතත් මුරුංගා ගහ පාමුල සිටින්නේ දේශපාලනඥයන් ය. සෝපාකලා ඈතට කොට අවසන් ය.

ජනතාවගේ පපුවේ හැමදාමත් රතු පාටින් වෙඩි වරුසා තිබිණි. මතක තබාගන්න, පපුවේ ය වෙඩි වරුසා තිබුණේ. ජන ඝාතන රැසක් මැදත්, යළි-යළිත් අවදි වන ශක්තිය එයයි. කන්‍යාවී ඇතුළතින් මිය ගොස් සිටියදීත්, කන්‍යාවියගේ ආරක්ෂාව නැති බව දැන-දැනත් සටන් ඇවිළෙයි.

හිතන්න. 2009 යුද්ධයේ අවසානයේදී කිරිබත් කන ජනතාව දෙස බලා මහින්ද රාජපක්ෂ මෙසේ කිව්වේ නම්…
‘ජනතාව ලෙස ඔබේ තීරණවලට මම විරුද්ධ නෑ. ඒත් රටේ නායකයා ලෙස මට කිරිබත් කෑම උත්කර්ෂයට නංවන්න බෑ. මේ යුද්ධය තුළ කරපු සියලු වැරදි සම්බන්ධයෙන් අපි නැවත කතා කළ යුතුයි. එහි අරමුණ නැවත යුද්ධයක් ඇති නොවීමයි. ඉන්පසු අපි සියලුදෙනා එක්ව, මේ රට ගොඩනැගිය යුතුයි. මියගිය දහස් ගණන් – මරා දැමුණු දහස් ගණන් සියල්ලන් රතු ලේ ඇති තරුණයන්. ඔවුන් සියල්ලන්ට මේ රට ගොඩනැගීම වෙනුවෙන් කළ හැකිව තිබූ දේ කොපමණක්ද. අපි දැන් සිට පටන් ගමු.’
එහෙත් එවැනි දියුණු නායකයන් අපට නැත. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ වැනි අපරාධකාරයකුගෙන් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බව ද අපි දනිමු. පශ්චාත් යුද මානසිකත්වය සකස් කිරීමේ, නැතහොත් සමාජයක් ලෙස රුධිරය අමතක කරවීම වෙනුවෙන් කිසිදු මුදලක් වැය නොකළ මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා, ඉදිරියේදී එසේ කරන්නේ ද නැත.

මේ සියලු තැන්හිදී සමස්තයක් ලෙස අප අසමත් ය. අපරාධ රාජ්‍යය ගොඩනැංවීමේ මහා ව්‍යාපෘතියේ අපටත් සුළු පරිමාණයෙන් හෝ කොටස් හිමි ය. මෙතෙක් කලක් නිහඬ වීම යනු ද එහි එක් කොටසකි. එහිදී ආගමික නායකයන් වගකිව යුතුයි, මාධ්‍ය වගකිව යුතුයි යනුවෙන් කොටස් බෙදිය නොහැකිය.

ඒ වගේම, මේ සමස්ත ව්‍යසනය ඉදිරියේ කන්‍යාවියට ගැලවී සිටිය හැකි යැයි විශ්වාස කළේ නම්…

එසේ විය නොහැකිය. කන්‍යාවිය යනු ද මේ ව්‍යසනයේ ම තවත් එක් තීරණාත්මක හරස්කඩකි. එම නිසා කසුන් පුස්සෙවෙල ලියූ, මිහිඳු ආරියරත්නගේ ගීතයට අදහසක් ඉදිරිපත් කරන්නට කැමැති ය.

වහාම කන්‍යාවියගේ දෑස් ලිහා දැමිය යුතුය. දූවිලි පහස නොලත්, සළු පැළඳි ඇය, මහ පාරට කැඳවාගෙන ආ යුතුය. මහ පාරේදී කළු සපත්තුවලට යටවූ සෝපාකලා මියැදෙන හැටිත්, ඝාතකයන් නිදොස් කොට නිදහස් ව මිනී මරන හැටිත් ඇය දැකගත යුතුය. ඇය සත්‍යයේ කිමිදිය යුතුය. කෝපයෙන් ඇවිලිය යුතුය. හාමතේ සිටිය යුතුය.

මේ සියලු අපරාධ පිටුපස නයි නැටවූ දිලිත් ජයවීරලා වෙනත් වටයකින් සළු අඳිමින් සිටී. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් හරහා වේගවත් ගමනක් යන ඔවුන් මේ ඉව අල්ලන්නේ, අල්ලාගන්නට නොහැකි වූ ගොදුරුවලට ය.
කසුන් පුස්සෙවෙල – මිහිඳු ආරියරත්න සුසංයෝගයට දෙරණ මියුසික් අවෝර්ඩ් හිදී Best Concept සම්මානය ලබාදීම මේ මොහොතේ වඩාත් තීරණාත්මක වන්නේ ඒ නිසා ය. කසුන්ලා අල්ලාගන්නට දිලිත්ලාට නොහැකි වුවද, කසුන්ලාගේ ප්‍රේක්ෂක – ශ්‍රාවක පිරිස් ඇතැම් විට මුල් වටයේදී දෙගිඩියාවකට පත්කරන්නට මේ තීරණ හේතු වනු ඇත.

ශාලික විමලසේන

Best concept – Awarded
Best rock music – Awarded
Best direction – Nominated
Best alternative video – Nominated
Best music video of the year – Nominated
Best overall act by a singer – Nominated

කන්‍යාවී !

පද – කසුන් පුස්සෙවෙල
හඬ / සංගීතය – මිහිඳු ආරියරත්න

ගීතයට පිවිසෙන්න :

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...