රටවල් දෙකක්, එක් අර්බුධයක්

Share post:

පහුගිය දිනයක ඛෙත්තාරාමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ රැස්වීමක් තිබුණා. ඒ උපදේශන පුහුණුකරු මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
සිල්වර්වූඩ් ඇතුලු සියලූම පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඊට සහභාගී වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වය පිළිබඳවත්, ලෝක කුසලානයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳත් එහිදී සාකච්ඡාවට ලක් වුණා.

ඉතා ස්වල්ප මොහොතකින් මේ රැස්වීම උණුසුම් වුණා. පරාජයන් සහ දුර්වලතා සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරගත්තා.
අවසානයේ ඛෙත්තාරාමයේ සේවකයන්ට ඇසෙනා තරමටම, වාද විවාද දුරදිග ගියා. සෑම දෙනාම පරාජයන්ට සහ දුර්වලතාවයන්ට එකිනෙකාට චෝදනා කරගත්තා විනා, වගකීමට උර තැබීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. වැරදුනු තැන්, හරිගිය තැන් සහ හදාගත යුතු තැන් පිළිබඳ සාධනීය සාකච්ඡාවක් වුණේ නැහැ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඊයේ සිය තනතුරු වලින් ඉල්ලා අස් වුණා. ඒ ශාරීරික යෝග්‍යතා කළමනාකරු ග්‍රාන්ට් ලූඩන් සහ භෞතචිකිත්සක ක්‍රිස් ක්ලාර්ක් දෙදෙනායි. ලෝක කුසලානය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා පහල තැනක තිබූ බව රහසක් නොවෙයි. ඒ පිළිබඳව චෝදනා එල්ල වීම ග්‍රාන්ට් ලූඩන් ගේ සහ ක්‍රිස් ක්ලාර්ක් ගේ ඉල්ලා අස් වීමට හේතුවන්නට ඇති.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ශාරීරික යෝග්‍යතාවය සහ ආබාධ වසර ගණනක සිට පවතින ඒවා මිසෙක මෑතක ඇති වූ ඒවා නොවෙයි.

මේ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන් ඊයේ පාර්ලිමේන්තුවට කැඳෙව්වා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව පැනවූ විශේෂ කැබිනට් සභාව ඉදිරියේ ප්‍රශ්න කිරීමටයි. මේ මොහොතේ අබුඩාබි හි සිටිනා ක්‍රීඩකයන් අන්තර්ජාලය ඔස්සේ මේ රැස්වීමට සහභාගී වුණා. ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටළු, පාලනාධිකාරිය පිළිබඳ ඔවුන්ගේ ආකල්ප ආදිය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් වෙලා. දින කිහිපයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කටයුතු සිදුවෙමින් පවතින අයුරු අනුව එක් දෙයක් පැහැදිලියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටිනා අර්බුධය පිළිබඳව නිශ්චිත අදහසක් හෝ එය විසඳීමට පැහැදිලි වැඩපිළිවෙලක් අප සතුව නැහැ.

මේ මොහොතේ ක්‍රිකට් අර්බුධය දේශපාලනික ගැටලුවක්. තවත් පිරිසකට බල අරගලයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අර්බුධය විසඳීමට වඩා, අර්බුධය හේතුවෙන් ඔවුන්ට ඇති වී තිබෙන සෙසු ගැටලු විසඳාගැනීමට වගකිව යුත්තන් ප්‍රමුඛත්වය දීලා.
2023 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජයන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ස්වරූපය ලොවම ඉදිරියේ ප්‍රදර්ශනය කළා.
සැබැවින්ම මේ පරාජයන් ගෙන ආවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කළ යුතු වෙනස්කම් සිදු කිරීමටත්, යළිත් ගොඩනැගීමටත් අවස්තාවක්.

මෙවැනිම අර්බුධයකට 2015 වසරේ එංගලන්තය මුහුණ දුන්නා. 2015 ලෝක කුසලානයේ ඔවුන් අන්ත පරාජයන් ලැබූවා. බංග්ලාදේශයට පවා පැරදුනා. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වූ අර්බුධය සහ කඩාවැටීම ඔවුන්ට යළි නැගිටීමට අවස්තාවක් වුණා. ලෝක කුසලාන පරාජයෙන් පසුව ඔවුන්ට වැරදුනු තැන් සහ දුර්වලතා පිළිබඳ එංගලන්ත කණ්ඩායම ඇතුලේ සංවාදයක් ගොඩනැගුණා. සම්පූර්ණයෙන්ම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළා. බොහෝ දේ අලුතෙන්ම පටන් ගත්තා. බොහෝ තැන් වෙනස් කළා. 2015 ලෝක කුසලාන පරාජයෙන් පසුව එංගලන්ත ක්‍රිකට් සන්නාමයම වෙනස් වුණා.
ඔවුන් ක්‍රීඩා කළ රටාව, ඔවුන්ගේ ආකල්ප සහ ශාරීරික භාෂාව පවා වෙනස් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ලෝක කුසලානය එංගලන්තය ජය ගත්තා.

ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් නමුත්, එතෙක් ලෝක කුසලානයක් ජය ගැනීමට අපොහොසත් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන්ට ලෝක කුසලානයක් ජය ගැනීමට ඉවහල් වූයේ 2015 අර්බුධය. ඒ වගකියන, සාධනීය මිනිසුන් අර්බුධ භාවිතා කළ අන්දමයි. 2023 ලෝක කුසලානයේ ලැබූ අන්ත පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් එවැනි අවස්තාවක් ලබා දුන්නා. නමුත් සුපුරිදු පරිදි අප ඒ අවස්තාව අත්හැරියා.

ශ්‍රී ලංකාවේ ඕනෑම ගැටලුවක් මෙන් ක්‍රිකට් අර්බුධයත් දේශපාලනීකරනය වුණා. බල අරගලයක් වුණා. වංක අරමුණු උදෙසා භාවිතා වුණා. වගකීම සහ වගවීම වෙනුවට චෝදනා කිරීම් සහ ඇඟිලි දික් කිරීම් පමණක් ඇසුණා. වෙනස්වීම් සහ විසඳුම් වෙනුවට නිදහසට කරුණු පමණක් කිව්වා.
එහි ප්‍රතිඵල 2024 වසරේ දී දැකගැනීමට හැකි වේවි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...