“මැටි කරත්තය” වික්ටෝරියානු සුචරිතවාදයෙහි නවතා තැබීම

Share post:

මාසයක පමණ කාලයකට කලින්ම දින නියමකර තබා ගන්න යැයි පරාක්‍රම නිරිඇල්ලගෙන් ලැබුණු දැනුම්දීම අනුව නොවැම්බර 18 සෙනසුරාදා සවස එල්ෆින්ස්ටන්හි ඔහුගේ “මැටි කරත්තය” නාට්‍ය නැරඹීමට ගියෙමි. සත්වන සිය වසේදී ශුද්‍රක විසින් එය සංස්කෘත බසින් ලියා ඇත්තේ “ම්රිචාකටිකම්” යනුවෙනි. එය ඉංග්‍රීසියෙන් “ලිට්ල් ක්ලේ කාට්” විය. පරාක්‍රම ඉංග්‍රීසියෙන් වූ “ලිට්ල්” අතහැර ශුද්‍රකගේ සංස්කෘත මැටිකරත්තය, සැළකිය යුතු සංස්කරණයක් සමගින් පැය 02 කුත් විනාඩි 20 ට පමණ කෙටිකර සිංහලෙන් නාට්‍ය වේදිකාවට ගෙනවිත් තිබුණේ පියදාස නිශ්ශංකගේ පරිවර්තනයෙනි.

මේ නාට්‍ය වේදිකාවට ගෙන ඒම ගැන කෙටියෙන් කිවහොත් රීතියක් හැටියට පරාක්‍රම නිරිඇල්ලගේ නිර්මාණ වෙහෙසකින් තොරව රස විඳිය හැකි අයුරු මෙයද රස විඳින්නට හැකි වූවකි. විරාමයක්ද නොමැතිව පැය දෙකකට වැඩි කාලයක් කලබලයක් නැතිව එක හුස්මට නැරඹිය හැකි තරමට එය සාර්ථක වූවකි. එයට සැළකිය යුතු සංඛ්‍යාවක් වූ රංගන ශිල්පීන් සියල්ලෝම කැපවීමකින් යුතුව එක්ව සිටියහ.

පරාක්‍රම නිරිඇල්ල

“මැටි කරත්තය” නරඹා රාත්‍රී ලංගම බසයක තනිව එන විට කල්පනා කරමින් පැමිණියේ ශේක්ස්පිය නාට්‍ය යම් ආකාරයකින් මැටි කරත්තයේ නාට්‍ය ආරට නෑකම් නොකියන්නේදැයි කියා ය. මෙහි ප්‍රධාන නාට්‍ය නිමිත්ත වන වසන්තසේනා නම් අතිශය වත් පොහොසත් සුරූපී තරුණ අභිසාරිකාවගේ ආදරය ලබන්නට කලෙක ධනවත්ව සිටි මානුෂික, ගුණ යහපත්කම් ඇති විවාහක ප්‍රභූවරයෙකු සහ ඇයගේ ශෘංගාරාත්මක පහස ලබන්නට රජ මාළිගාවේ බලය යොදා ගන්නා මහ බිසවගේ සහෝදරයෙකු අතර ගැටුම සමග තවත් ප්‍රේම සම්බන්ධතා, රාජ්‍ය විරෝධී කැරළි, සොරකම් වැනි අතුරු නිමිති කිහිපයක්ද ඇත. එනිසා ශේක්ස්පිය නාට්‍යවල මෙන් සැළකිය යුතු රංගන ශිල්පීන් සංඛ්‍යාවක් මෙහි ඇත.

මැටි කරත්තයෙන් සියවස් 09 ට පමණ පසු ලියැවුනු ශේක්ස්පියගේ “හිතුවක්කාරී දමනය” (ටේමිං ඔෆ්ද ශ්රූ) නාට්‍යයෙහි පෙට්රූචියෝ, ශුද්‍රකගේ මැටි කරත්තයේ ඉන්නා පාලක රජුගේ මස්සිනා වන සන්ස්ථානක වැනි යැයි සිතින. ශුද්‍රකගේ සන්ස්ථානක මෙන්ම ශේක්ස්පියගේ පෙට්රූචියෝද ඔහුව ප්‍රතික්ෂේප කරන කැතරීනාව තම වසඟයට ගැනීමට මුදල්, බලය, බලහත්කාරය වැනි සියල්ල ප්‍රදර්ශනය කරන්නේ ඔහුගේ ආදරය විසින් ඔහුව ඒ වෙනුවෙන් පොළඹවන ලෙසිනි.

ශේක්ස්පියගේ පෙට්රූචියෝ මැටි කරත්තයේ චාරුදත්ත මෙන් වංසක්කාර විවාහකයෙකු නොවේ. එහෙත් මේ නාට්‍ය පූර්ණ වශයෙන් සන්සන්දනය කළ නොහැක්කේ ඒ නිසාම නොවේ. නිරිඇල්ලගේ මැටි කරත්තයේ ඇති සීමා වලට බෙහෙවින් හේතු වන්නේ ශුද්‍රකගේ පිටු 670 ක පමණ සංස්කෘත නාට්‍ය පිටපත දෙකෙන් පංගුවකට පමණ සිංහලට හැකිලීමෙහි යැයි සිතමි. මේ නාට්‍යයෙහි වසන්තසේනා හැරුණු විට ප්‍රධාන චරිත දෙක වන සන්ස්ථානකගේ සහ චාරුදත්තගේ චරිත දෙකම ඒවායේ සැබෑ වර්ධනයට නොගොස් ඇත. එනිසාම වසන්තසේනා හදවතින්ම ඉල්ලා සිටින ආදරයේ අධිශ්ඨානය ඉස්මතු කෙරෙන්නේද නැත.

ශුද්‍රකගේ මුල් නාට්‍ය පිටපතෙහි චාරුදත්ත ආදරය හමුවේ සැලෙන සිත් ඇත්තෙකි. ඔහු වසන්තසේනාට පෙම් බඳින මුත් එය සෘජුව සහ විශ්වසනීය ලෙස ප්‍රකාශ නොකරන්නේ, විවාහකයෙකු නිසාද නොවේ. ශුද්‍රක ගේ සමාජයේ වත් පොහොසත් නම්බුකාර අභිසාරිකාවන් සිටියේ තනිකඩයින් වෙනුවෙන් නොවේ. බිරින්දෑවරුනට වසන්කර සේවනය කිරීමටද නොවේ. එහෙත් චාරුදත්ත සිය ආදරය ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ධෛර්යක් විශ්වාසයක් තිබූවකු නොවුනු හෙයින් ආදරය හමුවේ අතීරණාත්මක විය. එයට උත්තරයක් ලෙස ඔහු ඇයගේ අවංකත්වය ගැන සැක ඇති කර ගන්නීය.

අවංක වූවත් එතරම් ඥාණාන්විතයෙකු නොවන චාරුදත්තගේ සුමිතුරු මෛත්‍රිය අභිසාරිකාවක් පාවහන් තුල රැඳුනු ගල් කැටයක් වැනි යැයිද එය ඉවත් කරන තෙක් රිදුම් දෙන්නේ යැයිද වසන්තසේනා ගැන කී විට, චාරුදත්ත ඔහු හා එකඟ වන්නේ,

“අශ්වයෙකු ඇවිද යනු ඇත, කැමැත්තෙන් ඔබ මොබ,
එනමුදු ගිය විට හුස්ම, පාද නොයනු ඇත එළෙසම.
අපෙක්ෂා පිරිමිනගේ, සරණු ඇත නිදැල්ලේ,
විඩා පත් වූ විට නැවත, ලගිණු ඇත හදවතෙහි නිහඬව.
ඒ වගේම මිතුර,
ඇතොත් වත්කම් සිටිනු ඇත ගැහැණුන්
දිනාගත හැක්කේ, රත්තරනින්ය ගැහැණුන්.
(අනතුරුව පැත්තකට හැරී, මඳක් ශබ්ද නගා)
තවත් මම නොවෙමි වත් පොහොසත්
ඇය මගේ නොවනු ඇත එතෙකින්.”

යැයි කියමින් ය.
එහෙත් නගරයේ විශාල වත්කමක් ඇති ධනවත් වසන්තසේනා ඔහුට පෙම් කරන්නේ ඔහුගේ වංසක්කාර පෙළපතට හෝ ඔහු කලෙක වත් පොහොසත් ප්‍රභූවරයෙකු වූ නිසා හෝ නොවේ. ඔහු සැබවින්ම පරාර්ථකාමියෙකුවන ගුණ යහපත් මනුස්සයෙකු යැයි වන අවබෝධය නිසා ය. ඔහුගේ ධනය ඔහු අනෙකුන් වෙනුවෙන් වැය කර දුප්පතෙකු වී යැයි ඇය විශ්වාස කළ නිසා ය. ඔවුනගේ ආදරය කියා පාන්නට පෙළඹෙන්නේ චාරුදත්ත නොව, වසන්තසේනා ය. ඇය වරක ඔහුගේ පැරණි විසල් නිවසට ගොඩ වන්නට හේතු හදා ගන්නේ ඔහු ආදරය ප්‍රකාශ කරන්නට ඉදිරිපත් නොවන කල්හිය. එතැන්හිද ආදරයෙන් තමාව වැළඳ ගැනීමට ඔහුව උනන්දු කරවන්නී, වසන්තසේනා ය.

එදින අනෝරා වැසි නොතකා චාරුදත්තගේ නිවසට යන ඇය සහ ඇය සමග වූ සහකරු අතර වූ කාව්‍යයම සංවාදයෙහි ඇය කියන්නී,
අහෝ නිර්ලජ්ජී අහස, නිර්ලජ්ජීය අහස නුඹ,
හෙණ බිඳිනු ඇයි? මම,
තුරුළු වනවිට, මගේ පෙම වෙත.
බියට පත්කර, කිම දෙනු වේදනා
පුපුරවා හෙණ, වැසි වැටෙයි සිර කරන් මා.
ඉන්ද්‍ර දේවෝ, රජුනි දේවෝ,
ආදරය දෙනු යුතුද මා, පෙරාතුව නුඹට
නුඹට හිමි වළාකුළු දැන් ගොරවනා සිහ නද වැනිය
නොම එවනු, නුඹේ මහ වැහි නොම එවනු මැන,
හිරිහැර නොකරනු මට, ආදරය වෙත මගේ යන විට.

එවැනි අතීරණාත්මක චාරුදත්ත කෙනෙකු සහ ප්‍රේමයෙන් මුසපත් වසන්තසේනාවියකු මේ වේදිකාවේ මට හමු නොවුනි. ඉතා බරපතල සංස්කරණයක ශුද්‍රකගේ චාරුදත්ත සහ වසන්තසේනා වේදිකාවේ රැඳවීම අපහසු යැයි මම සිතමි.

එවගේම ශුද්‍රකගේ පිටපතේ ඉන්නා සිත්පිත් නැති කුරිරු සන්ස්ථානකද මෙහි නොවුනි. මෙහි සන්ස්ථානක විටෙක ආත්මාර්ථකාමී, විටෙක වෛරයෙන් කෑගසන සහ තවත් විටෙක නිවටයෙකු ලෙස හමුවන නමුත්, වසන්තසේනාගේ ගෙල මිරිකා ඇයව ඝාතනය කළ දැඩි තීන්දුවක හුන් සන්ස්ථානකද එහි නොවීය. සන්ස්ථානක ඔහුගේ සහෝදරිය වන මහ බිසව විසින් ඔහුට දෙනු ලැබුවේ යැයි කියන පුෂ්පකරන්ද උයනට කරත්තය වැරදී ඔහුගේ කරත්තයෙන් පැමිණි වසන්තසේනා සමග ඇතිකර ගන්නා බහින් බස් වීමෙන් පසු, ඇය නොකඩවා ඔහුව ප්‍රතික්ෂේප කිරීමද සිහි ගන්වා ඇයව ඝාතනය කිරීමට තීන්දු කළ පසු සිදුවීම් පෙළ ඔහු කෙතරම් සූක්ෂම ලෙස එය සිදුකිරීමට උත්සාහ කරන්නේදැයි ශුද්‍රක රචනා කර තිබෙන්නකි.

ඔහුගේ කරත්තයේ ඉන්නේ මායාකාරියක් නොව වසන්තසේනා යැයි සන්ස්ථානක දැන ගැනීමත් තමන්ට වැරදී පැමිණ ඇත්තේ සන්ස්ථානකගේ කරත්තයේ බැව් වසන්තසේනා තේරුම් ගැනීමත් ගැල්කරුවන ස්ථාවරක හා සන්ස්ථානකගේ විශ්වාසවන්ත හවුල්කරු හරහා හෙළි කෙරෙන්නකි. අනතුරුව වසන්තසේනා සමග ඇතිවන බහින් බස්වීමෙන් පසු සන්ස්ථානක පළමුව ඇයව ඝාතනය කිරීම තමන්ගේ දෑතින් කරන්නේයැයි තීන්දුකර පසුව එය වෙනස් කරන්නේ අනෙකුන් එය දැන ගනු ඇතැයි වූ සැකයෙනි. එනිසා ඔහු පළමුව ස්ථාවරක ගැල්කරුට වසන්තසේනා ඝාතනය කිරීමට අණ කරන්නේය. ස්ථාවරක එය ප්‍රතික්ෂේප කිරීම ඔවුන් අතර දිගු වාදයකට හේතු වන්නේය. දෙවනුව ඔහු ස්ථාවරකට පිටව යන්නට අණකර ඔහුගේ හවුල්කරුට ඇයව ඝාතනය කිරීමට අණ කරන්නේය. ඔහුද එය ප්‍රතික්ෂේප කිරීමෙන් සන්ස්ථානක තවත් කේන්ති ගන්නේය. වාද කරන්නේය. නාකි හිවලා පවක් සිදුවනු ඇතැයි බිය වන්නේ යැයිද ජීවිතයම වහලෙක්වන අනෙකා මතු ලොවකට බිය වන්නේ යැයිද වසන්තසේනා ඝාතනය කිරීම තමන්ම කළ යුතු යැයි අවසානයේ සන්ස්ථානක තීන්දු කරන්නේය. එනමුත් ඇයව ඝාතනය කළේ ඔහු යැයි කිසිවකු නොදැන සිටිය යුතුයැයි දැඩි අදහසක් විය. එබැවින් ඔහු ඔහුටම කියා ගත්තේ,

“හොඳයි, මං ඇයව මරණවා…… නැහැ. මේ ප්‍රෝඩාකාරයා, මේ බ්‍රහ්මනයා, මේ නාකි හිවලා ඇතැම් විට කොහේ හරි හැංගිලා බලන් ඉන්නවා ඇති. නියම හිවලෙකු වගේ ඌ කෑ ගහන්න පුළුවන්. මං ඌව රවටන්නම්. (ඔහු මල් එකතුකර තමාව සරසා ගන්නේය) වසන්තසේනා, මයේ සොඳුරිය, එන්න මයේ ප්‍රේමිය.”
හවුල්කරු – “හා හරි. එයා දැන් පෙම්වතෙක් වෙලා. හොඳයි. ඒ මදැයි. මං දැන් යන්නම්”

වසන්තසේනාගේ ඝාතනය සිදුවන්නේ එවැනි දිගු හරඹයකට පසුවය. සන්ස්ථානකගේ තීන්දුවෙහි දෘඩත්වයත් කෲරත්වයත් නොමඳව කියා පාමිනි.
ඉතිරිය වේදිකාවේ දිග හැරීමේ එතරම් ගැටළුවක් නැත. ඉතිරියේ ශුද්‍රක හැදූ ආදරය සම්බන්ධ අතීරණාත්මක චාරුදත්ත යම් පමණකට ඒ අග විනාඩි 10 ක පමණ කාලයේදී අපට හමුවන්නේය.

මේ සමස්ථ නාට්‍යයෙහිම සිය භූමිකාවෙහි තරම නොතකා සියලු නළු නිළියන් ඉතා අගනා දායකත්වයක් නාට්‍යයට ලබා දුන්හ. ඒ ගැන ඔවුන් හැමට උදම් විය හැකිය. ඒ අතර එක සඳහනක් පමණක් මෙහි තැබිය යුතු යැයි සිතමි. පොදුවේ ගත් විට, මේ නාට්‍ය විශේෂයෙන්ම සංස්කරණයෙන් කෙටි කළ නාට්‍යක් වශයෙන් කතාවේ ආත්මය රඳවා ගත යුතුව තිබුණේ දෙබස්වලට සහ ගීතිකා සඳහා දෙනු ලබණ අපමණ වූ ජීව බලයෙනි. ඒ වෙනුවෙන් දෙබස් හා ගීතිකා ලිවීමේද දායකත්වයක් තිබිය යුතු විය. එවැනි අඩුවක් නාට්‍ය පුරා මට දැණින. වසන්තසේනාගේ සහ චාරුදත්තගේ දෙබස් සහ ගායනා සතු විය යුතු ප්‍රේමාන්විත තොඳොල්වීම, ශෘංගාරාත්මක උච්චාරණය මඳ විනැයි සිතින. සන්ස්ථානකගේ කුහකත්වය, අධිකාරවාදය දෙබස් මගින් තව ඉස්මතු විය යුතුව තිබිණ.

එවැනි අඩුපාඩු මීළඟ වේදිකාගත කිරීමේදී නොතිබෙණු ඇතැයි විශ්වාස කරමින් මා සිතුවේ මේ ප්‍රධාන චරිත, චාරුදත්තලා, වසන්තසේනාලා සහ සන්ස්ථානකලා සමග ඔවුන්ගේ හෙංචයියලා ඒ ආකාරයෙන්ම මේ සමාජයෙහි නොමැතිද යන්න ය. ඔවුන්ගේ හංචයියලාටත් වඩා දීනයින් මේ සමාජයේ ඕනෑ තරම් ඇත. සන්ස්ථානකලාත් ඇත. රාජ්‍ය බලයත් දේශපාලන ඥාති සම්බන්ධකමුත් සමග සියල්ල අවභාවිතා කරනවුන්ගේ අඩුවක් මෙහි නැත. අතීරණාත්මක චාරුදත්තලාද ඇත. නොමැත්තේ වසන්තසේනාලා සහ විවෘතව තවත් ආදරයක් බුක්ති විඳින්නට ඉඩ ලබා ගැනීමට තීරණ ගත හැකි විවාහක චාරුදත්තලා ය. එය මේ සමාජයේ ගැහැණු පිරිමි සතු පුද්ගලවාදී අඩුවක් දොසක් නොවේ. එය සමාජ ආකල්ප හා වටිනාකම් තීන්දු කරන අධිපති සමාජ මතවාදය විසින් නිර්මාණය කරන්නකි.

මේ මැටිකරත්තය නාට්‍යයෙන් කියන එක් ප්‍රධාන කතාවක් නම්, අපේ කලාපයේ අතීත සමාජය අදට වඩා නිදහස්, ලෞකික සම්බන්ධතා සමග මානුෂීය ප්‍රේම සම්බන්ධතා සඳහා සමාජීය වටිනාකමක් හා සම්ප්‍රදායන් ගොඩ නගා ගෙන තිබුණු බවය. පරම්පරා කිහිපයකට පෙර සිට ඒවා ක්‍රමානුකූලව වික්ටෝරියානු සුචරිතවාදී පුද්ගල සම්බන්ධතා විසින් අහෝසි කරනු ලැබ ඇත. එනිසා වසන්තසේනාලා අද ඇත්තේ ඔවුන්ටම පමණක් සීමා වූ අඳුරු සමාජයන්හි පමණක් විය යුතුය.

පරාක්‍රම නිරිඇල්ලගේ මැටිකරත්තය ඒ සම්බන්ධයෙන් සංවාදයක් විවෘත කර ගන්නේ නම් නිදහස් සමාජයකට එය අලුත් කතිකාවක් විය හැක.

කුසල් පෙරේරා

2023 නොවැම්බර 20

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...