ජීවිතය පිළිබඳ යතාර්ථවාදී අවබෝධයක් ලබා දෙන ‘මෙ’දිවිය මෙතනින් නවතිමි’

Share post:

මිනිස් ජීවිත වගේම මනුෂ්‍ය හැසිරීම් රටා සංකීර්ණයි. හැම මනුෂ්‍යයෙක්ගෙම හැසිරීම තීරණය කරන සාධක තියෙනවා.පරිසරය ඉන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ පරිසරයට පවුල, පාසැල , විශ්ව විද්‍යාලය, රැකියාව කරන ස්ථානය යනාදිය ඇතුලත් වෙනවා. ඒ පරිසරයන් තුළ මුල් බැස ගත් සිරිත් විරිත් ,සම්ප්‍රදායන් , ආකල්ප, විශ්වාසයන් , මතවාදයන් අපි තුළට දැනුවත්ව සහ නොදැනුවත්ව ඇතුල්වෙලා අපි ගන්න තීන්දු තීරණවලට බලපෑම් කරනවා. ඒ වගේම පවුල කියන සාධකය ළමයෙක්ගේ පෞරුෂ සංවර්ධනයට කරන බලපෑම ඒ හරහා නිර්මාණය වන වැඩිහිටියා කියන කාරණාත් හරියටම මෙන්න මෙහෙමයි කියලා සංඛ්‍යාත්මකව කියන්න බැරි වුණාට සූත්‍රයකට දාන්න බැරි කමක් නැහැ. ඒ එක්කම මනුස්සයෙක්ට පවුල කියන ඒකකයේ බලපෑම හෙවනැල්ලක් වගේ ජීවිතේ පුරාවටම විවිධාකාරයට බලපාන්න පුළුවන්.

ප්‍රදීප් විජේසුන්දර අපිට කතාවක් කියනවා. ඔහු ඔහුගේ කතාව ලියන්නේ තමුන්ට නුහුරු අතින්. කිසිම ඡේද වෙන් කිරීමක් නැතිව .. එක එක පරිඡේද අලුතෙන් පටන් ගන්නවා. ඊට පස්සේ පරිච්ඡේද ගංගාවක් වගේ ගලාගෙන යනවා. ඒ කතාව ගංගාවක් වගේ ලස්සනට ගලාගෙන යනවා කියලා අපිට හිතෙන්නේ භාෂාව නිසා. කෙටි සරල වාක්‍යයන්. හැබැයි ඒ කෙටි සරල බව තුළ කතාවට ලැබෙන බර සහ ගැඹුර අඩු වෙන්නේ නැහැ.
”මගේ හිතේ මකා දමන්න බැරි සිතුවමක් තියෙනවා. සිතුවමක් නෙමේ හරිම වචනේ. අත්දැකීමක්. ඒ වුණාට සිතුවමක් කියන වචනෙටයි මං කැමති. හේතුව, ඒ අත්දැකීම වියැකී නොගොස් හදවතේ දෙනෙත් අවදි කරමින් මා හැර නොයාමයි. ” (පිටුව 7)

ප්‍රදීප්ගේ කතාන්දරයේ හතරෙන් තුනක්ම වගේ ඉදිරිපත් වෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයේ. ඒ කියන්නේ ප්‍රදීප් සහ විජයන්තිගේ දෘෂ්ටි කෝණයන්ගෙන්. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන්නේ ඉතාම පක්ෂපාති දෘෂ්ටි කෝණයක්. ඒක හරියට එක්කෙනෙක්ගේ කතාවෙන් හැම චරිතයක් ගැනම තේරුම් ගන්න සිද්ද වෙන අවස්ථාවක්. තමුන්ගේ හිතේ වැඩි අප්‍රසාදයක් තියෙන කෙනාට දැඩි අසාධාරණයක් කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම මනුෂ්‍යයෙක්ට තියෙන ඒ පක්ෂග්‍රාහී සංකීර්ණ ස්වභාවය පෙන්නුම් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් හොඳම දෘෂ්ටිකෝණික ඉදිරිපත් කිරීමත් කරන්න පුළුවන් වෙන්නෙත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය හරහා. ඒ අතර දෙබස් සහ ලියුම් හරහා නිර්මාණය තුළ මුණගැහෙන අනිත් චරිත සහ ඔවුන්ගේ ජීවිත ගැනත් යම් තාක් දුරකට අපක්ෂපාති අදහසක් දෙන්න කතුවරයා අරගෙන තියෙන වෑයම ප්‍රශංසනීයි.

මේ නවකතාවේ කතා නායකයා තමයි ප්‍රදීප්. ප්‍රදීප් හැදෙන්නේ වැඩෙන්නේ වැඩිමල් සහෝදරියෝ දෙන්නෙක් මැද්දේ. ආර්ථික දුෂ්කරතාවයක් නැතත් දෙමව්පියන්ගේ ආදරය දැනෙන්න නොලැබුණු දරුවෙක් විදිහට. ප්‍රදීප්ට විතරක් නොවෙයි ප්‍රදීප්ගේ සහෝදරියන්ටත් එහෙමයි. මව වෙනුවට ප්‍රදීප්ට මවක් වෙන වැඩිමල් සොයුරිය ගැන ප්‍රදීප්ට එක වෙලාවකට තියෙන්නේ එක්තරා ආකාරයක නොරිස්සුමක්.. තව වෙලාවකට අනුකම්පාවක්. තව වෙලාවකට සෙනෙහසක්. දෙමව්පියන්ගේ ආදරය නොලැබුනාට ප්‍රදීප්ට මහප්පා සහ ලොකු අම්මා කියන දෙන්නගේ ආදරය සහයෝගය නිතරම ලැබෙනවා. හොඳට ඉගෙනගෙන සමාජයේ පිළිගැනීමක් තියෙන ප්‍රදීප්ගේ ජීවිතය නවතින්නේ ඇයි ?

ලාංකික සමාජයේ බැඳීම් ඇතුලේ සමහර වෙලාවට අධිකාරි ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ අධිකාරි ස්වභාවය තුළ අනෙකා තමා සතු බූදලයක් ලෙස සලකා කටයුතු කෙරෙන අවස්ථා තියෙනවා. එතැනදී බූදලය ලෙස සැලකෙන පුද්ගලයාට වැඩිහිටි අවදියේදී හෝ පූර්ණ නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ පූර්ණ නිදහස නොලැබීම තුළ වැඩිහිටියෙක් විදිහට තීරණ ගන්න අපහසු වෙනවා. අනෙක් අය ඒ තීරණවලට බලපෑම් කරන්නට යෑම ඇතුලේ සමහරවෙලාවට මිනිස් ජීවිත කටුක වෙනවා. මේ වැඩිහිටි පිරිස් සමහර වෙලාවට අනෙකාගේ ජීවිතයට බලපෑම් කරන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් . සද්භාවයෙන් වුණත් එය වඳින්න දේවාලේ ඉහේ කඩා වැටීමක් වෙන්න පුළුවන්. අනික ඒ බලපෑම් නිසා අනෙකාගේ ජීවිතය අහිමි වී යන්නටත් පුළුවන්. කතුවරයා මුළු නවකතාව පුරාම ඒ කාරණාව හරි අපූරුවට මතු කරනවා.

”ජීවිතයක් බල පුළුවන්කාරකමින් අයිති කර ගැනීමත් මානව හිමිකම් උල්ලංඝනයක් ‘ (පිටුව 131)

නවකතාව පුරාවට අපිට මුණගැහෙන විවිධ චරිත හරහා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වල ස්වභාවයත් ඒ හරහා පිළිඹිඹු වෙන සංකීර්ණ වගේම පෘතග්ජන මිනිස් ගති ගුණත් ඉතාම පැහැදිලිව පාඨකයාට වටහාගන්න පුළුවන් විදිහට චරිත ගොඩනැගීම සිදුවෙලා තියෙන ආකාරය අපූරුයි. ප්‍රදීප් ,විනීතා, සූරියබණ්ඩාර , විජයන්ති වගේම සෙසු චරිත හරහා මනුෂ්‍යා දුක සැප නින්දා ප්‍රශංසා ලාබ අලාබ යස යස කියන කාරණාවලදී කම්පා වෙන ආකාරය ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය විනිශ්චයකින් තොරව ඉදිරිපත් කරන්න කතුවරයා ගෙන තිබෙන වෑයම සාර්ථකයි කියන්න පුළුවන්.

පුද්ගල පෞරුෂ සංවර්ධනයට පවුල කියන භූමිකාවේ බලපෑම කියන තේමාව හැරුණු කොට මේ නවකතාව තවත් විවිධ පැතිවලින් කියවා ගන්නත් විශ්ලේෂණය කරන්නත් පුළුවන්. ඒ අතර සෙක්ස් කියන කාරණාව ජීවිතවලට බලපෑම් ඇති කරන්න පුළුවන් ආකාරය වගේම ශ්‍රී ලාංකේය ස්ත්‍රිය සහ සමාජය වගේ තේමාවන් තියෙනවා . ඒවා වෙන වෙනම දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්.

යතාර්ථවාදී ආඛ්‍යාන රටාවක් ඇතුලේ රස ගුණ දෙකම එකට කැටිකරලා ලියපු නවකතාවක් වන ‘මෙ’දිවිය මෙතනින් නවතිමි ජීවිතය පිළිබඳ යතාර්ථවාදී අවබෝධයක් ලබා දෙන නවකතාවක්.

කාංචනා ප්‍රියකාන්ත

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...