මේ ඕස්ට්‍රේලියාවේ ජයක් පමණක් නොවේ

Share post:

ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට ආවේ කළින් ක්‍රීඩා කරපු තරග දහයම දිනලා. ඒ ජයග්‍රහණ දහයම බොහෝ පහසුවෙන් ලබපු ජයග්‍රහණ.
ඔවුන්ට තරගයක් දීමට හෝ සමත් වෙනත් කණ්ඩායමක් හිටියේ නැහැ. තරගාවලියේ සිටි සෙසු කණ්ඩායම් නවයම ඔවුන් පහසුවෙන් පරාජය කළා. ඉන්දීය වේග පන්දු යවන්නො, සෑම විටකම ප්‍රතිවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් හිටියා. රෝහිත් ෂර්මාගේ සිට විරාත් කෝලි හරහා රවීන්ද්‍ර ජඩේජා දක්වා වූ ඉන්දීය පිතිකරුවො ලොව හොඳම පිතිකරණ බලඇණිය වුණා.

ලෝක කුසලානය පුරා හොඳම දඟ පන්දු යවන්නොත් හිටියේ ඉන්දියාවට. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ, ඔවුන්ගේම තනතීරු වල. රසිකයන්ගේ සහයත් ඉන්දියාවට. මේ සියල්ලටම වඩා තිරයට පිටින් ක්‍රිකට් පාලකයන්ගේ නොනිල ආශිර්වාදයත් ඉන්දියාවට තිබුණා. මේ සියල්ල එක්ක ඉන්දියාව අවසන් මහා තරගයට ආවේම ලෝක කුසලානය ජයග්‍රහණය කරලා. ඔවුන්ට ඉතිරි වී තිබුණේ තවත් පැය අටකට සහ ඕවර සීයයකට පස්සේ ලෝක කුසලානය එසවීම පමණයි. නමුත් අවසන් මහා තරගයේ දී, මෙතරම් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කළ හැකි කණ්ඩායමක් වේ නම් ඒ ඕස්ට්‍රේලියාව යැයි ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දා මම ලිව්වා. එයට හේතුවක් තිබුණා.
ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකින්ම ඕස්ට්‍රේලියාව වෙන්වන හේතුන් කිහිපයක් තියෙනවා.

ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රිකට් සංස්කෘතියක් ඕස්ට්‍රේලියාව සතුයි.

ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණශීලියි.

අවසන් මොහොත දක්වාම අත්නොහරින අපූරු ජීව ගුණයක් ඕස්ට්‍රේලියාවට තියෙනවා.

පීඩනය උපරිම තරග වලදී ඔවුන් වඩා හොදින් ක්‍රීඩා කරනවා.

ලොව සෙසු සෑම රටකම ක්‍රීඩකයන් අලුත් ලීග සංස්කෘතිය වැළඳගනිද්දී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ලීග අතහැර තවමත් අළු බඳුන ක්‍රීඩා කරනවා.
එමෙන්ම ඉන්දියාව සතු අධිකාරි බලයට තරමකට හෝ ප්‍රතිරෝදයක් දැක්විය හැකි රටක් ඇත්නම් ඒ ඕස්ට්‍රේලියාව. මේ හේතුන් නිසා ඉන්දියාවට සුදුසුම ප්‍රතිවාදියා ඕස්ට්‍රේලියාව යැයි මම ලිව්වා. අවසන් මහා තරගයේ දී එය ඔප්පු වුණා. කාසියේ වාසියෙන් පසුවත් ඕස්ට්‍රේලියාව ලබා ගත්තේ අවදානම වැඩි තීරණය.

ඔවුන් මුලින් පන්දුව අතට ගත්තා. එය වැරදිය හැකි, අවදානම් සහගත තීරණයක්. තරගාවලිය පුරාම වැඩ කරපු ප්‍රවේගකාරී ආරම්භයේ උපක්‍රමය රෝහිත් ෂර්මා අවසන් මහා තරගයටත් ගෙනාවා. නමුත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ විනයේ කිසිම වෙනසක් වුණේ නැහැ. නරේන්ද්‍ර මෝදි ක්‍රීඩා පිටිය ලක්ෂයකට අධික ඉන්දියානුවන්ගෙන් පිරිලා තිබුණා. ඔවුන්ගේ ඝෝෂාව, ඔල්වරසම් විසින් ඉන්දියාවට ලැබෙන සහයත් ඕස්ට්‍රේලියාවට ලබා දෙන පීඩනයත් සුලුපටු නැහැ. නමුත් ලක්ෂ ගණනක් අතරින් කහ පැහැති ජර්සියෙන් සැරසුනු ඕස්ට්‍රේලියානුවන් එකොලොහක් කැපී පෙණුනා. ගින්දර සමග සෙල්ලම් කිරීම ඔවුන්ගේ ක්‍රීඩාවේ කොටසක්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ ශාරීරික භාෂාවෙන් පෙනුණේ පීඩනය විසින් ඔවුන් තවතවත් දිරිමත් කරනවා වගෙයි. ඔවුන් ජොන්ටි රෝඩ්ස් ලා එකොලොහක් ක්‍රීඩා කළ කණ්ඩායමක් වගේ පෙනුණා. පන්දු රැකීමෙන් පමණක් ඕස්ට්‍රේලියාව ඉන්දීය පිතිකරුවන්ගෙන් ලකුණු හතලිහක් විතර උදුරා ගත්තා. ඔවුන් අතිශය වේගවත් වුණා. ක්‍රියාශීලි වුණා. ඉන්දීය පිතිකරුවන්ට කිසිදු පහසු කෙටි ලකුණක්, දෙවැනි අවස්තාවක් ඔවුන්ගෙන් හිමි වුණේ නැහැ.

ට්‍රේවිස් හෙඩ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගය ජය ගත්තේ ඔහුගේ විශිෂ්ඨ ශතකයෙන් පමණක් නොවෙයි. රෝහිත් ෂර්මා දවා ගැනීමට ඔහු රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවට තරගයෙන් කොටසක් ජයග්‍රහණය කරලා දුන්නා. පීඩනය වැඩි, අත්වැරදීම් විය හැකි ලෝක කුසලාන අවසන් මහා තරගයක මෙලෙස ක්‍රීඩා කළ හැක්කේ ඕස්ට්‍රේලියාවට පමණයි. ඒ ආකල්පය, ශාරීරික භාෂාව සහ අත්නොහැරීම ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතියෙන්ම එන දේවල්.

මාර්ක් වෝ ලා, රිකී පොංටින් ලාගේ පරපුරෙන් පැවත එන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට ලේ වලින්ම බද්ධ වී ඇති දේවල්. මෙවැනි ක්‍රිකට් සංස්කෘතියක් හිමි ඕස්ට්‍රේලියාව, අවසන් මහා තරගයක දී පරාජය කිරීම පහසු නැහැ. ඒ සඳහා ඕස්ට්‍රේලියාවටත් වඩා දරුණු අරවින්ද, අර්ජුන, ගුරුසිංහ පන්නයේ යක්ෂයන් සිටිනා කණ්ඩායමක් විය යුතුයි. හිටි පිළිම මෙන් පීඩනය දරාගන්නා, පීඩනයේ දි දස්කම් අඩු නොවෙන, මානසික ශක්තිය ඉහළ, අනු හයේ ශ්‍රී ලංකාව වැනි යක්ෂ කණ්ඩායමක් විය යුතුයි.

කොතරම් දක්ෂ වූවත්, කොතරම් සූක්ෂම වූවත් ඉන්දීය කණ්ඩායම එවැනි ඉහළ මානසික ශක්තියක් තිබූ කණ්ඩායමක් නොවෙයි. හිටි පිළිම මෙන් නිසල, යක්ෂයන් මෙන් ආක්‍රමණශීලි කණ්ඩායමක් නොවෙයි.

ඕස්ට්‍රේලියානු නායකයා පැට් කමින්ස් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගය මගහැරියා. ඒ ලෝක කුසලානය සහ අළු බඳුන තරගාවලියට විවේකය අවශ්‍ය වූ නිසා.
රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා විවේක ලබා ගැනීමට, විශාල මුදලක් අත්හරින ක්‍රීඩකයන් බිහි කරනා ක්‍රිකට් සංස්කෘතීන් ලෝකයේ අඩුයි. අවසානයේ පැට් කමින්ස් ගේ නායකත්වයෙන් ඔවුන් අළු බඳුන ඕස්ට්‍රේලියාවේම තබා ගැනීමටත්, ලෝක කුසලානය ජය ගැනීමටත් සමත් වුණා. ඒ තමයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය. තරගාවලිය පුරාවටම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක් සුවිශේෂී ක්‍රීඩකයෙක් හිටියේ නැහැ.
එක් එක් තරග වලදී ඔවුන්ට එක් එක් ක්‍රීඩකයන් තරග ජයග්‍රහණය කෙරෙව්වා. විවිධ තරග වල විවිධ වීරයන් මතු වුණා. ඔවුන් කණ්ඩායමක් ලෙස ඉතා හොඳින් සවි වී, මිශ්‍ර වී තිබුණා. ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට එයත් ප්‍රබල හේතුවක්. මේ ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයක් පමණක් නොවෙයි.
ඔවුන් පරාජය කළේ අයුක්තිසහගත ප්‍රතිවාදියෙක්. තරග ජය ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සුදානම් ප්‍රතිවාදියෙක්. මෙතෙක් පැවැති ක්‍රීඩාවේ ජීවගුණය සහ සංස්කෘතිය විනාශ කළ ප්‍රතිවාදියෙක්. තනතීරුවේ සිට වෙනස් කළ හැකි සියල්ල තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්ම වෙනස් කරගත් ප්‍රතිවාදියෙක්.
ඒ අර්ථයෙන් ඔවුන් පරදා ඕස්ට්‍රේලියානුවන් ලැබූ ජය සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේම ජයග්‍රහණයක්.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...