නවසීලන්තයේ මවොරි යක්ෂයා මිය ගිහින්

Share post:

2015 නොවැම්බර් මස 18 වනදාට හිරු උදාවෙනකොට නවසීලන්ත මිනිස්සුන්ට ලැබුණේ එතරම් හොඳ ආරංචියක් නෙමෙයි.
“ජොනා ලෝමු මියගිහින්”

ජොනා ලෝමු කියන්නේ එක පුද්ගලයෙක් පමණක් වුණාට මේ මරණය සමස්ථ රටක් කම්පනය කරන්න සමත් වුණා. මුළු නවසීලන්තයම ඔහුගේ අකල් මරණය සම්බන්ධයෙන් ශෝකයට පත් වෙලා හිටියේ.

ජොනා ඒ වෙද්දි 2015 රග්බි ලෝක් කුසලානයේ ප්‍රවර්ධන වැඩ ගොඩකට සම්බන්ධ වෙලා ඉඳපු කාලයක්. ඒ වැඩ වලට එංගලන්තයේ ගිහින් ඉඳලා ආයෙමත් නවසීලන්තයට ආපු ගමන් හැදුන හාට් ඇටෑක් එකකින් ඔහු මියගිහින් තිබුණා.

ටොංගා ජාතික මවකට සහ පියෙක් ට දාව මෙළොව එළිය දකින ජොනා ටාලි ලෝමු කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මවොරි රණකාමියෙක් ගේ ප්‍රතිමූර්තියක්.

අඩි 6 අඟල් 4 ක උසකින් සහ කිලෝ 120 ක බරකින් යුක්ත ඔහු අසාමාන්‍ය ශරීර ශක්තියකින් හෙබි පුද්ගලයෙක් වුණා. .ඒ නිසාම ජොනා රග්බි ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වෙනකොට ඔහුව නවත්වනවා කියන්නේ වෙනම මිශන් එකක්.
ඔහු පන්දුව අතට ගත්තම යක්ෂයෙක් වෙනවා. ජොනාව නවත්වනවා කියන්නේ එහෙම ලේසි වැඩක් නෙමෙයි. කොටින්ම ඔහුට තනියෙන් ටකල් කරන්න සෙට් වුණොත් දෙවියන්ව සිහි කරගන්න එක වඩාත් හොඳයි.

ජොනා ලෝමු නවසීලන්තය වෙනුවෙන් රග්බි ජර්සිය කරට දාගන්නකොට ඔහුගේ වයස අවුරුදු 19 යි. අදටත් නවසීලන්තය වෙනුවෙන් රග්බි වරම් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා වාර්තාවත් ඒක.

1995 රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ දී ජොනා ලෝමුව නවත්වන්නේ කොහොමද කියන එක දකුණු අප්‍රිකා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ට පවා ප්‍රශ්නයක් වුණා.

හැම අවස්ථාවකදීම ඔහුව නවත්වන්න ක්‍රීඩකයන් 3ක් හෝ 4ක් අවශ්‍ය වුණ බවට දකුණු අප්‍රිකා නායක ෆ්‍රැන්කොයිස් පියෙනාර් කියනවා.
1995 සහ 1999 ලෝක කුසලාන ද්විත්වයේම ජොනා ලෝමු සුපිරි දස්කම් දැක්වූවා. 1995 දී උත්සාහක දිනුම් 7 ක් සහ 1999 දී උත්සාහක දිනුම් 8 ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වුණා. තවමත් මේ උත්සාහක දිනුම් 8 රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සම වාර්තාවක්.

අවාසනාවකට වගේ මේ අවස්ථා ද්විත්වයේදී ම ලෝක ශූරයන් වෙන්න නවසීලන්තයට හැකියාව ලැබුණේ නෑ. මවොරි රණශූරයාගේ මීළඟ ඉලක්කය වුණේ 2003 ලෝක කුසලානය. ඒ හීනය හැබෑ වුණේ නෑ.

1995 ඉඳලම ජොනා ලෝමු වකුගඩු රෝගී තත්ත්වයක ඉඳලා තියෙනවා කියලා පස්සේ අනාවරණය වෙනවා. ඔහුගේ රෝගය එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ.

ඔහු මේ රෝගී තත්ත්වය උඩ ඉඳගෙනත් රග්බි සෙල්ලම් කළා. 2002 අග භාගයට එනකොට ජොනා ලෝමු සතියකට තුන් පාරක් ලේ මාරු කරනවා. එහෙම තත්ත්වයක් උඩ ඉඳගෙනත් ඔහු දිගටම රග්බි ක්‍රීඩා කළා.

මේ විදිහට ගියොත් එන අතුරු ආබාධත් එක්ක ඔහුගේ ස්නායු ආබාධයට ලක් වෙලා රෝද පුටුවකට සීමා වෙයි කියලා වෛද්‍යවරුන් අනතුරු ඇඟවූවා. මේ හින්දා ජොනා ලෝමුට ඉක්මනින් ම වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වුණා.

ඔහුට වකුගඩුවක් අවශ්‍ය බව දැනගත් වහාම නවසීලන්ත මාධ්‍යවේදියෙක් වුණ ග්‍රාන්ට් කෙරෙයාමා වකුගඩුවක් පරිත්‍යාග කළා. ලෝමුට සැත්කම සිදු කළත් 2003 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. නවසීලන්තය අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වුණා.
ජොනා ලෝමු කියන මිනිසා මොන තරම් හයියද කියනවා නම් ඔහු ආයෙමත් රග්බි පිටියට ආවා. ඔවු ජොනා ලෝමු තනි වකුගඩුවකින් රග්බි ගැහුවා. ඔහුගේ එකම අභිප්‍රාය වුණේ 2007 රග්බි ලෝක කුසලානය ක්‍රීඩා කිරීම.

හැබැයි ලෝමු ට ඒකත් සිහිනයක් පමණක් ම වුණා. වෘත්තිමය වශයෙන් කාඩිෆ් බ්ලූස් ට සහ නෝත් හාබර් කණ්ඩායම් වලට ක්‍රීඩා කළත් ඔහුගේ දක්ෂතා නවසීලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ප්‍රමාණවත් වුණේ නෑ.

ජොනා ලෝමු මේ සිද්ධියෙන් පස්සේ වෘත්තිමය රග්බි ක්‍රීඩාව අතහැරලා දැම්මා. ඔහු රග්බි ක්‍රීඩාවෙන් සමු ගනිද්දී වයස අවුරුදු 32 ලැබුවා විතරයි. එතැන ඉඳලා ජොනා ලෝමු ආධාර තරග වලට ක්‍රීඩා කළා. විවිධ සන්නාම තානාපති ධූරයන් දැරුවා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නොවෙන්නෙට ජොනා ලෝමු කියන්නේ 2011 රග්බි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්න තරම් ශක්තිමත් ක්‍රීඩකයෙක්. හැබැයි අවාසනාව ඔහුට හරස් වුණා.

2015 නොවැම්බර් 18 වෙනිදා ජොනා ලෝමු මරණයට පත් වුණෙත් ඔහුගේ වකුගඩු රෝගී තත්ත්වය නිසා ආපු හෘදයාබාධයක් බවට අනාවරණය වුණා. අවුරුදු 20 ඉඳන් ආපු මේ වකුගඩු රෝගය ඔහුගේ ආශ්චර්යමත් ක්‍රීඩා ජීවිතය වගේම ජීවිතයත් බිලි ගත්තා.
ජොනා ලෝමු වෙනුවෙන් සුවිශේෂී අවමගුල් උත්සවයක් පැවැත්වුණා. ලොව වටා විශාල පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් නවසීලන්තයට පැමිණියා.

ජොනා ලෝමුගේ අවසන් මොහොතේ දේහය රැගෙන යන්නට නවසීලන්ත රග්බි ක්‍රීඩකයන් පෙළ ගැසුණා. වත්මන් සහ පිටියෙන් සමුගත් සියලුම ක්‍රීඩකයන් එකතු වෙලා මවොරි රණශූරයා වෙනුවෙන් හකා නර්තනයක නිරත වෙමින් අවසන් ගෞරව දැක්වූවා.
සංස්කෘතියට අනුව ජොනා ලෝමුගේ දේහය වටා මවොරි භාෂාවෙන් ගීත ගායනා කිරීම්, නර්තනයන් සිදු වුණා. එය සැබැවින්ම අතීත මවොරි රණශූරයෙක් ගේ නික්ම යාමකට සමාන අත්දැකීමක්.

ජොනා ලෝමු මියගිහින් නොවැම්බර් 18 වෙනිදාට අවුරුදු 8 ක් සම්පූර්ණ වෙනවා.
මොන තරම් රග්බි තරු බිහි වුණත් රග්බි ඉතිහාසයේ පළවෙනි ගෝලීය මට්ටමේ අයිකන් එක වුණේ ජොනා ලෝමු. ලෝකයක් දැනගත්ත රග්බි ක්‍රීඩකයා වුණේ ඔහු.

ජොනා ලෝමු නවසීලන්තයට විතරක් නෙමෙයි සමස්ථ රග්බි ක්‍රීඩාවටම වටින්නෙත් ඒ නිසයි.

ශාමින්ද ජයරත්න

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...