කුරුණෑගල වින්දිත ජනතාව තොරතුරු කොමිසමට පිවිසීම පොලිසියෙන් අවහිර කරයි : අපිට කිව්වෙ කොමිසම – පොලිසිය : අපි එහෙම කිව්වෙ නෑ – කොමිසම

Share post:

පරිසර තක්සේරු වාර්තා උල්ලංඝනය කරමින්, මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල කොටස ඉදිකිරීම නිසා, නිවාසවලට හානිවූ පවුල් 400කට අධික සංඛ්‍යාවක ජනතාවකට විධිමත් ව වන්දි මුදල් ලබානොදීම සහ ඔවුන්ගේ හානි වූ දේපොළ සම්බන්ධ වාර්තා සැඟවීමට එරෙහිව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනා කිරීමට පැමිණි වින්දිත ජනතාවට, සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වීම පොලිසිය විසින් වළක්වන ලද අතර, එසේ වළක්වන ලද්දේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ උපදෙස් මත බව පොලිසියෙන් ජනතාවට දැනුම් දෙනු ලැබිණි.

මෙම තීරණයට ජනතාව දැඩි විරෝධයක් දැක්වූ අතර, වින්දිත ජනතාව වෙනුවෙන් අදහස් දක්වමින් සංජීව කුලතිලක පැවසුවේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය ආරක්ෂා කිරීමට සිටින තොරතුරු කොමිසමේ මෙම හැසිරීම අතිශය කනගාටුදායක බවයි. එසේ ම මෙම තීරණයට එරෙහිව උපරිම පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය. අදාළ තීරණයට විරෝධය දැක්වීමෙන් පසු, තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එම ජනතාව සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

මෙම තීරණයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෝ පිරිසක් පොලිසියට පැමිණිලි කිරීමට ගියහ.

එම අවස්ථාවට හදිසියේ පැමිණි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය ප්‍රමුඛ නීති අංශයේ පිරිසක් BMICH පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේදී අවධාරණය කළේ කොමිෂන් සභාව මගින් ජනතාව වැළැක්වීමේ කිසිදු උපදෙසක් පොලිසියට ලබානොදුන් බවයි. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහු වෙත යොමුකරන ලද ලිපියක් පෙන්වන ලදි.

එහෙත් කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය දිගින්-දිගටම පැවසුවේ එවැනි උපදෙසක් කොමිෂන් සභාව පාර්ශ්වයෙන් ලබානොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් වින්දිත ජනතාව සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටී.මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ පරිපාලන නිලධාරි ලසන්ති විමලසුරේන්ද්‍ර පැවසුවේ කොමිෂන් සභාව මගින් ජනතාව ඇතුළු වීම වැළැක්වීමට කටයුතු නොකළ බවයි. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පෙන්වන ලද ලිපිය පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කළේ කොමිෂන් සභා පරිශ්‍රය තුළ ජනතාව විරෝධතා දැක්වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී. දිසානායක විසින් පොලිසියෙන් ලිඛිත ව ඉල්ලා සිටි බවයි. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ උපදෙස් ලැබුණේ දැයි විමසීමේදී පරිපාලන නිලධාරිනිය පැවසුවේ පරිපාලනයට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවයි.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...