Online Safety ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟ විය නොහැක්කේ ඇයි?

Share post:

Online Safety සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ පෙත්සම් 45න් එක් පෙත්සමක පාර්ශ්වකරුවකු වශයෙන් මෙසේ ලියා තබමි.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලකකරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව වෙත යොමුකළ තීන්දුවට එය අභියෝගයට ලක්කළ පෙත්සම්කරුවකු ලෙස මට එකඟ විය නොහැකිය.

අධිකරණයේ තීන්දුව පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් වන මගේ අදහස වන්නේ මෙය නීතියක් බවට පත්වුවහොත් භාවිතයේදී ගෞරවනීය ලෙස කටයුතු කරනු ඇතැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්ව පිළිබඳව මගේ කිසිදු විශ්වාසයක් නැති බවයි. එය පවතින ආණ්ඩුවට මෙන්ම ඉදිරියේදී පත්වන ආණ්ඩුවලට ද අදාළ වේ.
බලය ලබාගැනීමට වඩා අසීරු කාර්යය වන්නේ බලය පවත්වාගෙන යෑමයි. එහිදී මෙවැනි අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කළ හැකි නීතියක් පැවතීම බරපතළ කරුණකි.

පොලිස් ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති, අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, පරිගණක අපරාධ පිළිබඳ නීති, ජාතික මංමාවත් පනතේ වගන්ති, පොදු දේපොළ පනතේ වගන්ති ආදී වශයෙන් දැනට පවතින නීති මර්දනය වෙනුවෙන් කොතරම් අවභාවිත කරන්නේද?

එවැනි සන්දර්භයක් යටතේ මිස, හුදෙකලාව මෙම කෙටුම්පත ගත නොහැකි බව මගේ පෞද්ගලික අදහසයි.

මෙම කෙටුම්පත මගින් වැරදි ලෙස දක්වන සියලු වැරදි දැනටමත් පවතින නීති මගින් වැරදි බවට පත්කොට ඇති වැරදි ය. එසේ තිබියදීත්, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරි, දත්ත ආරක්ෂණ, අධිකරණ අපහාස, පුනරුත්ථාපන, ප්‍රති-ත්‍රස්ත ආදී වශයෙන් රනිල් වික්‍රමසිංහ අනු-ප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මර්දන නීති සහ කෙටුම්පත්වල ඉදිරි සහ භයානක ම පියවර මෙම Online Safety කෙටුම්පතයි. කොවිඩ් වසංගත කාලය මෙන්ම අරගල සමය ද නීති අවභාවිත කරන්නේ කෙසේද යන්න ජනතාවට මෑතකාලීනව මනාව පැහැදිලි කළ අවස්ථා වේ.

අධිකරණය මෙහි ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී තිබේ.

Online ක්‍රම ඔස්සේ සිදුකරන ළමා අපයෝජන, කාන්තා හිංසන පිළිබඳ මාධ්‍ය වාර්තාවල සංඛ්‍යාත්මක අගයන් ඉතා බරපතළ ය. ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා කරන ආකාරය සහ Save the Children වැනි ආයතනවල වාර්තා ද පෙන්වන්නේ දැඩි සංකීර්ණ තත්ත්වයකි.

එහෙත්, මේ සියල්ලට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීති තිබියදී, මෙවැනි, මතක තබාගන්න.. මෙවැනි අලුත් නීතියක අවශ්‍යතාව සන්දර්භය පසෙකින් තබා තීරණය කළ නොහැකි බව මගේ පෞද්ගලික අදහසයි.

විදුලි බිලෙන්, වතුර බිලෙන්, ගෑස් එකෙන් කරමුලට ම හිර වූ මා ද අයත් බහුතර ජනතාව ගැන කතා කිරීමේදී ළමා මන්දපෝෂණය වැනි මාතෘකා සම්බන්ධයෙන් කතාකිරීමට තරම්වත් දෙයක් ඉතුරු ව ඇද්ද?

කෙසේ වෙතත් පොළොව යට පැහෙන ලාවා, පොළොවේ දුර්වල තැනක් හමු වූ ගමන් උඩට පැන මහා විනාශයක් කරන්නේ ය. ඒවාට කියන්නේ ගිනි කඳු කියා ය.
ජනතාව පැහෙමින් සිටී. එම පීඩනයට එරෙහිව මර්දන නීති සිය ගණනක් ගෙනාවද, ජනතාව අලුත් උපක්‍රම මගින් ඉදිරියට යෑම අනිවාර්‍ය ය.

අධිකරණයේ තීන්දුව ලබා දී අවසන් ය. අධිකරණයට කළ හැක්කේ කෙටුම්පත හුදෙකලාව ගෙන, එහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමක් පමණි. එම තීන්දුව මගේ මතයට එකඟ නැත.

දැන් ඇත්තේ ඊළඟ පියවර ය. සීමා අතික්‍රමණය නොකරන්නේ නම්, ලෝකය පරණ දර හැවක් වනු ඇත.

ශාලික විමලසේන

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...