හැමෝම දන්න කතාවක නොදන්න කතා

Share post:

යශී ගුරුසිංහ තම පළමු කාව්‍ය සංග්‍රහය පළකර ඇත්තේ හැමෝම දන්න කතාවක් නමිනි. මේ මාතෘකාව කවි සමුච්චය හැඳින්වීම සඳහා ම යොදාගනිමි. ප්‍රේමයේ සම්ප්‍රයෝගය හා විප්‍රයෝගය, කුටුම්බගත වේදනා, සමාජ පීඩනය, නන්විධ විෂමතාවල දුක්ඝනාන්ධකාරය යන මේවා හැමෝම දන්න කතාවල පොදු සත්තාව ලෙස හැඳින්වීමේ වරදක් නැත. කවියා නිර්මාණකරණය සඳහා අවශ්‍ය අත්දැකීම් ලබන්නේ හැමෝම දන්නා කතා ඇසුරෙනි. එහෙත් කවියෙහි දී නොදන්න කතාවක් දැනගන්නා මට්ටමට කවියා එම අත්දැකීම නව්‍ය අත්දැකීමක් බවට පත්කරයි. එහිදී සිදුවන්නේ පුද්ගලානුභූතිය කාව්‍යානුභූතියක් බවට පත්වීමය.

මේ කවි එකතුවෙහි ඇතුළත් බිරිඳක් නිවන් යයි කවිය උපුටා දක්වමි.

ඒ සවස් යාමයේ
දම්පාට නොවුණාට අහස
හාත්පස වැහිබීරුම බදා
ගුප්ත වෙස් ගැන්විණ

පන්සලේ උඩමළුවට
ගන්ගොඩේ ඉපනැල්ලට
හන්දියේ බෝධියට
පෝදාත් අමාවක කර
පොසොන් පුර හඳ
නැග එන්නටත් පෙර ම
බැස ගිය බව උළලේනකු පවසයි

අඩමානෙ ඇණ දැවිඩමුක
ටික් ටික් හඬින් ගොරහැඩිව
දුම් බැඳි බිත්ති ඔරලෝසුවේ
හතේ කණිසම පෙන්වා ඇත

කිරි වේයන් කෑ
ලුනුමිදෙල්ල දොරට වාරුව
උළුවස්සෙන් එබෙන වරක් පාසා
හීල්ලුම් හඬකි ඇසෙන
හෙවිලි පොල් අතු ගිනිගන්න

බත ළිප ලෑ බව රොස් ගඳ කියද්දි
පපු මැද මහ අකුණු පුපුරා යයි
එකත් පසෙක හිඳ හඬන
කිරිපුසුඹ පිරි ළදරු මුව
ඇගෙ තනෙක රස විඳ
වරෙක නිහඬයි,වරෙක හඬයි

එහෙව් දිනකදි
තම හිමි සඳ
අපමණ පමාව
ගෙට වැඩි විටෙක
අරි අට මඟ නොගොස්
බිරිඳක් නිවන් යයි!

සැමියන්ගේ ඇතැම් චර්යා නිසා දුක්විඳින බිරින්දෑවරුන් යනු අප බොහෝ දෙනකු දන්නා පොදු තත්වයකි. එහෙයින් මේ කවියෙහි අත්දැකීමෙහි විශේෂත්වයක් නැත. කවියක එය අපේක්ෂා කළ යුතු ද නොවේ.වැදගත් වන්නේ සුපුරුදු අත්දැකීමක් නව්‍ය අත්දැකීමක් බවට පත් කරනු පිණිස කවියා කාව්‍යොචිත සන්දර්භයක් ගොඩනගන ආකාරයයි. මේ කවියා මෙහිදී දෘෂ්ටිගෝචර සහ ශ්‍රව්‍ය ගෝචර චිත්තරූප භාවිත කරයි.
දුම්බැඳි බිත්ති ඔරලෝසුව, කිරිවේයන් කෑ දොර, ගන්ගොඩේ ඉපනැල්ල දෘෂ්ටිගෝචරය.

උළලේනකුගේ පැවසුම,ඔරලෝසුවේ ටික් ටික් හඬ ශ්‍රව්‍යගෝචරය.මෙම චිත්තරූප භාවිත කර ඇත්තේ මවකගේ පාළුව,ඉච්ඡාභංගත්වය,අවිනිශ්චිත බව යනාදී හැඟීම් සංකේතවත් කරනු පිණිසය.කවියා එහිදී රූපකාර්ථවත් බසක් භාවිතයට ගනී.

ඒ සවස් යාමයේ
දම්පාට නොවුණාට අහස
හාත්පස වැහි බීරුම බදා
ගුප්ත වෙස් ගැන්විණ

මෙහිදී අහස ප්‍රාණියෙකි.වැහි බීරුම බදාගනී.ගුප්ත වෙස් ගනී.
අඳුරෙහි දොරකඩ තනිවී බලාපොරොත්තු සහගතව සිටින මවකගේ මනෝභාව ගවේශනයට උචිත කාව්‍යොචිත යෙදුම් නිර්මාණය කිරීමට කවියා සමත්වෙයි.
එබඳු පීඩිත ගැහැනියකට නිවන් දැකීම සඳහා ආර්යෂ්ඨාංගික මාර්ගයක් වුවමනා නැත. සැමියාගේ පැමිණීම නිවනයි.
මේ තැනැත්තිය අපමණ පීඩා විඳින්නියක වුවද සැමියා පැමිණි බව දැනගත් මොහොතෙහි හිත නිවෙයි. කුටුම්බය විසිර නොයා පවතින්නේ මේ දරා ගැනීමේ ශක්තිය නිසාය.

කවියා වදන් ටිකකින් ජීවන අරුත් සමුදායක් පාඨක සිත්හි ජනනය වන්නට ඉඩ තබයි.
යශී ගුරුසිංහගේ කවි කිහිපයකම මේ සද්ගුණය හඳුනාගත හැකිය.
කවියෙහි පරිසමාප්තිය කෙරෙහි තව අවධානය යොමුවිය යුතු බවද කීම අයුක්ති සහගත නොවේ.
එකත් පසෙක හිඳ හඬන වැනි යෙදුම් ගැන නැවත සිතා බැලිය යුතු වෙයි.
අම්මා ගැන ගැන ලියවුණු කෙටි කව් දෙකක්ද මගේ සිත් ගත්තේය.මේ එකකි.

අම්මගෙ බඩට
බත්වැටෙන අගුල
ඇරුනෙ ආවම
තාත්තා ගෙදර

මේ කවියද මුලින් දක්වන ලද කවියට නෑකමක් දක්වයි. මෙයද පොදු සත්තාවකි.විශේෂයෙන් ගැමි ගෙවල. තාත්තා බත් කන තුරු අම්මා නොකයි. බත්වැටෙන අගුල ප්‍රබල කාව්‍යොක්තියකි. එයින් පෙනෙන්නේ මවකගේ ප්‍රතිපත්තිගරුක බවයි. නවීන සමාජයෙහි සමහර විට මේ හැඟීම සරදමටද ලක්විය හැකිය. එහෙත් කවියා මෙහිදී කරන්නේ ජීවන නිරීක්ෂණයකි. දෘෂ්ටිවාදයක් ප්‍රකාශ කිරීම නොවේ.
ලක්ශාන්ත අතුකෝරල ලියූ කවක් උපුටමි.

වැඩ ඇරී
වැඩට යති
ගැහැනු

රැකියාව සහ ගෙදර කටයුතු යන දෙකටම මැදිවූ කාන්තාවකගේ ජීවන චර්යා සමහර විට මීට වඩා වෙනස් වීමට ඉඩ ඇත.ඊට හේතුව ජීවන යුද්ධය සහ සාරධර්ම අතර ගැටුමයි.
තවත් කවියක් ගෙනෙමි.

අම්මා
දරුවන්ට රහට කැවුම් උයන්න
අම්මට විතරයි පුලුවන්
ළිප ළඟ කර වෙන්න
අවුරුදු මේසෙ තිබුණත්
රහ කෑම පිරෙන්න
අම්මා අස නෑ එක කැවුමක්වත්
කන්න

මෙයද ජනදිවියෙහි පොදු සත්තාවක් අරසුරෙන් උපන් කවියකි.දරුවන්ට රහට කැවුම් උයාදෙන අම්මා කැවුම් නොකයි.මෙය ගැමිගෙදර අපද අත්විඳි අත්දැකීමකි. ඊට ද හේතු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න කැවුම් ඉවීම සඳහා වෙහෙසී, පදම බලා ළිප ගින්නේ වෙහෙස වූ පසුව කැව්මේ රහ නොදැනීමය. දෙවැන්න අවුරුදු මේසයේදී වුවද අම්මා හැමෝටම බෙදනු මිස තමා කැවුමක් කෑමට උනන්දු නොවෙයි.ඇගේ සතුට සැමියා සහ දරුවන් කැවුම් කනු දැකීමය. දිවට දැනෙන සතුටට වඩා ඒ සතුට බලවත්ය. එය පංචේන්ද්‍රියන්ගෙන් ඔබ්බට ගිය වින්දනයකි. ප්‍රබෝධයකි.
යශී ගුරුසිංහ කවියාගේ විශේෂත්වයක් වන්නේ නමෝ විත්තියෙන් කී පරිදිම හැමෝම දන්නා කතාවලින් නොදන්නා දේ කීමය. කවියාගෙන් විය යුත්තේද එයමය. අපූර්ව වස්තු නිර්මාණය හෙවත් ප්‍රතිභා ශක්තිය යනු එයයි.

නඹ වෙනස්වුණු තරම් රත්නපුරේවත් දන්නෑ යන කවියෙහි මාතෘකාව මෙන්ම කාව්‍ය චින්තා ගොඩනැගීමද අපූරුය.
මේ එහි ආරම්භක කොටසයි.

වැහි බිංදුත් රිදෙන තරමට
මහ හයියෙන් වහින දවසට
කළු ගඟ නිතර ගැබ්බරයි
දෙවුරුද එකට සමකර

කවියා භාවිත කරන්නේ සරල මටසිලිටි බස් වහරකි. ධර්මසිරි රාජපක්ෂගේ ඉතින් සහෝදරවරුනේ, ලහිරු කිතලගමගේ කවුළු ඇස පාමුල සිහිපත් වෙයි. සරල බස්වහර කවියට අනුචිත යැයි සිතන රසික ප්‍රජාවක්ද සිටිය හැක. එහෙත් බස යනු නිර්මාණය සරසන අබරණ නොවේ. කවියෙහි අන්තර්ගතය ඉල්ලා සිටින වාංමාලාවය.එය වාර්තාරූපී නම් පමණක් කවියට අනුචිත ය. කවිය ගොඩ නැගෙන්නේ වාච්‍යාර්ථය ඉක්මවා යෑමෙනි. ව්‍යංගාර්ථ සහ ධ්වනිතාර්ථ ඇසුරෙනි.
කාව්‍යොචිත බව කෙරෙහි කවියා බුහුටි වුණ අවස්ථා නිදසුන් කිහිපයකින් දක්වමි.

අසාමාන්‍ය ව විශාලවූ හදවත
වම් පැත්තට වැඩි නැඹුරුවක්
එතෙක් ඝන නොවූ තුනී බිත්ති සහිත
එහද තිබුණා පැළී ගිය බවක්

(කවියෙකු මළගම)

ගොළු අහස පුරා
ඇඳැති ස්වේත මේඝ රටා
දුර ගමනක් ගියා
උඩු හුළං හා හාද වෙලා

(වැස්ස)

තුන් කන්දකට මැදිකර
ආදරේ පුරවා තියා
රැළි නගන හැටි බලන් ඉඳියද
ඉවුරෙ නුඹ හිප්ප තියා

(මිණිබේ මැණික(බුලතාගේ බිරිඳ)

කවියාගේ ශක්‍යතා, සංවේදීතා, සීමා යන මේ කරුණු ගැන කවියා විසින් ම මෙනෙහි කළ යුතු අවස්ථාවක් හැටියට පළමු කාව්‍ය කෘතිය හොඳ වැඩබිමකි. යශී ගුරුසිංහ හොඳ ප්‍රතිභා ශක්තියක් ඇති කවියකු බවට මේ පොත සාක්ෂියකි. ඔහුට වැඩි වැඩියෙන් අවැසි වන්නේ සතතාභ්‍යාසයයි. ව්‍යුත්පත්තියයි. ඔහු දැනටමත් ඒ මගට පිවිසෙමින් සිටින බව පෙනේ. කවියා තම ක්ෂේත්‍රය මෙන්ම වෙනත් විෂය ක්ෂේත්‍රයන්හිද ඇසුරක් සහිතව වර්ධනය වීම උසස් කවියකු බිහිවීමේ මගයි. යශී ගුරුසිංහගේ අනාගත කවිය මහත් අදරින් විඳිනු විමසනු රිසින් ඔහුට සෙනෙහසින් සුබ පතමි.

තිඹිරියාගම බණ්ඩාර

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...